Print this Article


පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 56: සිංහල, දෙමළ බෞද්ධයින්ගේ පුදබිම වෙල්ගම් වෙහෙර

සිංහල, දෙමළ බෞද්ධයින්ගේ පුදබිම වෙල්ගම් වෙහෙර

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ
සිරිසමන් විජේතුංග
පුරාවිද්‍යා Msc පර්යේෂණ

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉතා පුරාණ බෞද්ධ පුදබිමක් ලෙස ප්‍රකට වෙල්ගම් වෙහෙර අනුරාධපුර රාජධානි සමයේ මෙන් ම, පොළොන්නරු රාජධානි සමයේ ද ආරක්ෂා වූ, ආරක්ෂා කළ පුද බිමකි.

ඒ අනුව අනුරාධපුර රාජධානි සමයේ සිට දොළොස් වැනි සියවස දක්වා ඉතා දීර්ඝ කාලයකට අයත් වෙහෙර විහාර, දාගැබ්, බුදු පිළිම, මුරගල් ආදී බොහෝ පුරාවස්තු මෙම පුද බිමෙහි අදත් දැකිය හැකි ය. එහි තවත් විශේෂ කරුණක් වන්නේ සිංහල බෞද්ධයන් පමණක් නොව දෙමළ බෞද්ධයන්ගේ ද රැකවරණය මෙන්ම වැඳුම් පිදුම් ලැබීමට වෙල්ගම් වෙහෙර සමත් ව තිබීම ය. වෙල්ගම් වෙහෙර සිංහල බෞද්ධ විහාරයකි. ත්‍රිකුණාමලයේ නැගෙනහිර කට්ටකුලම් දිසාවේ පෙරියකුලම වැව අසල මෙම විහාරය පිහිටියේ ය. මධ්‍යකාලීන දෙමළ ව්‍යවහාරයෙහි පල්ලි යනු බෞද්ධ විහාරවලට මෙන්ම, ජෛන විහාරවලට ද භාවිත කර ඇත.

(නැගෙනහිර උරුමය - සිරිසමන් විජේතුංග පි. 44 - 2017)

සී.ඩබ්ලිව්. නිකලස් මහතා මෙම වෙල්ගම් වෙහෙර පිළිබඳ මෙසේ සඳහන් කර ඇත.

පෙරියකුලම අසල වූ නතනාර් කෝවිලේ නටබුන් වෙල්ගම, වෙලගාමි, හෙවත් වෙල්ගම් වෙහෙර නම් වූ පැරැණි බෞද්ධ විහාරස්ථානයට අයත් ය. යා බද වූ කඳු ගැටයේ තිබෙන භාතික තිස්ස රජුගේ (ක්‍රි.ව. 143 - 167) සෙල්ලිපියක මෙම පුදබිම නම් කර ඇත්තේ වෙල්ගම අබගර විහර යනුවෙනි. ක්‍රිස්තු වර්ෂ 993 - 1070 දක්වා වූ චෝල පාලන කාලයේ දී හින්දු ආක්‍රමණිකයෝ මේ බෞද්ධ විහාරය රැකබලා ගනිමින් විහාරයට ගම්බිම් පුදකොට ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කර ස්වකීය රජුගේ නම අනුව රාජරාජ පෙරුම්පල්ලි යැයි ඊට නම් කළහ. චෝලයින් මහ විජයබාහු රජු විසින් පරාජය කර පලවා හැරීමෙන් පසුව සිංහල බෞද්ධයෝ නැවත අයිති කරගත්හ. දැනට තිබෙන නටබුන්වලින් හින්දු ගෘහනිර්මාණ ශිල්පය පිළිබිඹු වෙයි. මෙය ලංකාවේ තිබෙන එකම දෙමළ විහාරය යි.

(පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික ස්ථාන විස්තරය - සී.ඩබ්ලිව්. නිකලස් - පි 51 - සිංහල පරිවර්තනය - ආචාර්ය සෝමපාල ජයවර්ධන - 1979)

ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙසින් සේවය කළ කාලයේ දී ඔහුගේ 1953 පුරාවිද්‍යා පාලන වාර්තාවේ මෙසේ සඳහන් වෙයි.

ත්‍රිකුණාමලයේ කට්ටකුලම් කෝරළේ පෙරියකුළම අසල පුරාණ බෞද්ධ සිද්ධස්ථානයක් සාදා ගැනීම 1953 දී සිදු කෙරුණි. අසල් වැසි දෙමළ මිනිසුන් විසින් මේ බෞද්ධ සිද්ධස්ථානයට නතනාර් කෝවිල යැයි භාවිත කරන ලදී. නැගෙනහිර වෙරළඩබ පිහිටි මෙම පුදබිම චෝල හමුදාවන්ගෙන් ආරක්ෂා වූවා පමණක් නොවේ. එය චෝල අධිරාජයාගේ අනුග්‍රහය ලැබීමට පවා භාග්‍යය ලද්දේ ය. ඒ රජුගේ නාමයෙන් එය අලුත් මුහුණුවරකින් දියුණුවට පත් වී ද්‍රවිඩ ජනයාගෙන් වැඳුම් පිදුම් පවා ලබන ලද්දේ ය. එහි පැරැණි සිංහල නාමය වෙල්ගම් වෙහෙර විය. ඒ නාමය පවා දෙමළ ජනතාව විසින් අමතක නොකරන ලදී. මේ පුදබිම පිළිබඳ ඔවුන් විසින් කරන ලද දෙමළ සෙල්ලිපිවල සිංහල හා දෙමළ නම් දෙක එක ළඟම සඳහන් වූයේ ය.

(1953 වැන්නේ පුරාවිදු පුවත ආචාර්ය සෙනරත් පරණවිතාන පි. 9 - 10 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි.)

ලංකාව ආක්‍රමණය පිණිස දකුණු ඉන්දියාවෙන් පැමිණි දෙමළ සෙබළ හමුදාවේ සෙබළුන් අතරේ දෙමළ බෞද්ධයන් විසුවේ යැයි ද වෙල්ගම යුද කඳවුරේ සෑහෙන දෙමළ බෞද්ධ පිරිසක් සිටියේ යැයි ද මේ අනුව පැහැදිලි වේ. එම දෙමළ බෞද්ධයින්ගේ ආගමික කටයුතු සඳහා වෙල්ගම් වෙහෙර ඔවුන් විසින් දියුණු කරන ලදී. බෞද්ධ දෙමළ යුද භටයෝ වෙල්ගම් වෙහෙර මහ පිළිම ගෙය දෙමළ සම්ප්‍රදාය අනුව ප්‍රතිසංස්කරණය කර ඔවුන්ගේ රජුගේ නමින් රාජ රාජ පෙරුම්පල්ලි ලෙස අලුතින් නම් කළහ. එහි පුදපූජා පැවැත්වීම පිණිස අවශ්‍ය වූ අය මාර්ග ද ඔවුහු සැලසූහ. හින්දු කෝවිල්වල පැවැත්වෙන සම්ප්‍රදාය අනුව දොළොස් මහේ පහණ (සදා නොනිමෙන පහන) දැල්වීම සඳහා අවශ්‍ය මුදලුත්, ගිතෙල් ලබා ගැනීමට ගවයනුත් ඔවුහු පිදූහ. වෙල්ගම් වෙහෙර පුදබිමෙහි ශිලා ලිපිවලින් වැඩි සංඛ්‍යාවක් පිහිටුවා ඇත්තේ වෙල්ගම විහාරයේ බුදුපිළිමයට දොළොස් මහේ පහන දැල්වීම සඳහා කළ පූජාවන් සටහන් කිරීමට ය.

මේ අනුව වෙල්ගම් වෙහෙර ද්‍රවිඩ සම්ප්‍රදාය අනුව ප්‍රතිසංස්කරණය කළා පමණක් නොව ඔවුන්ගේ පුද පූජා පැවැත් වූ බව එම දෙමළ සෙල්ලිපිවලින් පැහැදිලි වේ. අනුරාධපුර අවසාන භාගයේ දී සිදු වූ සොළී ආක්‍රමණවලින් බෞද්ධ වෙහෙර විහාර ඉතා දරුණු අන්දමින් චෝලයින් විසින් විනාශ කරන ලදී. වංසකතාවල සඳහන් පරිදි වෙල්ගම් වෙහෙර පමණක් ඔවුන්ගේ විශේෂ ගෞරවයට පාත්‍ර වූයේ කුමක් නිසාද? යන්න ඉතිහාසඥයන්ගේ හා පුරාවිද්‍යාඥයන්ගේ මවිතයට හේතු වූයේ ය. වෙල්ගම් වෙහෙර අසල දෙමළ හමුදා කඳවුරෙහි දෙමළ බෞද්ධයින් සිටීම මේ සඳහා ප්‍රධාන හේතුව වූයේ ය. මේ නිසා වෙල්ගම් වෙහෙර සිංහල දෙමළ බෞද්ධයින්ගේ පුදබිමක් ලෙසින් නිරුපද්‍රිත ව පැවතුණි. (මහ විජයබාහු රජතුමා - පුරාණ ජාතියේ පියා හෙළ දැයේ ජාතික විමුක්ති සටනේ මහ රණවිරුවා - සිරිසමන් විජේතුංග පි. 71 - 72

වෙල්ගම් වෙහෙරේ ඇති නටබුන් අතර එහි ම හිටි බුදුපිළිමය පැරැණි මූර්ති ශිල්පීන්ගේ ප්‍රතිභාවය මතුකරන ප්‍රතිමාවක් ලෙසින් සැලකේ.

වෙල්ගම් වෙහෙරේ ඇති නටබුන් අතරේ විශාල චතුරශ්‍රයේ මහ පිළිම ගෙයක්, දාගැබක් සහ බෝධිඝරයක් වේ. මහ පිළිම ගෙය පසු කලක දී එනම් එකොළොස්වන සියවසේ දී පමණ ද්‍රවිඩ බෞද්ධයන් විසින් හින්දු ගෘහ නිර්මාණ ශිල්පීය ලක්ෂණ අනුව වෙනස් කර ඇත. මෙම වෙල්ගම් වෙහෙර රාජරාජ පෙරුම්පල්ලි යැයි නම් කර ඇත.

(උතුරු නැගෙනහිර පෙදෙස්හි හෙළ උරුමය - ඇම්.එච්. සිරිසෝම හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් (පි. 67 - 68 - 1986 )