ධර්ම විනය හා භාෂා විනය
තිරිකුණාමලේ
ආනන්ද මහනාහිමි
" බස මවක මෙන් සලකන, මිනිසා ගේ චින්තනයේ මෙවලම නම් භාෂාව යැයි සලකා බසට නිසි ඇලුම්
දක්වන, සත්භාවී පුද්ගලයා සමාජ විරෝධියකු නො වී සමාජ සුභ සාධනීය පුද්ගලයෙක් ම වේ."
බුද්ධ වචනය තුන් පිටකයට බෙදීමට පළමු ව හැඳීන්වුණේ “ධම්ම විනය” නමින් බව බොහෝ දෙනා
දනිති. සත්ත්වයා භවයෙන් භවය දුකට පමුණුවන රාගාදී කෙලෙස් නැති කිරීම පිණිස, දුක්
නැති කිරීම පිණිස, සන්සිඳීම පිණිස, විශිෂ්ට ඥානය ලබාගැනීම පිණිස, සත්‍යාවබෝධය
පිණිස, නිවන පිණිස හේතු වන ශික්ෂණ මාර්ගය ධර්ම විනය වශයෙන් හැඳීන්විය හැකි වෙයි.
යහපත් ස්වභාවය, යහගුණ දැරීම, සත්‍යාවබෝධය යන ආදි අරුත් ‘ධම්ම’ යන්නෙහි ඇතුළත් ය.
‘විනය’ යන්නෙන් ශික්ෂණය, ශික්ෂා මාර්ගය, විශිෂ්ට වූ පිළිවෙළ, විශේෂත්වයකට
පැමිණැවීම, නිවැරදි න්‍යාය, බෙදා දැක්වූ පිළිවෙළ ආදි අරුත් රැසක් ගම්‍ය වෙයි.
ධර්ම විනයෙහි සීල - සමාධි - පඤ්ඤා යන ත්‍රිශික්ෂාවන් මුල් කැරගත් දානකථා - සීලකථා
ආදි විවිධ ප්‍රකාරවලින් පිළිවෙළ පෙළ ගස්වන ක්‍රමානුකූල ශික්ෂණ මාර්ගයක් ඉගැන්වෙයි.
භාෂා විනයෙහි ලා ඒ ක්‍රමවේදයන් සාධනීය ලෙස කොතෙක් දුරට උපයෝගී කැර ගත හැකි ද යන
කරුණ එක්තරා පමණකට මේ ලිපියෙන් අපි සාකච්ඡා කරමු.
අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා ආදි වශයෙන් ද දහමෙහි ඉගැන්වෙන
අනුපූර්ව ශික්ෂණ පද්ධති න්‍යාය භාෂා ශික්ෂණයෙහි ලා උපයෝගී කැරගත හැකි ය.
ධර්ම විනය ලෝකෝත්තර සදර්ථයක් උදෙසා පවතින්නක් සේ හැඳීන්විය හැකි වුව ද භාෂා විනය
වූකලි ලෞකික පරිසර පරිමාව තුළ සාක්ෂාත් කැරගත යුතු සදර්ථයක් සේ අප වටහාගත යුතු ය.
ධර්ම විනය, වෙනස් වන ලෝකයෙහි නොවෙනස් වන සත්තාවක් සාක්ෂාත් කැරගනු පිණිස අප මෙහෙයවන
නමුදු භාෂා විනය වෙනස් වන ලෝකයෙහි වෙනස් වන භාෂා පරිසරයක් තුළ සාමූහික සම්මුතියෙන්,
එහෙත් සාධනීය ආකාරයෙන් දියුණු කැරගත යුතු සංස්කෘතික ශික්ෂණයක් ලෙස අප අවබෝධ කැරගත
යුතු ය.
ධර්ම විනයට පටහැනි ව ක්‍රියාකරන්නකු විසින් එයින් තමාට හානියක් කරගනු ලබනවා මිස ඉන්
ධර්මයට හානියක් සිදු නො වේ. එහෙත් භාෂා විනය නො සලකා එය උල්ලංඝණය කරන්නකු විසින්
එයින් තමාට බරපතළ හානියක් සිදු කැරගනු නොලබන්නේ නමුත් ඔහු ඉන් භාෂාවටත් ධර්ම
විනයටත් යන දෙකට ම හානියක් කරන අයුරු පසුගිය කාලයෙහි අපි අත්දුටුවමු.
ඇතැම් ධර්ම විරෝධී මතධාරී පිරිස් අත්තනෝමතික ලෙස බුද්ධ වචනය විකෘති කරමින් ඒවාට
වැරැදි නිරුක්තීන් ඉදිරිපත් කරමින් සාහසික ලෙස ඇති කළ මිථ්‍යා මතවාද තවමත් සමාජයෙහි
පැතිරෙමින් පවතී. සිවුරු දරාගත් “අරිහතුන් වහන්සේලා” ලෙස තමන් විසින් ම හඳුන්වා ගනු
ලබන අධර්මවාදී පිරිසක් මෙලෙස ථේරවාදීය ධර්මය පමණක් නො ව ශ්‍රී ලාංකේය ඉතිහාසය හා
සංස්කෘතිය ද විකෘති කරමින්, ඊට උගත් යැයි සම්මත ඇතැම් පිරිස් ද ධර්මය පිළිබඳ
නිවැරැදි අවබෝධයක් නොමැති කමින් ස්වමතයට හරවාගනිමින් සිදු කරන ශාසන විලෝපනය විජාතික
මිථ්‍යාදෘෂ්ටික බලවේගයක් විසින් මෙහෙයවනු ලබන්නකැ යි අපට හැඟේ.
භව යන පාලි පදය සිංහලයට හැදෙන්නේ ‘භවය’ යනුවෙනි. මෙකී මිථ්‍යා මතධාරීන් එම සිංහල
පදයට අරුත් ගන්වන්නේ භව + වය ඇතිවීම සහ නැතිවීම යනුවෙනි. මෙය ධර්මයට පමණක් නොව භාෂා
ධර්මතාව ද නො සලකා කැර ඇති විපරීතයකි. බුද්ධ යන පදය බු + උද්ධ යන පද දෙක එකතු වී
හැදුණු පදයක් ලෙස දක්වන මොවුන් ඊට අරුත් ගන්වන්නේ “බු යනු භවට පත්වීම, බිහිකිරීම භව
යන්න යි. උද්ධ යනු උදුරා දැමීම යි” යනුවෙනි. බැලූ බැල්මට භවය උදුරා දැමීම බුද්ධ යි
යන්න ධර්මයට එකඟ බවක් හැඟී යයි. එහෙත් ථේරවාදී අර්ථ විග්‍රහයන් තුළ, පැරැණි මහරහත්
උතුමන් පවා බුද්ධ යන පදය පිළිබඳ ව දක්වා ඇති ගම්භීර අර්ථ සමුදාය මොවුන් විසින් පටු
අර්ථ සීමාවකට ලඝු කැර ඇත. මෙබඳු ධර්ම විරෝධී අර්ථ කථන රැසක් මේ වන විටත් සමාජගත ව
ඇත. භාෂා ධර්මතා, භාෂා විද්‍යාව හා භාෂාවේ ශාබ්දික පදනම පිළිබඳ කිසිදු වැටහීමක්
නැති මේ හදිසියේ පහළ වුණු “අරිහතුන් වහන්සේලා” සැදැහැවතුන් ද මුළාවේ හෙළමින් සිදු
කරන ධර්ම නාශනය ඉතා සංවේග ජනක ය. මේවායින් තව දුරටත් ප්‍රකට වන්නේ රාජ්‍ය
ව්‍යවස්ථාවෙන් ම බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් දී ඇති රටක බුද්ධ ශාසනයට හිමි වී ඇති
අනාරක්ෂිත තත්ත්වය යි.
බුදුරජාණන් වහන්සේ සද්ධර්මයේ විනාශය පිණිස, අතුරුදන් වීම පිණිස හේතු වෙති යි වදාළ
කරුණු දෙකක් අංගුත්තර නිකායයේ දුක නිපාතයෙහි දැක්වෙයි. ඒවා නම් වැරැදි ලෙස තබන ලද
පද හා අක්ෂරත්, වැරැදි ලෙස යොදන ලද අර්ථයත් වේ. මහණෙනි, වරදවා යොදන ලද පද
ව්‍යඤ්ජනයා ගේ අර්ථය ද න්‍යාය විරෝධී වේ. (දුන්නික්ඛිත්තස්ස පදබ්‍යඤ්ජනස්ස අත්ථෝපි
දුන්නයෝ හෝති) භාෂාවේ මූලික උපකාරය ලබාගෙන දහම් මඟ තේරුම් ගෙන භාෂාවේ සීමාවෙන්
ඔබ්බට ගිය නිර්වාණ පරමාර්ථයක් දේශනා කළ බුදුරජාණන් වහන්සේ පවා නිවැරැදි භාෂා
ව්‍යවහාරය පිළිබඳ ව දැක්වූ අකාලික මතය මෙහි ලා අප විසින් සලකා බැලිය යුතු ය.
මෙ ම සම්බුදු මඟ නො සලකන වර්තමාන “අරිහතුන් වහන්සේලා” ෂට් ශාස්තෘවරුන් මෙන් ස්වමතය
අනුගමනය කරන පිරිස් පෙළගස්වා ගනිමින් ධර්ම වේෂයෙන් පෙනී සිටිමින් සදහම අතුරුදන්
කිරීමට ගන්නා කූට උපාය මාර්ග සියලු බුදුනුවන් විසින් නුවණින් වටහාගත යුතු ය.
කවර ම භාෂාවක් පිළිබඳව වේ වා එහි නිවැරැදි වහර ගැන සැලැකිලිමත් වීමේ අවශ්‍යතාව
යථෝක්ත බුද්ධ වචනයෙන් ම අවධාරණය වේ. භාෂාව යනු සම්මුතියක් වුව ද මානව සන්නිවේදනයට
එය අත්‍යන්තෝපකාර වේ. නිවැරැදි මානව සන්නිවේදනයක් උදෙසා නිවැරැදි භාෂා සම්මතයක් ද
ඇවැසි වේ.
මෙ ම නිවැරැදි භාෂා සම්මතය ‘ව්‍යාකරණය’ ලෙස හැඳීන්වේ. කිසියම් ජන කොටසක දීර්ඝ කාලීන
භාෂා ව්‍යවහාරයන් පරීක්ෂා කොට, සමාලෝචනය කොට, එහි රටා රීති ලක්ෂණ උපධාරණය කොට,
ක්‍රමානුකූල ලෙසත් විශ්ලේෂණාත්මක ලෙසත්, විද්‍යාත්මක ලෙසත් ශාස්ත්‍රීය නියාමනයකට
අනුව ගොනු කරගත් නීති සමුදාය ව්‍යාකරණය නමින් හැඳීන්වේ. මෙම බැරෑරුම් කාර්යය සිදු
කරනු ලබන්නේ සාමාන්‍ය මහජනතාව නො ව බසේ හැසිරීම් රටා ගැන සැලැකිලිමත් වන ශාස්ත්‍රීය
විඥයන් විසිනි.
ශිෂ්ට සමාජයක් ප්‍රතිනිර්මාණය කිරීමට උපකාර වන එක්තරා මෙවලමක් නම් මේ ව්‍යාකරණය යි.
භාෂාවේ නීති රීති ගැන සැලකිලිමත් වන්නා අවිඥානික ව හෝ සමාජයේ නිවැරැදි සම්මතයක් හා
ශිෂ්ට ආචාර සමාචාර ගැන ද සැලැකිලිමත් වන බව ප්‍රකට කරුණකි. අනෙක් අතට භාෂාව යනු
ජාතියක සංස්කෘතික පරිසරය කියා පාන කැඩපත වේ. ජාතියක ප්‍රධාන අනන්‍යතා ලක්ෂණය වන්නේ
ද භාෂාව යි. බස හා බසේ නිවැරැදි සම්මතය පිළිබඳ ව අප කොතරම් නම් සැලකිලිමත් විය යුතු
ද යන්න මෙයින් වටහාගත හැකි ය.
භාෂාවේ විනය සමාජ විනය උදෙසා ද බලපවත්වන අයුරු අප විසින් විමසා බැලිය යුතු වෙයි.
බොහෝ දෙනා ඉස්මතු කරන බසෙහි පිරිහීම සමාජයේ පිරිහීම ගැන කියා පාන කැඩපතක් සේ
හැඳීන්වීම නිවැරැදි වෙයි. බස මවක මෙන් සලකන, මිනිසා ගේ චින්තනයේ මෙවලම නම් භාෂාව
යැයි සලකා බසට නිසි ඇලුම් දක්වන, සත්භාවී පුද්ගලයා සමාජ විරෝධියකු නො වී සමාජ සුභ
සාධනීය පුද්ගලයෙක් ම වේ.
කරුණු මෙසේ හෙයින් නූතනයේ මුද්‍රිත හා විද්‍යුත් සියලු මාධ්‍යවල ද, අප ගේ අධ්‍යාපන
ක්ෂේත්‍රය තුළ ද නිවැරැදි භාෂා අධ්‍යාපනය හා භාවිතය පිළිබඳ ව පුළුල් අවබෝධයක් ඇති
කිරීම කාලීන අවශ්‍යතාවක් වී ඇත.
ධර්ම විනය - භාෂා විනය - සමාජ විනය යන තුන් තැන් ම එක ලෙස සමෘද්ධියට පත් වූ කලැ
රටවැසියෝ සැබැවින් ම සුඛිත මුදිත වන්නාහු වෙත්. බස රැකුණොත් රැස රැකේ. රැස රැකුණොත්
දෙස රැකේ. මේ බස, රැස, දෙස යන හෙළ තෙරුවන ම රැකගන්නට තිසරණ සරණ ගිය සැබෑ බුදුනුවෝ
තැත් කෙරෙත්වා ! |