පුඤ්ඤාභිසන්ද
බෙලිහුල්ඔය සීලසමාහිත යෝගාශ්‍රමවාසී
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
අභිධර්මය පිළිබඳ කථිකාචාර්ය
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
බලංගොඩ රාධ හිමි
ඔබෙත් මගෙත් ශරීරය නිදහසේ පරිහරණය කිරීමට ලබාදුන් කාලය අවසන් වීමෙන් මලකුණක් බවට
පත්වේ. අවසන් වන දිනය නො දැන, අවසන් වන බව දැන යන්නා වූ මේ ජීවන ගමන තරම් අනේකවිධ
සෝචනාවන්ට තුඩු දෙන අන් යමක් මිහිපිට නොමැත ජීවත් වුව ද මළවුන් සදිසි මිනිසුන් පින්
දහම්වල රස හඳුනන්නේ නැත. එහෙත් සද්ධර්මයේ රස දන්නා පුද්ගලයා මිය ගිය ද නොමළ අයෙකු
ලෙස බුදුරජාණෝ පෙන්වා වදාළහ.
යුගයෙන් යුගයට ජීවිත සුවපත් කළ ශාන්ති නායකයන් වහන්සේ, නින්දා, ගැරහුම්, පැසසුම්,
කිතුගොස් සම සිතින් දරා, පුරා සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී දම් පිරූහ. මහා
බෝසතුන් කළ - කළ දේ පාරමී නමැති ලිය වැලේ පුෂ්පයන් බවට පත්විය. කෙලෙස් දියඹ තරණය
කරන දහම් පහුර සාදා දෙනු වස් ඒ බුදුරදුන් අවිද්‍යා ඝනදුරින් වැසීගිය, කෙලෙස් සැඩ
වතුර තරණය කළේ මහත්ම වීර්ය පරාක්‍රමයකිනි. නො සිතිය හැකි තරම් ධර්ම ජීවයක් හද
මැදුරින් උසුලාගෙන වැඩ සිටි ධර්ම රාජයන් වහන්සේ සදා නොසිදී ගලන පුණ්‍ය ගංගාවන්
හෙවත් පුඤ්ඤාභිසන්ධයන් සතරක් පහළ කළහ.
පළමු පින් ගඟ
එහෙත් ඔබ ඒ පුණ්‍ය ගංගාවන්ගේ ගිලී නිවී සැනැහී ළය පහන් කර ගැනීමට සුදුස්සෙක් ද යන්න
අවබෝධ කර ගත යුතු ය. බුදුරජාණන් වහන්සේ සරණ ගොස් නොසෙල්වෙන ලෙස චිත්ත ප්‍රසාදය
ඇතිකර ගැනීම පළමු පුණ්‍ය ගංගාව ගැලීමට හේතු වෙයි. එහිදී ඔහු බුදුරජාණන් වහන්සේ
පිළිබඳ අවබෝධයක් ඇතිකර ගත යුතු ය. බුදුරජුන්ගේ චරිතාපදානය රූප විලාශය, සිතුම්
පැතුම්, ආකල්ප, ජීවන රටාව, කළ කී දෑ යන මේවා ගැන හොඳ වැටහීමක් ඇති අයෙකුට
බුදුරදුන්ගේ අසිරිමත් ගුණ සයුරේ පමණ අනුමානයෙන් හෝ යම්තමින් සිතා ගත හැකි ය.
සසරක් පුරා දුක උරුම කරදුන්, තැවුල් ඇති කළ නොයෙක් පව්කාර සිතිවිලි වේගයන් වේ නම් ඒ
සියල්ල සන්සිඳ වූ හෙයින් බුදුරදුන් නික්ලේෂී වන සැටි මෙනෙහි කළ යුතු ය. ලෝ සතුන්ගේ
පිදුම් - වැඳුම් ලැබීමට ඉඳුරාම සුදුසුකම් ලද අයුරු තථාගතයන් වහන්සේගේ අරහං ගුණය ලෙස
වටහා ගත යුතු ය. සංසාර බන්ධන සිදලනු පිණිස චතුරාර්ය සත්‍යාවබෝධය ලැබූ අයුරු, ඒත්
සමගම සතුරන් සදිසි කෙලෙසුන් ඉවත්වී පූජනීය සිතුවිලි හමුවක් ලද ආකාරය දක්නා
ශ්‍රාවකයාට බුද්ධාලම්බන ප්‍රීතිය පහළ වේ. අවබෝධයේ පමණින් ම ගොඩනැගුණ ශාන්ත දිවි
පෙවෙත හැඩකළ උසස් මානසික ශක්තීන් හා හැකියාවන්වලින් පිරිපුන් ආශ්චර්ය මනුෂ්‍ය රත්නය
බුදුරජාණෝ ය. කාලවාදී, සච්චවාදී වදන් වැලකින් ලෝ සතුන්ට සත්‍ය රසය දැනවූ අයුරු මහා
කරුණාවක අනුහස කියා පාන්නකි. බුදුරජුන් සතුව පැවැති ලෝකාවබෝධය කිසිවෙකුටත් පමණ කළ
නොහැක. එය ඤාණයක් වන අතර, බොහෝ දෙනෙක් අඳුරින් එළියට කැඳවනු ලැබූ මාර්ග සංඥක විදුලි
පන්දමක් වැනි ය. දෙවි මිනිස් ප්‍රජාවට දුන් දහම් වරපට කොපමණ ශක්තිමත් ද යන්න
වැටහෙන්නේ සසර අගාධයෙන් ගොඩ ආ උදවිය පමණ කළ නොහැකි නිසා ය. මේ ආකාරයෙන් බුදුරදුන්ගේ
ජීවන ගුණ සමූහය ඡායාමාත්‍ර වශයෙන් හෝ සලකන අයෙකුට ඉහත පළමු පින් ගඟ ගලන්නට පටන්
ගනී. හද සීත දිය බුබුළක් සේ උතුරන බුද්ධාලම්බන ප්‍රීතිය නම් වූ ජල ධාර සුවිසල්
ගඟුලක් වෙමින් දිනක නිර්වාණ අම සාගරයට ගලා බසියි. බුදුරජුන්ගේ ගුණ දැනගත් පමණින් ම
ඇතිවන ඒ චිත්ත ප්‍රසාදය ශ්‍රද්ධාව නම් වූ චෛතසිකය යි.
ධර්මයට ගළපාගත් ජීවිතය
මේ වන් කල්පනාවක නිමග්න ව කල් ගෙවන්නාට මානසික වෙහෙසක් නොවේ. තම ජීවිතය ද උපශාන්ත
හැසිරීම් වලින් යුතු වන අතර පහළවන පින් සිතිවිලි බොහෝ කලක් හිත සුව පිණිස පවතිනු
ඇත. බුද්ධ චරිතයේ ආදර්ශය තම ජීවිතයට ලැබීම නිසා අත්වැඩ ද පරවැඩ ද සමව සිතන
සත්පුරුෂයන් කොතෙක් සිටිය ද ඔවුන් මහපොළවට බරක් නොවේ; දස පුණ්‍ය ක්‍රියාවන්ට ආධාරය
සත්පුරුෂයා ම ය. යහපත් චේතනා උපදින නිර්මල අරමුණ බුදුරජාණන් වහන්සේ ය. බුදුගුණය
අනුව ගෙන යන සතිය බුද්ධානුස්සතිය යි. එයම පළමු පුණ්‍යාභිසන්දය යි.
දෙවන පුණ්‍යාභිසන්ධය නම් තථාගත ධර්මය පිළිබඳ ව නොසෙල්වෙන චිත්තප්‍රසාදය ඇතිකර ගැනීම
යි. එහිදී ධර්මයේ මනාභාවය නුවණින් දත යුතු ය. ලොව ඇති තාක් රසයන් අතර අග්‍ර රසය වන
ධර්ම රසය ලැබීමට ධර්මාචාරී විය යුතු ය. තමන් විසින්ම ප්‍රත්‍යක්ෂ කර ගත හැකි බව, දත
හැකිවන්නේ එවිටයි. ධර්මයට ගළපාගත් ජීවිතය තුළින් සැනසීම ලැබීමට තත්පරයකුත් ප්‍රමාද
නොවේ. ඒ ඒ නිමේෂයෙහි සිත සතුටින් පුරවාලන ජීව ගුණය ධර්මයේ අකාලික භාවයයි.
ධර්මානුකූල දිවි පෙවෙතක් හිමි අයෙකුට තම චරිතය ආදර්ශයක් කොට අන්‍යයන්ට ද දහම් සුව
විඳීමට මග පෙන්විය හැකි වේ. “එන්න, මේ ධර්මයේ හැසිරී සුවපත් වන්න” යන ආරාධනාව තරම්
වටිනා නිමන්ත්‍රණයක් ලොව නැත. භව ගිමනින් තැවී, කෙලෙසුන්ගෙන් ආතුර වී ජරා
මරණයන්ගෙන් පීඩිත පුද්ගලයා සුවපත් කළ හැක්කේ දහම් ඔසු පෙවීමෙන් පමණි. එක් අයෙකු
ප්‍රතිපත්තිමය වශයෙන් අනුගමනය කරන ධර්මය අන් අයෙකුට ඵලදායක වේ නම් අල්ප වශයෙනි.
තමාම වඩන ධර්මය තමාටම සුව ගෙන දේ. එබැවින් ස්ව සන්තානයට පමුණුවා ගැනීමට සුදුසු
තථාගත ධර්ම ගුණය ඕපනයික නම් වේ.
මෙවන් ගුණ සමුදායක් හිමි තථාගත ධර්මය ගැන සිත පහදවා ගැනීම නිසා මොහොතක් පාසා පින්
වඩවා ගත හැකි ය. මෙලොවට ද, පරලොවට ද, නිවනට ද එකසේ වැඩදායක බුදු බණ අනුව පහදවා ගත්
සිත පින් ගඟුලක් උපදවන උල්පතක් වැනි ය.
ජීවමාන මුනි ගණය
තෙවන පුණ්‍යාභිසන්දය නම් සංඝරත්නය පිළිබඳ චිත්තප්‍රසාදය උපදවා ගැනීමයි. සාර
පිළිවෙතින්, නොවරදින ගමනින් සසරින් නිවනට පියමං කරන බුදු පුතුන් ගැන සිත පහදවා ගත්
ශ්‍රාවකයා දාන ශීලාදී පින් කිරියවත් අප්‍රමාදී ව සම්පාදනය කරයි. ආර්ය මහා සංඝරත්නයේ
ඇද නැති සෘජු ගමන නිවන හිම් කොට ඇත්තකි. කාය - වාග් - මනෝ වංක නම් වූ තෙවැදෑරුම්
අකුසලයන්ට ඉඩ නොතබා, රකින ලද සිත් ඇති සංඝරත්නය සැමකල්හි ආදර්ශමත් ය. නිවනට
පිලිපන්, අර්ථවත් කථා ඇති අෂ්ඨාර්ය පුද්ගල සංඝයා දැක බලා සිත පහදවා ගැනීම් මාත්‍රය
ම වුව ද කල්ප ගණනකට ඵල උදා කරන්නකි. සමීපයේ හෝ දුර ඈතක සිට හෝ පැමිණ දන් පැන් පුදා,
වැඳ නමස්කාර කරන්නට පින් කෙතක් වන්නේ ආර්ය මහා සඟ රුවනයි. බුදුරදුන්ගේ ඔවාදකර
ජීවමාන මුනි ගණය සංඝරත්නය වන බැවින් සඝ ගුණ හඳුනා සිත පහදවා ගැනීම හද අරණින් උතුරා
ගලන පින් උල්පතක් මතුකර ගැනීමක් බව තථාගතයෝ වදාළහ.
කසාවතක් පමණක් දැක සිත පහදවා දෑත එකතු කළ උදවිය ලද අපමණ සම්පත් ගැන බණ පොතේ
උගන්වයි. ලොව ඇතිතාක් පව් නසන වස්ත්‍රය වන චීවරය සිල් ගුණ සමුදායෙන් සුවඳ කවා පොරවන
දසුන තරම් අන් මිහිරක් ලොව නැත්ම ය. තෙවන පුණ්‍යාභිසන්දය ඔබේ ජීවිතය හරහා ගලන්නට
සලස්වන්නේ නම් සඟරුවනෙහි ගුණ අවබෝධ කරගෙන සංඝානුස්සති භාවනාවේ යෙදීම මැනවි.
සීලමය චේතනා
බුදු සිරි මුව මඬලින් වදාළ සතරවන පින් ගඟුල නම් ශ්‍රාවකයා ආර්යකාන්ත සීලයක
සමාදන්වීමයි. එහි අවමය පඤ්ච ශීලයයි. කඩ නොකර, සිදුරු නැතිවන පරිදි, ගෞරවයෙන් රක්ෂා
කරන ලද සීලය, රක්ෂා කළ නොහැකි කය දිරා යන විට අමිල වටිනාකමින් යුක්ත වේ. ජරාවෙන්
වෙලා පවතින පස්කඳ සිඳෙද්දී තමා විසින් පුරන ලද සීලය නිසා ඔහුට දුගති බියක් ඇති
නොවේ. ආර්ය මාර්ගය පහළ කරගන්නට හැක්කේ ද සිල්වතාට පමණි. නිවන් සුවය ද සිල්වතුන්ට
විශේෂ වූවකි. කඩ නොකර සිල් රැකීම පහසු දෙයක් නොවේ. එහෙත් ක්‍රමය දන්නා අයට එතරම්
අපහසු දෙයක්ද නොවේ. තමාටම යහපත සලසන දිනෙන් දින වටිනාකම් වැඩිවන ධන සංචිතයක් කිසිදා
දුකට හේතු නොවන්නාක් මෙන් සිතා සීලය රක්ෂා කිරීමට සත්පුරුෂයා මැළි නොවේ. රාගාදී
හැඟීම්වලට වසඟ නොවී සිටීමේ හැකියාව ඇතිකර ගෙන සීලාදී පිළිවෙත් බිඳී යාමට තුඩු දෙන
හේතූන් ඉවත් කිරීමට මැළි නොවීමත් මගින් ශ්‍රාවකයා පිරිසිදු සිල් ඇත්තෙක් වේ. සීලමය
චේතනා බහුල කොට විසීම යනු සුවිසල් පින් ගඟක් ගැලීමකි.
පිනෙන් තොරව ලැබෙන ධනයක්, සැපයක් වස්තුවක්, කීර්තියක් නොමැත. සුගතිය නිවන ලැබෙන්නේ
ද පිනැත්තාටම ය.
ගංගාවක් සේ පින් ගලන බුදුගුණ භාවනාව ද, දම් ගුණ සඟගුණ භාවනාව ද, පුරුදු කරමින්
පංචසීල ප්‍රතිපදාවේ හික්මෙන ගිහි ශ්‍රාවකයා මහත්ම ධනවතෙකි. ඔහුට දෙවියන්ගේ වැඳුම්
ලැබෙන බව බුදුරදුන් වදාරා ඇත. |