අම්පිටියේ රාහුල හිමිපාණෝ
වර්ෂ 106 ක් තරම් දීර්‍ඝායුෂ ලබා අපවත් වී වදාළ අම්පිටියේ රාහුල හිමිපාණන් වහන්සේ
සංඝ නෙතෲ නිර්ණායකයන් මැනවින් ම සපුරා සිටි දුර්ලභ ගණයේ නාහිමි නමක වීම නිසාම
උන්වහන්සේගේ වියෝගය දැරිය නොහෙන පාඩුවක් බවට පත්වී තිබේ.
1914 වසරේ මහනුවර අම්පිටියේ දී උන්වහන්සේ උපත ලද්දේ සයිමන් රාජපක්‍ෂ, කරුණා
රාජපක්‍ෂ යන දම්පතීන්ගේ පුතණු කෙනෙකුන් ලෙස ය.
1936 දී එනම්, වයස අවුරුදු 22 දී රාහුල හිමිපාණන් උතුම් ප්‍රවෘජ්‍යා භූමියට
පත්වන්නේ අතිපූජ්‍ය වේරගම්පිට සිරි රේවත නාහිමිගේ හා අතිපූජ්‍ය පැලෑනේ සිරි වජිරඤාණ
නාහිමිගේ ආචාර්‍ය උපාධ්‍යායත්වයෙනි. එතැන් පටන් ගුරු ඇසුරෙන් හා ස්වෝත්සාහයෙන්
ධර්‍මාධ්‍යාපනය ලබමින් සිටියදී 1936 වර්‍ෂයේ දී ම අධිශීල සංඛ්‍යාත උපසම්පදා භූමියට
ද පත්වූහ.
කොළඹ නගරයෙන් බැහැර ගම් නියම්ගම් පෙදෙස්හි ධර්‍මප්‍රචාරය වෙනුවෙන් ද කැපවූ
උන්වහන්සේගේ මෙහෙයවීමෙන් අනුරාධපුරය, මහඔය, දිගන, බෝවලවත්ත ආදී ප්‍රදේශවල
විහාරස්ථාන හා ආරණ්‍ය සේනාසන රැසක් ම බිහිකෙරිණි. ඒ අතරින් ඉතාම සුවිශේෂී කරුණ
වන්නේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ බෞද්ධ විහාරස්ථානය ආරම්භ කිරීම සඳහා නායකත්වය ලබා
දීමයි.
ස්වකීය ආචාර්‍යයන් වහන්සේවන පරම පූජනීය පැලෑනේ සිරි වජිරඤාණ මාහිමියන්ගේ ඇසුරින්
බම්බලපිටිය සිරි වජිරාරාමයේ පැවැත්ම හා දියුණුව පිළිබඳ විශේෂ කැපවීමෙන් ක්‍රියාකළ
රාහුල හිමිපාණෝ වජිරාරාම දහම් පාසලේ ද ප්‍රධානාචාර්ය ධුරය කලක් තිස්සේ ඉසිලූහ.
උන්වහන්සේගේ උදාරතර ශාසනික ජීවිතයේ උත්තරීතර ඵලය නෙළා ගැනුණේ මහරගම සිරිවජිරඤාණ
ධර්‍මායතනයේ ආරම්භයත් සමග යැයි කීම අතිශයෝක්තියක් නොවේ.
“මිනිසා හදාගෙන ම රට හදමු” යන සාර්ථකවත් උපදේශය මගින් සමාජ සංවර්ධන කාර්‍යයෙහිලා
ප්‍රායෝගික න්‍යාය ඉදිරිපත් කරමින් අතිපූජනීය මඩිහේ පඤ්ඤාසීහ මා හිමියන් දරන ලද
ව්‍යායාමය අප කාහටත් අමතක නොවන ධර්‍මවිජය සංග්‍රාමය යි. එවකට ක්‍රියාත්මක වූ
ආර්ථික, සාමාජික, සාසනික ආදී වූ සෑම සංවර්ධන ක්‍රියාවලියකම නියමුවාණන් හා
අනුශාසකයාණන් වශයෙන් මඩිහේ මාහිමියන් වෙතින් ඉටුවූ ධර්‍මසේවාව කෙතරම් ප්‍රබල වීද
යත් ජනසම්මත අවිවාදිත සංඝරාජ යන ගිහි පැවිදි ජන වහර මගින් ද උන්වහන්සේ අභිෂේක
ලැබූහ.
මඩිහේ මාහිමිගේ අත්‍යුදාර සේවාව මහා මන්දිරයක් නම් ඒ සඳහා ශක්තිය ලබාදුන් පදනම වූයේ
අම්පිටියේ රාහුල හිමිපාණන් යැයි කීම සුභාෂිතයක් ම ය.
එයට හේතුව වූයේ ධර්‍මායතනයේ කුදු මහත් කටයුතු සොයා බලමින් සිසු විනය හා දැනුම
මැනවින් වඩාලමින් එම ප්‍රමුඛ වූ සාසනික වගකීම වෙනුවෙන් කැපවී ක්‍රියාකරමින් වැඩ
හිඳීම ය. මඩිහේ නාහිමියන්ට ජාතික හා ජාත්‍යන්තර තලයේ මහා සාසන සමාජ සේවාවක් සඳහා ඉඩ
හසර සැලසුණේ රාහුල හිමිපාණන්ගේ ඒ ජීවිත පරිත්‍යාගය නිසාවෙනි.
ධර්‍මායතනයේ පැවිදි දරු පිරිසට පියාණන්ගෙන් හිමිවිය යුතු පිය සෙනෙහස ලැබුණේ මඩිහේ
හිමිපාණන්ගෙනි. ඒ අතර ගෙදරදොර කටයුතු සොයා බලමින් දරුවන්ගේ සුවතතු වෙනුවෙන් කැපවී
සිටින ආදරණීය මෑණි කෙනෙකුන්ගේ මවු සෙනෙහස ලැබුණේ අම්පිටියේ හිමිපාණන් වෙතිනි.
මෙනිසා ම “ලොකු හාමුදුරුවන් වහන්සේ” යන සෙනෙහස පිරුණු ඇමතුම උන්වහන්සේට හිමිවිය.
වජිරාරාමය මුල්කරගෙන අතිපූජ්‍ය පැලෑනේ නාහිමිපාණන් විසින් කරන ලද ශාසනික විප්ලවය
වන්නේ අරණ්‍යවාසී හා ග්‍රාමවාසී භික්‍ෂු ප්‍රතිපත්තීන් දෙක සංකලනය කොට අති නවීන හා
කාලීන වූ ආරාමික සම්ප්‍රදායක් නිර්මාණය කිරීමයි.
මේ උදාර වූ සම්මා වායාමයේ අත්‍යුත්කෘෂ්ඨ ප්‍රතිඵල මැනවින් සමාජගත වන්නේ මඩිහේ
මාහිමි සහ අම්පිටියේ නාහිමි යන පූජනීය සුසංයෝගය නිසා ම ය.
තම පැවිදි සොයුරුපාණන් සසුන් කරළියේ ජය කෙහෙළි නංවමින් ඉදිරියට යන ගමන දැක දැක
නිරාමිෂ සතුටින් ඉපිළෙමින් ඒ වෙනුවෙන් වූ තම යුතුකම් කොටස සඳහා සාකල්‍යයෙන් ම කැපවී
සිටි රාහුල හිමිපාණන් සතුව පැවති මහා මුදිතා ගුණය වූ කලි සාධුජන හදවත් කම්පා කරවන
සුළු විරල අත්දැකීමක් වන්නේ ම ය.
සදාපූජිත යතිවර චරිත වන නාරද මාහිමි, පියදස්සී මාහිමි වැනි විශ්ව සම්මානිත පැවිදි
පිරිසක් ඉදිරියටත් බිහිකරලීමේ අරමුණින් 1958 වසරේ දී ආරම්භ කෙරුණු වජිරඤාණ භික්‍ෂු
පුහුණු ආයතනය මල් ඵළ සහිත ව වත්මන්හි ලෝ සසුනට මැනවින් වැඩ වඩන්නේ ය යන්න අවිවාදිත
සත්‍යයක් ම ය. ගංගොඩවිල සෝම, මහරගම ධම්මසිරි, තිරිකුණාමලේ ආනන්ද, හක්මණ සුමනසිරි
ආදී වියත් බල මුලු පොබයන සුපේෂල වූ යතිවර නාමාවලියක් සසුනඹර තුළ සුදිලෙන්නේ එකී
සදුත්සාහයේ හා ගුණ නැණ සපිරි යතිවර සුසංයෝගයේ ප්‍රතිඵලය වශයෙනි.
මෙත්තා වචි කර්‍මය මනාලෙස පුරමින් කරුණා පිණ්ඩයක් වැනි ව අම්පිටියේ ලොකු
හාමුදුරුවන් ධර්‍මායතනයේ පැවිදි සිසු පිරිස පාලනය කළ පිළිවෙත අතිශයින් ම සංවේදී
අත්දැකීමක් විය. සරල ලෙස හෝ දඬුවමක් දුන්නත් එයිනුදු සැලෙන නාහිමියෝ ඊළඟ මොහොතේ
ටොපි චොකලට් මගින් හෙරණ දරුවන් සනසාලන දසුන සිහිවන විට දෙනෙතට කඳුළු නැංවෙයි.
සැදැහැයෙන් සසුන්වන් කුලකුමරුවෙකු විසින් තම උතුම් පැවිදි දිවිය කළමනාකරණය කරගත
යුත්තේ කෙසේ ද යන්නට අද්විතිය වූ නිදසුනක් සපයමින් ද, සිවුපසයෙන් පුද දෙන දායක
දායිකා හැමට ම පුණ්‍යක්‍ෂේත්‍රයක් බවට පත්වෙමින් ද ශතවර්‍ෂාධික කාලයක් මුළුල්ලේ
සංවිධිත අතිසාර්ථක ශ්‍රමණ ජිවිතයට සමුදෙමින් 2020 පෙබරවාරි මස 17 දින අතිපූජ්‍ය
අම්පිටියේ රාහුල හිමිපාණෝ අපවත් වී වදාළහ.
අනපායිනී වූ ඡායාවක් සෙයින් අපමණ බැතියෙන් යුතුව ගුරු උවටැනෙහි නියැළී සිටි
මැණික්බෝවේ දිපාලෝක හිමියන්ගේ අදහස නම් අවසන් වසර කීපය තුළ ලොකුහාමුදුරුවන් ගතකෙළේ
ගැඹුරු වූ සමාපත්තියකට සමවැදී ය. සුවදායක නින්දක සැතපී සිටින කලෙක මෙන් කායික හෝ
මානසික වේදනාවක ඡායා මාත්‍රයකුදු පළ නොකොට එකම සන්සුන් ඉරියව්වෙන් යුතුව උන්වහන්සේ
ගත කල ආකාරය චිත්තප්‍රණිධානගත සමාධියක සුලක්‍ෂණයක් බව ද මෙහිලා වටහා ගැනීම අසීරු
කරුණක් නොවෙයි.
අතිපූජ්‍ය අම්පිටියේ රාහුල නාහිමිපාණන් වහන්සේට අමාමහ නිවන්සුව අත්වේවා...!!!
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ආචාර්‍ය
ඕමල්පේ සෝභිත නා හිමි |