Print this Article


පහන් සිතක කවි

මව්නි දයාබර

සිනාසෙන්නට
වරම් දුන් ඔබ
වැටි වැටි නැඟිටින්නට
අත දුන් ඔබ
මෙතරම් ඉක්මනින් ගියේ ඇයි දැයි
මොහොතක් වත් හිතාගන්න බැහැ
අහස උසට පැතුම් පතා ගෙන
සිටියත් අම්මේ එය වියැකුණාමට
ඔබ මතු සසරෙත් මගේ ම අම්මා වී
මෙතේ බුදුන් දකින්නට පතනවා අම්මේ

****

ආදර පියාණෙනි

මව් ගුණ කොතෙක් කීවත් මේ ලෝකෙ තුළ
යහ ගුණ ගැයුම අඩුවෙන්නේ කුමන කල
මව්වරු තරමටම පියවරු දුක් විඳින කල
පියවරු කඳුළු හංගයි තම දෑස් තුළ

හැත්තෑ දෙවසරක් තම දිවි ගමන තුළ
දවි ගෙවූ අයුරු තම මනසින් මැවෙන කල
සියක් ආයු වසරක් තව දිවි ගෙවන ලෙස
පතනෙමි පියාණෙනි ඔබ හට නිරෝගී සුව

****

මෙවර ජයග්‍රාහී කවිය

සැනසේවා

මුනිඳු දෙසුව දහම අනුව කාගෙත් සිත් සැන සේවා
දිව්‍ය සැපත් අපා දුකත් අනියත බව වැට හේවා
සසර කතර දුක් නිවන්න මෙත් සිසිලෙන් හැකි වේවා
මෙදුක් විඳින මම ද ඔබ ද මතු නිවනින් සැන සේවා

****

අගසවු පදවි

සැරියුත් සමිඳු මුගලන් හිමි සමඟ සැදී
බුදු හිමි දකින්නට පෙර පින් කරන ලදී
සසරේ විසූ කල නිම කොට පෙරද බැඳී
ලොව්තුරු ගුණය ගරු කොට සිරි පතුල වඳී

හිස රැඳි ජටාවන් ගලවා බිම තැබුවා
කෙලෙසුන් සුන්වෙලා සිල් සුවඳක් හැමුවා
හඳුනා දුක නසන මග උවදුරු නිමවා
නවම් පෝ දිනක අගසව් තනතුරු ලැබුවා

****

නාම නදී

ජීවිතයේ ගං දෑලේ
ගොම්මං කළුවර ගලද්දී
ගලන ගඟේ පා ඔබ ඔබ
මට ම තුරුලු වී සිටදි
ගඟට වඩා වැඩි වේගෙන්
නාම නදී හතර ගලපි
ගොඩට එන්නෙ මම කොහොමද?
ගඟට බැහැපු මම මියැදුණි
හිසට උඩින් හිස් අහසෙකි
ගඟට උඩින් කොක්කු පනිති
සසර නොදුටු කෙලෙස් නින්දෙ
කිරි මුට්ටිය දුටු සිහිනෙකි

****

ඔබ සැමට ඇරැයුම්

සුදු වතින් සැරැසී
සුපහන් සිතින්
පාරමී පුරා
බුදු සමිඳු මඟ ගොස්
සැනසී
සැමට සෙත් පතා
පොහෝදා
අප නිවසේ
මහ සඟරුවන
උදෙසා
සඟ සතු
දක්ෂිණාවෙන්
නිවී පහන් සිත
වඩන්නට
ඔබ සැමට ඇරැයුම්

****

සිතක මහිම

අරමුණක් වැළඳ ගන්නේ
තවතව අරමුණු වලට යන්නේ
වඳුරු ගති පාන්නේ
ඉබාගාතේ සිත දුවන්නේ

බුදු මඟට පිළිපන්නෝ
සිත දමනය කරගන්නෝ
සමත විදසුන් වඩන්නෝ
නිවන් සැප ලබන්නෝ

****

අසිරිමත් සිතිවිලි

දඹදිව වැන්දා ළඟකදී මම පෙරුම් පුරා
ඉහවහා ගොසින් සතුටක් මගෙ සිතම පුරා
බුදු හිමි උපන් දේශය මගෙ මනස පුරා
සිතුවම් පෙළක් වී ඇත දිවි තිබෙන තුරා

ජීවිතෙ පුරා විඳි සොම්නස් මේ තෙක්ම
බැහැ සම කරන්නට දඹදිව බැහැ දැක්ම
බොඳවී නොමැත තවමත් අබැටක් තරම
නිදි යහනෙදිත් මේ අසිරිය විඳිමි මම

****

උපන්දින සැමරුම

දෙවි දේවතාවරු වැනි ගුරු ඇසුර විඳ
නොසැලී නැගුණ අවහිර ළඟ පෙරට වැද
මෙතුවක් ගමන් මග දුක සැප සතුට මැද
එළැඹී තිබේ හැත්තෑ හය වසර අද

සිංහල ජාතියට නව ජීවනය ඇති
මිනිසුන් හැඩ ගසන ගුණ දම් නිවට නැති
යා යුතු ගමන මාවත හෙළි කරන නිති
සලකුණු තබා ඇත සම්පත් ගලනු ඇති

ලෝකය පැවතීම අනියත දහම වග
නුවණින් සිහි කරමි යා යුතු ගමන දිග
මෙතුවක් ගමන් කළ මග නැත සතුට හිඟ
ආසිරි ලබමි හැත්තෑ හය වසර ළඟ

****

නිවනින් නිවෙමු

සසරේ කල්ප ගණනක් අපි දුක් වින්දා
තවදුර යන්න මෙලෙසම සිදුවන හින්දා
බුදු හිමි දෙසු දහම වෙතටම හිත රන්දා
නවතමු මේ ගමන, මග වැටකටු බන්දා

මිනිසත් බවක් ලැබුවේ පෙර පින් කරලා
තව දුක් විඳින්නට බැහැ නිරයේ වැටිලා
සසරින් එතෙර වන්නට අදිටන් කරලා
නිවනින් නිවී සැනසෙමු වීරිය වඩලා

****

අමා දම් සෙවණේ

නිමක් නොදකින
ඇවිදිනා බව සසරේ
නැවතුමක් පමණකිය
මා ලද මිනිස් බව
මෙලොවේ
හිස් ලූ ලූ අත
දිව යන සත
චණ්ඩ මාරුත සේ
බැඳ දමා
මා යනෙන බෝ දුර
රුදුරු භව කතරේ
වසා ලූ සිත
අඳුරු සළුපට
මුදා නැණ බෝ සේ
බැඳ දමා සිත
කුසල් දමකින්
දුක පිරුණා සසරේ
ගමන නිමකර සදා
සැනසෙමු
අමා දම් සෙවණේ

****

සත්‍ය

කලුවන් කෙස් කලඹ සුදු පැහැවී යනවා
කටේ දත් පෙළත් එක දෙක ගැලවී යනවා
සියුමැලි සමත් ටික ටික වැහැරී යනවා
වයසට යන විටදි මරුවා හිනැ හෙනවා

****

ආත්මාර්ථය

රන්මසු වැස්සක් දෙරණට වැටුණත්
වැඩිම කොටස තම සුරතට ගත්තත්
සෙස්සන් සතු වූ කොටසට සිත්ගත්
තැවෙයි තැවෙයි සිත නොවීම මන්මත්