Print this Article


මහාචාර්ය කොටපිටියේ රාහුල අනු නා හිමියෝ අග්ගමහා පණ්ඩිත උපාධියෙන් පිදුම් ලබති

මහාචාර්ය කොටපිටියේ රාහුල අනු නා හිමියෝ අග්ගමහා පණ්ඩිත උපාධියෙන් පිදුම් ලබති

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ අනුනායක හා ප්‍රධාන ලේඛකාධිකාරි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමියන් වෙත බුරුම රජය මගින් භික්ෂූන් වහන්සේලාට පිරිනමනු ලබන ඉහළම ගෞරව උපාධිය වන අග්ගමහාපණ්ඩිත උපාධිය පිරිනමන ලදී.

එරට ජනාධිපතිතුමා විසින් එම උපාධිය පිරිනැමීම පිළිබඳ උත්සවය මේ මස 8-9 දෙදින මියන්මාරයේ දී පැවැත්විණි. වසර සියයකට අධික ඉතිහාසය තුළ එම උපාධිය ලද වයසින් අඩුම ස්වාමින්ද්‍රයන් වහන්සේ වන කොටපිටියේ රාහුල අනු නාහිමියෝ ස්වකීය ආචාර්ය උපාධිය වෙනුවෙන් කරන ලද බුරුමයේ ලියැවුණු පාලි ,ව්‍යාකරණ ග්‍රන්ථය පිළිබඳ අධ්‍යයනය ද, විශේෂයෙන් කැලණිය විශ්ව විද්‍යාලයීය පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයා ලෙස දහස් ගණනක් බුරුම ජාතික භික්ෂූන් වහන්සේලාගේ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු වෙනුවෙන් කරන ලද විශිෂ්ට සේවාව ද විශේෂ සැලකිල්ලට ගෙන ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

කළුතර දිස්ත්‍රික්කයේ කොටපිටිය නම් ග්‍රාමයෙහි විසූ චාර්ලිස් වීරසේකර පියාණන් සහ ජීවත්ව සිටින ඇල්පිනෝනා වීරසේකර යන දම්පතීන්ගේ පුත් රුවනක් ව 1961 ජූලි මස 10 වැනි දින ජන්ම ලාභය ලද කුමරු නාකන්දලගොඩ මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබමින් සිටින අතර තුර ස්වකීය ජන්මයෙන් තුදුස්වන වියෙහි දී කොටපිටිය සුධර්මාරාමාධිපති ව වැඩ විසූ බදුරලියේ රතනසාර නාහිමියන්ගේ සහ රාජකීය පණ්ඩිත මගුරේ ඥානිස්සර මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් මොල්ලිගොඩ අරියවංශ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහ නා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් 1975 ජනවාරි මස 03 වැනි දින උතුම් ප්‍රවජ්‍යා භූමියට ඇතුළත් වූහ. ඒ සඳහා මව්පියන් මුලින් අකැමැති වුවද ලබුගම ලංකානන්ද මාහිමියන් සමඟ එක්වැ ශාස්ත්‍ර හදාළ කොටපිටියේ විසූ ප්‍රසිද්ධ දෛවඥ හා වෛද්‍ය එම්.ඩී.ආර් . ගුණරත්න මහතාගේත් එම මැතිනියගේත් බලවත් පෙළඹවීම නිසා පසුව ඊට කැමැති වූ හ.

පැවිද්දෙන් අනතුරුව ඉතා කෙටි කලක් මතුගම වලගෙදර ශ්‍රී නිවාස පිරිවෙනෙහි ශාස්ත්‍රෝද්ග්‍රහණය කළ උන්වහන්සේ 1975 දී වාද්දුව බෝධිරාජ මහා විහාරයට වැඩම කොට ස්වකීය ආචාර්යපාදෝත්තම රාජකීය පණ්ඩිත මගුරේ ඥානිස්සර මාහිමියන්ගේ අනුශාසනා ඇතිව එකල ශ්‍රී ලාංකේය පැවිදි අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් සේ ප්‍රකට වු මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහා පිරිවෙනට ඇතුළත්ව උගතමනා බණ දහම් හා සිංහල පාලි, සංස්කෘත භාෂා සාහිත්‍යයන් ද හදාළහ.

1981 ජුනි මස 09 වැනි දින කෝට්ටේ රජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දි ලබුගම ලංකානන්ද මහ නාහිමියන්ගේ සහ මගුරේ ඥානිස්සර මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් උපසම්පදා භූමියට පත් වූහ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව පාලි භාෂාව පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේදී උපාධියත් ,1986 උපාධි ප්‍රතිඵල නිකුත් වීමටත් පූර්වයෙන් පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ බාහිර කථිකාචාර්ය ධූරයකටත් උන්වහන්සේ හිමිකම් ලදහ. මූලික උපාධියෙන් පසු පර්යේෂණ පශ්චාත් උපාධි අධ්‍යයනයට යොමුවී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා අනතුරුව එම විශ්වවිද්‍යාලයේදීත්, එංගලන්තයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ආසියානු හා අපි‍්‍රකානු අධ්‍යයන පීඨයේදීත් කරන ලද සද්දසාරත්ථජාලිනි නම් පාලි ව්‍යාකරණ කෘතිය ආශි‍්‍රත ශාස්ත්‍රීය පර්යේෂණය වෙනුවෙන් දර්ශනසූරි උපාධිය හෙවත් ආචාර්ය උපාධිය ද ලත්හ.

අනුනාහිමියන්ගේ ශාස්ත්‍රීය සේවාවට අදාළ වෘත්තීය කටයුතු නිල වශයෙන් ආරම්භ වූයේ 1988 දී රුහුණ විශ්ව විද්‍යාලයේ එහි අභිනවයෙන් ඇරැඹුණූ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ලද කථිකාචාර්ය ධුරයත් සමගිනි. 1991 වසර දක්වාම එම ධූරයෙහි ක්‍රියා කරමින් එහි ප්‍රගතියට දායකත්වය සැපයු රාහුල නාහිමියෝ අභිනව අධ්‍යයන අංශයේ පාලි විෂය නිර්දේශය සකස් කළහ.

1991 වර්ෂයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ස්ථිර කථිකාචාර්ය ධුරයක් ලද උන්වහන්සේ 2010 වසරේ සිට එහි මහාචාර්ය ධුරයත් 1999 වසරේ සිට අංශාධිපති ධුරයත් හෙබවූහ. පාලි හා බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයේ ප්‍රගමනයට දායක විය හැකි ශිෂ්‍ය ප්‍රජාවක් ඉන් බිහි කරන්නට අවැසි දායකත්වය විශිෂ්ට ලෙස ලබා දුන් උන්වහන්සේගෙන් ශාස්ත්‍රෝද්ග්‍රහණය කළ ගිහි පැවිදි ශිෂ්‍යයෝ දේශීය හා විදේශීය විශ්ව විද්‍යාලවල මෙන්ම ශාස්ත්‍රීය ආයතනවල ද සක්‍රීය ව ක්‍රියා කරති. අනුනාහිමි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය වාද්දුව මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහ පිරිවෙන්හි නියෝජ්‍ය පරිවේනාධිපති ශාස්ත්‍රපති නිකාරේ ඥානතිලක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙන්ම අනෙකුත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ද උන්වහන්සේ සෙවෙණහි ආශිර්වාද ලබමින් උදාරතර ශාසනික සමාජයීය මෙහෙවරෙහි නිතර ව සිටිති.

උන්වහන්සේට ආශිර්වාද පතා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ප්‍රදේශවාසි මහා සංඝරත්නය සහ විහාරස්ථ දායක දායිකාවන් සංවිධාන කරන බෝධි පූජාව සහ සෙත් පිරිත් සජ්ඣායනය 12 වනදා සවස වාද්දුව තල්පිටිය බෝධි රාජමහා විහාරස්ථානයේ දී පැවැත්විණි.