Print this Article


කරදර ගැන දුක් කරදර ඇයි?

කරදර ගැන දුක් කරදර ඇයි?

ගෞරවණීය ස්වාමින්වහන්ස, ජීවිතයේ ප්‍රශ්න, ගැටලුවල කෙළවරක් නැති බව බොහෝ දෙනාගේ අදහසයි. එනිසා ම ඇතැම් පිරිස් ව්‍යාකූලත්වයට පත්වෙලා. මෙවැනි තත්ත්වයක දී නිරවුල් සිතින් ජීවත් වෙන්නේ කෙසේ ද?

අතිශය දුර්ලභ මිනිස් ජීවිතයක් ලැබූ අපට බුදුරජාණන් වහන්සේගේ පිළිසරණ, රැකවරණය ලබන්නට අවස්ථාවක් කල්ප ගණනකට පසුව උදා වී තිබෙනවා. ඒ සම්බුදු සසුනේ දායකත්වය අපේ ජීවිතවල සියලු ම ප්‍රශ්න විසඳාගන්න උපකාර වෙනවා. සිව්වනක් පිරිස ලෙස බුදු සසුනක පිළිසරණ සොයා කටයුතු කරද්දී අපට සිදුවෙනවා ප්‍රාණඝාතය, සොරකම, වැරැදිකාම සේවනය, බොරුකීම, මත්ද්‍රව්‍ය,මත්පැන් අත්හරින්න. භාග්‍යවතුන් වහන්සේ වදාළා පස්පව් නො කිරීම, පන්සිල් රැකීමෙන් තමන්ගේ ජීවිතයට පුණ්‍ය ගංගාවන්් පහක් ගලාගෙන එන බව. ගඟක් වුවද මුහුද දක්වා ගලාගෙන යද්දී එක එල්ලේ පහසුවෙන් මුහුද කරා ගලා යන්නේ නැහැ. විවිධාකාර බාධාවන් මුණ ගැහෙනවා. ඒ බාධාවන් මැද ගංගාව මුහුද වෙත ගලායන ස්වභාවය නතර කරන්නෙත්, නතර වෙන්නෙත් නැහැ. එයයි ගංගාවේ ස්වභාව ය. ඒ වගේ අප දුර්ලභ ව මිනිස් ජීවිතයක් ලද මොහොතේ හොඳින් ජීවත් වෙන්න කල්පනා කළත් නොයෙක් බාධක කරදර මුණ ගැහෙනවා. ඒවා ජය ගැනීමයි අප කළ යුත්තේ.

ඉතා යහපත් ව ජීවත් වන අයටත් නො සිතු කරදරවලට මුහුණ දෙන්නට සිදුවෙනවා. හොඳින් ජීවත් වන අපට ඇයි මෙතරම් කරදර කියා කෙනෙකුට සිතුණොත්? . . . .

බුදුරජාණන් වහන්සේ මේ කරුණ පැහැදිලි කිරීම පිණිස ඉතාම ලස්සන ගාථාවක් දේශනා කොට වදාළා.

යාදිසං වපතේ බීජං - තාදිසං හරතේ ඵලං
කල්‍යාණකාරී කල්‍යාණං - පාපකාරීච පාපකං

තමන් වපුරන්නේ යම් බීජයක් ද , ඒ බීජය තමයි තමන්ට ඵලදාව ලෙස නැවත ලැබෙන්නේ. කෙනෙක් වී වැපුරුවොත් මුං, කඩල ආදී අස්වැන්නක් ලැබෙන්නේ නැහැ. ඔහුට ලැබෙන්නේ වැපූරූ වී ඇස්වැන්නම යි. ඒ වගේම කෙනෙකුට නියඟලා අල සිටුවා බතල හෝ වෙන අල වර්ගයක් ලබන්න බැහැ. ලැබෙන්නේ ම විෂ සහිත වූ නියඟලාම යි. බුදුරජාණන් වහන්සේ වදාළා තමන් හොඳ දෙයක් කළොත් හොඳ විපාක ලැබෙන බවත් පවක් කළොත් දුක් විපාක ලැබෙන බවත්. එනිසා ප්‍රශ්නයක් ආ විට ඇයි අපට ම මෙතරම් කරදර කියා හිතන්නේ සංසාරය ගැන අපට අවබෝධයක් නැතිකම නිසයි. අපට ඇතිවෙන බොහෝ ප්‍රශ්න මේ ජීවිතයේ ඒවා නොවේ. ඒවා සංසාරයේ ගමන් කරද්දී ඒ ඒ වෙලාවේ ධර්මයට විරුද්ධව, නො දැනුවත්කමින් අප විසින් සිදු කරගත් දේ යි. ජීවිතය ජය ගත් කෙනෙක් දුටුවිට අපට හිතෙනවා අර පුද්ගලයාට නම් කිසිදු කරදරයක් නැහැ. අපටම යි මේ සියලු ම කරදර කියලා. ඒ බොහෝ ප්‍රශ්න, කරදර සසරේ කළ දේ කියා අප දන්නේ නැහැ. අපට සැපයක් ලැබෙනකොට ඇයි අපට මේ තරම් සැප ලැබෙන්නේ? මෙ තරම් සැප අවශ්‍ය නැහැනේ කියා අප කවුරුත් හිතන්නේ නැහැ. ඇයි ඒ. අප ඒ සැපයට මත්වෙලා නිසා. ඒ තුළ ම ඇලී ගැලී වාසය කරනවා. නමුත් කරදරයක් ජීවිතයට ආ විට ඇයි අපට ම මෙහෙම වෙන්නේ කියා හිතෙනවා. ඒ වගේ ම සසරේ ගමන් කරද්දී නොයෙක් පාපකාරී මිත්‍රයන් මුණ ගැසුණා ම අප දහම විශ්වාස නො කර, සසර ගැන විශ්වාස නො කර පව් කරනවා. ඒ පව් අප වෙත කවදා හෝ එනවා ඒකාන්ත යි.

සසරේ කළ අකුසලයක් මේ ජීවිතයේ විපාක දෙන්නේ කොහොම ද?

සමහර පුද්ගලයන් තමන්ගේ අසල්වාසින්, ඥාතීන් දියණුවෙනවාට ඊර්ෂ්‍යාවෙන් සිටිනවා. බොරු චෝදනා, අවලාද කරනවා. ඒ අයගේ දියුණුව වළක්වන්න අනේකවිධ අභියෝග ඇති කරනවා. ඒ හේතුවෙන් දියුණුව වෙත යන පුද්ගලයාට දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙනවා. එසේ පව් කරමින් සතුටත් ලැබුවට අපට සංසාරේ ඒ පව දියුණුවෙලා, ප්‍රබලවෙලා, බහුලවෙලා දුක් විපාක වශයෙන් විපාක ලැබෙනවා. එහෙමනම් යහපත් කෙනෙක් වශයෙන් ජීවත්වෙනවිටත් අපට කරදර එනවානම්, අපි සංසාරේ අකුසල් බලවත් ව සිදුකර ඇති බව සිහි කළ යුතුයි.

අපි හිතමු උපෝසථය සමාදන්වෙන, බණ භාවනා කරන, දන් පැන් පූජා කරන යහපත් කෙනෙක් ඉන්නවා. ඔහුගේ විවාහ ජීවිතය දෙදරා යනවා. එවිට ඔහු හිතනවා “අනේ මම කාටවත් කරදරයක් කරන කෙනෙක් නොවේ. යහපත් ව ජීවත් වෙන කෙනෙක්. නමුත් ඇයි හොඳ වැඩ කරන මට ම මෙහෙම වුණේ කියලා. නමුත් අප හැම ජීවිතයේ දී ම අපි බණ භාවනා කරලා නැහැ. සසර පුරාවට ම අප දන් දීලා නැහැ. එහෙම එද්දී එක්තරා ජීවිතයක් පමණයි මෙසේ බණ භාවනා කරන්නේ. එහෙමනම් ඒ අතරමැදි ජීවිතවලදී අප බහුල ලෙස පව් රැස්කරගෙන තිබෙනවා. ඒ පව්වල දුක් විපාක අපට විඳින්න තිබෙන්නේ දුකසේ. එනිසා අපේ ජීවිතයට යම් කරදරයක් , පසුතැවීමක් එන අවස්ථාවක ධර්මයෙන් ගලපා බලන්න ඕන ‘’ඇයි මට මෙහෙම වුණේ?’’ කියා. නැතිනම් ඔහු ධර්මයට ද්වේශ කරමින් හිතනවා, හොඳින් ඉන්න මට ඇයි මෙහෙම වුණේ, අයහපත කරමින් මේ ලෝකයේ කො තරම් මිනිස්සු සැපෙන් ජීවත් වෙනවාද කියලා. අප යහපත් ජීවිතයක් ගත කරද්දීත් ඒ ජීවිතයට අනේකවිධ බාධාවන් එනවිට නුවණැත්තා කල්පනා කරන්නේ මේ සියල්ල ම මා විසින් සංසාරයේ අන්අයට කළ දෙයක ප්‍රතිඵලයක් කියල යි. කෙනෙක් සතුන් මරමින්, මත්ද්‍රව්‍ය ව්‍යාපාර කරමින්, අන්අය දුකට පත් කරමින් ජීවත් වෙනවා අපට පේනවා. ඒ වගේම ඒ අය මන්දිරවල සැපසේ යානවාහන, දැසි, දස්සන් ඇතිව ජීවත්වෙනවාත් පෙනෙනවා. එය මෙසේ තේරුම් ගන්න. ඒ අය පෙර සංසාරයේ බොහෝ ගුණධර්ම රකිමින් හොඳට දන් දීලා තිබෙනවා. මේ ජීවිතයේ යහපත් වැඩ නො කළත්, ඔහුට දැන් විපාක දෙන්නේ සසරේ කළ යහපත් කර්ම යි. මේ ජීවිතයේ කරන දේ ඔහුට ඊළඟ භවයක දී හමුවෙලා දුක් විපාක ඇති කරනවා ඒකාන්ත යි.

බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේදීත් මෙවැනි සිදුවීම් වලට උදාහරණ තිබෙනවා ද?

එයට එක් උදාහරණයක් තමයි බෝධිරාජ සූත්‍රය. බෝධිරාජ කුමාරයාට දරුවන් සිටියේ නැහැ. ඔහු දිනක් අලුතින් ඉදිකළ මන්දිරයට භාග්‍යවතුන් වහන්සේ ඇතුලු සංඝරත්නයට දානයට ආරාධනා කළා. එහිදී ඔහු පාවාඩයක් එලා අධිෂ්ඨානයක් කර සිටියා “බුදුරජාණන් වහන්සේ මේ පාවාඩය මතින් වැඩම කළොත් මගේ දේවියට දරුවෙක් ලැබෙයි. නැතිනම් අපට දරුවෝ ලැබෙන්නේ නැතිවෙයි” කියලා. භාග්‍යවතුන් වහන්සේ ඒ පාවාඩය මතින් වැඩම කළේ නැහැ. දානය අවසන මේ කුමාරයා භාග්‍යවතුන් වහන්සේට පවසා සිටියා ස්වාමිනි, මම මේ පාවාඩය දැම්මේ එක්තරා අධිෂ්ඨානයකින් කියා. එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළා කුමාරය, මම මේ පාවාඩය මතින් නො වැඩියේ ඔබගේ ප්‍රාර්ථනය සිදු නො වන නිස යි. සසරේ දී ඔබ දෙපළ අකුසල කර්මයක් කර තිබෙනවා. ඔබත් බිරිඳත් යම් උපද්‍රවයක දී දූපතකට ගොඩවෙන්න සිදුවුණා. එහි ආහාර නො තිබු නිසා ජීවිතය පවත්වා ගැනීමට ඔබ දෙදෙනා එහි ලැගුම්ගෙන සිටි ලිහිණියන්ගේ බිත්තර ආහාරයට ගත්තා. ඒ සත්ත්වයන් දුකට පත් කර ඔබ ජීවත් වුණා. ඒ නිසා ඔබලාට දරු සම්පත් නැහැ කියා අතීත කතා පුවත දේශනා කොට වදාළා. ඔවුන් ඒ ජීවිතයේ පව් කළේ නැහැ. නමුත් සසරේ කර්ම විපාකයක් ඉදිරියට ආවා.

එහෙමනම් ඇයි අපට ම මෙහෙම වෙන්නේ? කියා හිතන එක සාධාරණ නැහැ. බුද්ධ දේශනාවෙන් පමණයි මේ ප්‍රශ්නයට පිළිතුරක් ලබා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. බුද්ධ ශාසනයෙන් පරිබාහිරව මෙවැනි ප්‍රශ්නවලට විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ ජීවිතයේ අකුසල් නො කර කුසලය පමණක් සිදු කරන්න වීර්යය කරන්න. “ඔබ දුකට බයනම්, දුකට අකැමැතිනම්, එළිපිටවත් රහසේවත් කිසිවිටෙක පව් කරන්න එපා. එසේ කරනවානම්” සසරේ දී අනේක දුක් දොම්නස්වලට මුහුණදීමට සිදුවීම වළක්වන්නට බැහැ, කියලයි බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළේ.