Print this Article


40 වසර සපුරන බෙම්තොට වනවාස රජමහා විහාරස්ථ ශ්‍රී පණ්ඩිතරත්න දහම් පාසල

40 වසර සපුරන බෙම්තොට වනවාස රජමහා විහාරස්ථ ශ්‍රී පණ්ඩිතරත්න දහම් පාසල

ඓතිහාසික බෙම්තර වනවාස රජමහා විහාරය අතීතයේ සිට වර්තමානය දක්වා අධ්‍යාපනික, ආගමික, සාමාජීය හා ශාසනික වශයෙන් සුවිශේෂී සේවාවන් රාශියක් සපුරාලන පුණ්‍ය භූමියකි.

එම විහාරස්ථානය බෙම්තර උමං විහාරය නමින් ද හඳුන්වයි. දකුණු පළාතෙහි, ගාලු දිස්ත්‍රික්කයේ බෙම්තර නගරයෙහි කඳු ගැටයක පිහිටා ඇත. බටහිරින් මහමුහුද ද, උතුරු නැගෙනහිර දිශාවලින් ගඟද මායිම්ව පිහිටා ඇත.

වංශ කතාවන්ට අනුව දුටු ගැමුණු රජතුමාගේ අවධියට පෙර දකුණේ විහාර 500 ක් තිබූ බව සඳහන් වේ. බෙම්තර රජමහා විහාරය ද ඉන් එකක් බව කියයි. එම විහාරයට මහා විහාරය යන්න ද අපර නාමයකි. දුටුගැමුණු රාජ්‍ය සමයේ දී දඹදිව මහරහතන් වහන්සේගෙන් ලැබුණු මහා කාශ්‍යප දළදා වහන්සේ බෙම්තොට මහා විහාරයෙහි තැන්පත් කොට පූජා සත්කාර කරන ලෙස සද්ධාතිස්ස රජුට පැවරූ බව මෙන්ම, පඤ්චමහා විහාරය සාදා පූජා කිරීමට පැවරූ බව මහා වංශයෙහි සඳහන් වේ.

දැගැබ පිහිටි බිම බෙම් වෙහෙර නමින්ද, බෝධීන් වහන්සේ පිහිටි බිම බෝධි මළුව නමින් ද, ප්‍රතිමා මන්දිරය පිහිටි බිම ගලපාත විහාරය නමින් ද, විහාර සංකීර්ණය වන්දනා කරන භික්ෂූන්ගේ ආගන්තුක වත කළ ස්ථානය බෝධි සමීප නමින්ද, යෝගාවචර භික්ෂූන්ගේ තපෝ වනය හෙවත් වාසස්ථානය වනවාස විහාරය නමින් මූලාශ්‍රයන්හි මෙන්ම නූතනයේ ද ව්‍යවහාර වේ. අනුරාධපුර යුගයේ මෙන්ම පොළොන්නරු යුගයේ විසූ නිශ්ශංකමල්ල රජතුමා මෙහි ප්‍රතිමා මන්දිරයක් කළ බව සඳහන් වේ. එම ප්‍රතිමා මන්දිරය ගලපාත විහාරයේ ප්‍රතිමා මන්දිරය බව පුරා විද්‍යා මතය යි.

දහම් පාසලෙහි ආරම්භය හා විකාශය

ඉතිහාසය අතරින් මතුවන වැදගත් සාධකයක් ලෙස විහාරස්ථ දහම්පාසල හැඳින්විය හැකි ය. ආරම්භය විහාරස්ථානය තුළ නොවී ය. එය කෝම්මල කනිෂ්ඨ විද්‍යාලය මූලික කොටගනිමින් සිදුවිණි. 1980 පොසොන් මස 06 දින නාහල්ලේ ඉන්දසිරි නා හිමියෝ මූලිකත්වයෙන් ඇරඹිණි. එකල විහාරස්ථානයෙහි අධිපති ව වැඩ සිටි හිමියෝ එහි ප්‍රධානාචාර්ය ද වූහ. දහම් පාසල නමින් ශ්‍රී පණ්ඩිත රත්න යන නම තැබූ අතර උප ප්‍රධානාචාර්යවරයා වශයෙන් කටයුතු කරවන ලද්දේ වත්මන් විහාරාධිපති ලෙවින්දූවේ චන්දවිමල නාහිමියන් ය. ආරම්භයෙහිදී ගුරුවරු 08 ක් හා ශිෂ්‍යයෝ 150 ක් වූහ.

මුල් කාලීන ව ගුරු, සිසුහු බෙම්තොට වනවාස රජමහා විහාරස්ථානයට උදෑසන පැමිණ ඇත. උදෑසන වන්දනාමාන කටයුතු සිදුකොට නැවත පෙරහරකින් පාසලට නැතහොත් දහම් පාසලට ගොස් ඇත. කොම්මල කණිෂ්ඨ විද්‍යාලයෙහි වූ දහම් පාසල කරණකොට ප්‍රදේශයේ ආගමික ප්‍රබෝධයක් ඇතිකොට ඇත. එකල සිසු දරුවන්ට සවස ගිලන්පස බුද්ධ පූජාව අනිවාර්ය කොට තිබිණි. 1995 සිට එය උදෑසන සිදුකොට ඇත. විශේෂ කාරණාවක් ලෙස දහම්පාසල එනම් 1980.08.26 සිට විසිපස් වසක් පුරා වසරක් පාසා රාත්‍රී මහා පෙරහරක් සිදුකොට ඇත. පාසල තුළ වූ දහම්පාසල පන්සල තුළ ස්ථාපිත කරන ලද්දේ ද මේ අතර කාලයේ ය. අද දක්වා දහම් පාසල තුළ වාර්ෂික කඨින පෙරහර සිදු කරනු ලැබේ. තවද එකල සිට මෙකල දක්වා ‘පියවර’ යනුවෙන් ශාස්ත්‍රීය සඟරාවක් එළි දක්වයි.

වර්තමානයේ ගුරුවරු 22 ක් හා සිසුහු 250 ක් ද ප්‍රධානාචාර්ය ලෙස වනවාස රාජමහ විහාරාධිකාරී ලෙස සද්ධන්ගොඩ රාහුල හිමියෝ කටයුතු කරති. උප ප්‍රධානාචාර්ය ලෙස ගෞරව ශාස්ත්‍රවේදී වැල්ලවායේ අරියඥාන හිමි කටයුතු කෙරිණි. එමෙන්ම සුවිශේෂ කරුණක් වනුයේ දහම් පාසල් සිංහල හා ඉංගී‍්‍රසි යන ද්විභාෂා ආයතනයක් වීමයි. සිල් සමාදන් වීමේ දී ගුරු සිසු සියල්ල සිල් සමාදන්විය යුතු ය. එමෙන්ම ප්‍රාදේශීය හා දිස්ත්‍රික් තරග ඉහළින් ජය ගෙන ඇත. පසුගිය වර්ෂය තුළ කොළඹ තරුණ බෞද්ධ සංගමය තුළ ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් විභාගයට මුහුණ දුන් සිසුන් 90 ක් සමත්ව ඇත. මේ අයුරින් අතීතයේ සිට වත්මන දක්වා අධ්‍යාපනික, ආගමික, සාමාජීය හා ශාසනික කාරණාවන් විශිෂ්ට ලෙස සපුරාලන පින් බිමකි.