Print this Article


සසුන් කෙත පොබ කළ යතිවර දිවියක උදාර නාමය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නා හිමි

සසුන් කෙත පොබ කළ යතිවර දිවියක උදාර නාමය

වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නා හිමි

" ඤාණරතන මහානායක මාහිමිපාණන් වහන්සේ පිරිවෙන් ශිෂ්‍ය අවධියේ සිට ම සුපේෂල, ශික්ෂාකාමී යතිවරයාණන් වහන්සේ නමක් ලෙස ගිහි පැවිදි උභය සමාජයේ ම ගෞරවයට පාත්‍ර වූ හ. එමෙන් ම ප්‍රාචීන භාෂා අධ්‍යාපනය මෙන් ම, ප්‍රාචීන භාෂා පිළිබඳ වියත් පඬිරුවනක් බවට පත්වූ හ."


හාරිස්පත්තුව වරකාගොඩ දූල්දෙණිය රාජකරුණා නවරත්න අතපත්තු වාසල මුදියන්සේලාගේ මුදියන්සේ සහ හිඟුල්වල අලකොලදෙණියේ දුග්ගන්නා රාළලාගේ පිංචි අම්මා දම්පතීන්ගේ තෙවන දරුවා ලෙස 1942 මාර්තු 18 වන දා පින්වන්ත කුමරුකු මෙලොවට බිහි විය.

එම කුමරුවා දොළොස් වන වියෙහි දී උඩපිටියේ ශ්‍රී සුමංගල නා හිමි, මැදගොඩ පඤ්ඤානන්ද නාහිමි, අළුදෙණියේ රතනපාල නාහිමි සහ රඹුක්වැල්ලේ සද්ධානන්ද නාහිමි යන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් එවකට අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ධුරන්දර ව වැඩ විසූ, යටවත්තේ ධම්මරතන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් අස්ගිරි මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී 1955 අප්‍රේල් 07 වන දා පැවිදි බිමට පත්වූහ. වරකාගොඩ ඤාණරතන හිමි නාමයෙන් එසේ පැවිදිබිමට පත්ව ශාසනික වත් පිළිවෙත් මැනවින් හැදෑරූහ. අස්ගිරි මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේ දී 1962 ජුනි 09 වන දා උපසම්පදාව ලැබූහ.

බදුල්ල විද්‍යාත්තංස පිරිවෙනින් සහ වත්තේගම ශ්‍රී ධර්මදීප පිරිවෙනින් ද මූලික පිරිවෙන් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ අස්ගිරි මහා විහාර පිරිවෙනින් සහ පේරාදෙණිය ශ්‍රී සාරානන්ද පිරිවෙනින් ද අධ්‍යාපනය ලැබූහ.

1970 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත් වරකාගොඩ ඤාණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ බදුපොල විද්‍යාලයෙන් ගුරු භූමිකාව ආරම්භ කළහ. අනතුරුව මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය, කොත්මලේ මඩකුඹුර විද්‍යාලය, පාතදුම්බර මහා විද්‍යාලය, පොල්ගොල්ල මහා විද්‍යාලය යන පාසල්වල ධර්මාචාර්යයන් වහන්සේ නමක් ලෙස විසි පස්වසරක පමණ කාලයක් සේවය කරමින් පාසල් දරුවන්ගේ නැණ නුවණ දියුණු කිරීමට උදාර මෙහෙවරක් ඉටු කළහ.

ධර්මාචාර්යන් වහන්සේ නමක් ලෙස දිගු කලක් සේවය කළ පාල්ගොල්ලවත්ත විද්‍යාලයට යාබද ව භූමි භාගයක් පිරිනැමීම ද සුවිශේෂී වේ. අධ්‍යාපන ක්ෂේත්‍රය මගින් එසේ මහඟු මෙහෙවරක නිරත වෙමින් උන්වහන්සේ අගනා සමාජ මෙහෙවරක ද නිරත වූහ.

ඤාණරතන මහානායක මාහිමිපාණන් වහන්සේ පිරිවෙන් ශිෂ්‍ය අවධියේ සිට ම සුපේෂල, ශික්ෂාකාමී යතිවරයාණන් වහන්සේ නමක් ලෙස ගිහි පැවිදි උභය සමාජයේ ම ගෞරවයට පාත්‍ර වූ හ. එමෙන් ම ප්‍රාචීන භාෂා අධ්‍යාපනය මෙන් ම, ප්‍රාචීන භාෂා පිළිබඳ වියත් පඬිරුවනක් බවට පත්වූ හ. එමෙන්ම ස්වකීය ගුරු දේවයන් වහන්සේලා වෙත ද මහත් ගුරු ගෞරවයෙන් කටයුතු කළ ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වූ හ.

වරකාගොඩ ඤාණරතන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ස්වකීය ශිෂ්‍ය දිවියේ පටන් ශාසනික වත් පිළිවෙත් මෙන් ම, සංඝ සභාවේ කටයුතු පිළිබඳව ද මනා පුහුණුවක් ලැබූහ.

අසිරිමත් ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් තේවා කටයුතුවල නිරතවීමේ භාග්‍ය බුද්ධශ්‍රාවකයන් වහන්සේ නමක් ලබන්නේ නම්, එය ඉතා දුර්ලභ, වාසනාවන්ත, ඓතිහාසික කරුණකි. 1976 දී ශ්‍රී දළදා මැදුරේ තේවා කටයුතුවල නිරතවීමට පත් වූ වරකාගොඩ ඤාණරතන මහා නායක මාහිමිපාණන් වහන්සේ 2004 වර්ෂයේ දී ද ශ්‍රී දළදා වහන්සේ වෙත තේවා කටයුතුවල නිරත වූ හ.

වරකාගොඩ ඤාණරතන මහා නායක මාහිමිපාණන් වහන්සේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයට අයත් විවිධ ශාසනික කටයුතුවල නිරත වූ හ. අස්ගිරි මහා විහාර පාර්ශ්වයෙහි වැඩ සිටි අති පුජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ මඟ පෙන්වීමෙන් හා ආශීර්වාදයෙන් ශාසනික විවිධ පදවි උසුලන්නට හැකිවීමත්, ඊට අදාළ කටයුතු ක්‍රමවත් ව වගකීමෙන් සිදුකිරීමටත් උන්වහන්සේට ශක්තිය පැවතිණි.

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක පලිපාන ශ්‍රී චන්ද්‍රානන්ද මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් වරකාගොඩ ඤාණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1990 අස්ගිරි මහා විහාර කාරක මහා සංඝ සභාවට පත් කරන ලදහ. උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිත මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් වරකාගොඩ ඤාණරතන මා හිමිපාණන් වහන්සේ වෙත ජ්‍යෙෂ්ඨ කාරක සභික තනතුර පිරිනමනු ලැබූහ. අනතුරුව 2009 දී උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානායක මා හිමිපාණන් වහන්සේ විසින් කාරක මහා සංඝ සභාවේ උපාධ්‍යාය ධූරයට පත් කරන ලදී.

ඓතිහාසික බදුලු මුතියංගණ රජමහා විහාරාධිපති ධූරයට පත් වූ උන්වහන්සේ අස්ගිරිය විජය සුන්දරාරාමයේ සහ පොල්ගොල්ල උඩගුන්නෑපාන බෝධිමල්කඩ විහාරාධිපති ධූරයට පත්ව එම විහාරස්ථානයන්හි ආගමික කටයුතු මැනවින් ඉටු කළහ.

දඹදිව බුද්ධ භූමිය වන්දනාකරගත් උන්වහන්සේ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානායක මාහිමිපාණන් වහන්සේ සහ ගලගම ශ්‍රී අත්ථදස්සී මහානායක මාහිමිපාණන් වහන්සේ ද සමඟ සිංගප්පූරුව, මියන්මාර් ආදී රටවලට ද, 2002 තායිලන්තයේ පැවැති ආගමික උත්සව රැසකට ද වැඩම කළහ.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක ධූරයට 2015 අප්‍රේල් 07 වන දා පත්වූ උන්වහන්සේ ලෝක ශාසනික මෙහෙවරෙහි නිරත වූ හ.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ධුරන්දර ව වැඩ විසූ අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ධූරයට පත් වූ වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානායක මා හිමිපාණන් වහන්සේගේ ආගමික, ශාසනික, සාමාජික මෙහෙවර අනාගතයට ද සිදු කර ගෙන යාමට දක්ෂ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා කිහිප නමක් ද උන්වහන්සේ සසුනට දායාද කළහ. ඒ අතර බදුලු මුතියංගන රාජ මහා විහාරයේ භාරකාර ආචාර්ය මුරුද්දෙනියේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය වේ.

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහානායක මා හිමිපාණන් වහන්සේ 79 වන වියට මෙම මස 18 වන දා පා තබනු ලැබේ.

තව තවත් ලෝ සසුන් සෙත සලසන්නට, තෙරුවන් සරණින් කායික මානසික ශක්තිය සැලසී ශත වර්ෂාධික කාලයක් නිදුක් නිරෝගී ව වැඩ සිටින්නට ශක්තිය හා ධෛර්යය ලැබේවායි පතමින් “බුදුසරණ” ආසිරි පතමු.