[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මාංශ අනුභවය කැප ද ? අකැප ද ?

මාංශ අනුභවය කැප ද ? අකැප ද ?

වා, පිත්, සෙම් කෝපයෙන් තුන් දොස් කිපී රෝගාබාධ ස්වල්පයකට පමණක් ගොදුරු වූ මිනිසා ගව මස් කෑම නිසා එකසිය අටක් වූ ව්‍යාධීන්ට ගොදුරු වූ ආකාරය බෞද්ධ සාහිත්‍යයෙන් අනාවරණය වේ.

මස් මාංශ අනුභව කිරීම භික්ෂූන් වහන්සේ විසින් දිවි ඇතිතෙක් නො කළ යුතු බවට විනය නීතියක් පනවන්නැයි දෙව්දත්තෙර විසින් ‘පංච වර‘ යටතේ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියත් බුදුරජාණන් වහන්සේ එය ඉටු නො කොට දැඩි විනය නීති මඟින් දිවි පෙවෙත අවහිර නො කිරීමට පියවර ගත්හ.

එමෙන් ම බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේට අනුදැන වදාළේ ති‍්‍රකෝටි පාරිශුද්ධ මාංශ පමණක් අනුභව කිරීම කැප බව ය.

ඒ අනුව, ‘අදිට්ඨං’ – තමා වෙනුවෙන් සතෙකු මැරූ බව නො දුටු, ‘අසුතං’ – තමා වෙනුවෙන් සතෙකු මැරූ බව නො ඇසු, ‘අපරිසංකිත’ – තමා වෙනුවෙන් සතෙකු මැරූ බවට සැක නැති, මාංශ පමණක් අනුභව කළ හැකි ය. එසේ වුවත්, අප සත්ත්ව මාංශ අනුභව කළ යුතු ද? එයින් කිසිදු පාපයක් සිදු නො වන්නේ ද?

මේ සම්බන්ධ ව අප එක් රාමුවකට සීමා නො වී බුදු දහමට අනුව මෙන්ම විචාර බුද්ධියෙන් සොයා විමසා බැලිය යුතු ය.

මාංශ අනුභව නො කළ යුතු බව පවසන්නේ නම් හා අනුභව කිරීමෙන් පාපයක් සිදුවන්නේ නම්, මහා පරිමාණ ගොවිතැන් කරන රටවල් ගොවිතැන් කර්මාන්තයේ දී තම භෝගයන් ආරක්ෂා කර ගැන්මට ගොවිබිම්වලට යොදන ටොන් ගණන් වස විෂ නිසා කෘමීන් ක්ෂුද්‍ර ජීවීන් දහස් ගණන් මිය යන බව අපි හොඳීන් ම දනිමු. එසේ, නම් අප මුදල් ගෙවා ලබා ගන්නා නිර්මාංශ ආහාර වන හාල්, මුං, කඩල, කවුපි වැනි ධාන්‍ය මෙන් ම එළවළු පලතුරු යනාදිය පවා සත්ත්ව ඝාතනයක් හරහා අප වෙත ලැබෙන ඵලදාවන් ය. ඒවා ආරක්ෂා කර ගැනීම පිණිස මිලියන ගණනක් කුඩා සතුන් ඝාතනය කෙරෙන්නේ නූපන් සතුන්ගේ කුඩා බිත්තර පවා විනාශ කර දමමිනි. මේ නිර්මාංශ ආහාර මිලදී ගැනීමෙන් පාරිභෝගිකයාට එයින් පවක් වේ ද?

යම් හෙයකින් මස් මාංශ අනුභවය සත්ත්ව ඝාතනයට අනුබලයක් වීමෙන් පරිභෝග කරන්නාට පාපයක් අයත් වේනම්, කෘමිනාශක යොදා නිපදවන සෑම ද්‍රව්‍යයක් ම පරිහරණය කරන්නාට ද පාපයක් සිදුවීම නියතව ම සිදු විය යුතු ය.

බුදු දහමට අනුව සෑම කි‍්‍රයාවකට ම මුල් වන්නේ චේතනාව යි. කර්මයක් බවට පත්වන්නේ එය යි. එමනිසා යම්කිසි කි‍්‍රයාවක වැල ගිය තැන් මුල ගිය තැන් සොයා ගොස් කර්ම සෑදීමක් අලුතින් අප විසින් සිදු නොකළ යුතු ය.

බුද්ධ දේශනාව මැදුම් පිළිවෙතකි. කිසිම දෙයක අන්තගාමී බවක් ඇත්නම් ඒවා බුදු බණ නොවේ. බුදු දහම අවිහිංසාවාදී දෙසුමකි. මේ දෙකම බෞද්ධයා තේරුම් ගත් විට ජීවත්වීම බරක් නොවේ. අත්‍යවශ්‍ය නො වන වාද භේද ඇති කරමින් බුද්ධ දේශනාවට ඌනපූරණ එක් කිරීමට වඩා අපට සමාජය දැහැමි කිරීම සඳහා කළ යුතු කාර්යයන් ඇත. අප කල්පනා කළ යුත්තේ එයයි. තමා ධාර්මික ව ජීවත්වෙමින් පන්සිල් රකිමින් සිටින්නේ නම්, කිසිදු ගැටලුවක් සමාජයේ ඇති නොවේ.

බුදුන් වදාළ දහම තුළ සත්ත්ව ඝාතනය පවක් ලෙස දක්වා ඇති නමුත් මාංශ අනුභවය පවක් වන බවක් වදාළ තැනක් නැත. එසේ පවක් වන්නේ නම් ආරම්භයේ දී ම භික්ෂුන් වහන්සේ උදෙසා පනවනු නියත ය. පෙර සඳහන් කළ දෙව්දත් තෙරුන්ගේ පංච වරයෙන් එකක් වූ ‘භික්ෂුන් දිවිතෙක් මස් මාංශ වැළඳීමෙන් වැළකිය යුතුය‘ යන ඉල්ලීම ද බුදුරජාණන් වහන්සේ බැහැර කර ඇත්තේ එහෙයිනි.

අප පටිච්ච සමුප්පාදය අනුව කල්පනා කළ යුතු ය. හේතුව නම් සතුන් මැරීම ය. ඵලය වන්නේ මස් මාංශ ය. යම් කලෙක හේතුව නැති කළහොත් එදාට ඵලය ද නැති වේ.

ති‍්‍රකෝටි පාරිශුද්ධ මාංශය අනුභවය පවා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ භික්ෂූන් වහන්සේට පමණි. උපාසක උපාසිකාවන්ට ප්‍රාණඝාතයෙන් වැළකිය යුතු බව ද දේශනා කළ බුදුරජාණන් වහන්සේ ඔවුනට මස් කෑම සම්බන්ධයෙන් නීති නො පැනවූ සේක. අනුභව නො කළ යුතු මස් වර්ග දහයක් ද විනය පිටකයේ මහාවග්ග පාලියේ දක්වා ඇත.

එම නො කෑ යුතු මස් වර්ග දහය ලෙස දක්වා ඇත්තේ මෙසේය.

මිනී මස් (මනුෂ්‍ය මාංශ), ඇත් මස් (හත්ථි මාංශ), අශ්ව මස් (අස්ස මාංශ), සිංහ මස් (සිංහ මාංශ), කොටි මස් (ව්‍යාඝ්‍ර මාංශ), දිවි මස් (දීපි මාංශ), බලු මස් (සුනඛ මාංශ), සර්ප මස්, (අහි මාංශ), වලස් මස් (අච්ඡ මාංශ), කරබානා වලස් මස් (තරච්ඡ මාංශ) ය. මේ සතා මේ වන විට වඳ වී ගොසිනි.

මාංශ ආහාරය සම්බන්ධයෙන් සලකා බලන විට එය යම් තැනෙක සාධාරණීකරණය වීමට ද නොයෙක් හේතු සාධක ඉවහල් වන බව දක්නට ලැබෙයි. ඒ අතර පාරිසරික බලපෑම්, ආගමික බලපෑම්, සංස්කෘතික බලපෑම් හා වෛද්‍ය නිර්ණායක ද ඉවහල් වන බව පැහැදිලි ය.

මෙහිදී පාරිසරික බලපෑම් යන්න මිනිසාට පමණක් නොව සමස්ත ජීවී වර්ගයාට ම පොදු වූවකි. සත්ත්වයා තම ආහාරය සකස් කර ගනු ලබන්නේ තමා ජීවත් වන වටපිටාව (පරිසරය) අනුව ය. පරිසරයේ ඇති ආහාරයට සත්ත්වයා නිරායාසයෙන් ම යොමු වේ. භූගෝලීය සාධක අනුව උත්තර හා දක්ෂිණ ධ්‍රැව ආශි‍්‍රත ව ඇති රටවල දීර්ඝ කාලයක් හිම පතනය නිසා ශීත සෘතුව පවතී. එවැනි රටවල අධික හිම නිසා කෘෂි කර්මාන්තයට හැකියාවක් නැත. ඔවුන්ට සතුන් මැරීම හා මාංශ අනුභවය හැර වෙනත් යමක් ආහාරය සඳහා නො මැත. මේ නිසා එස්කිමෝවරුන් පුරුදුව සිටින්නේ ජීවනෝපාය ලෙස මාළු ඇල්ලීමට යි. විශේෂයෙන් ම සීල් මත්ස්‍යයා ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වේ.

එසේම ඔටු මස් කාන්තාරවාසීන්ගේ ප්‍රධාන ආහාරය වේ. සෙසු සාධක සියල්ල බැහැර කළ ද පාරිසරික සාධකය මාංශ ආහාරය සම්බන්ධයෙන් ඉතාමත් ම ඉහළින් බලපාන බව මේ අනුව පැහැදිලි ය. ඒ නිසා සියලු දෙනා ම බුද්ධිමත්ව සිතා බලා මාංශ අනුභවය ගැන විචාරශීලී විය යුතු ය.

බුද්ධ කාලයේ ඇතැම් ජනපදයන්හි අහිවාතක නම් රෝගයක් ද වසංගතයක් ලෙස පැතිර ගොස් තිබුණි. මීයන්, ගෙම්බන් වැනි පිළිකුල් සහිත සතුන් ආහාරයට ගැනීම ගෝත්‍රික නො දියුණු ලක්ෂණයකි. ඇමරිකාවේ කළ පරීක්ෂණයකට අනුව එරට පිළිකා රෝගින්ගෙන් 40%ක්ම මස් මාංශ අනුභව කරනු ලබන අයයි. මේ හේතුවෙන් අද වන විට මස් මාංශ අනුභවය නිසා කොලෙස්ටරෝල් වැනි බෝ නොවන රෝගාබාධයන් ද විශාල ලෙසින් වැඩි වී තිබේ.

මාංශ අනුභවය නිසා රෝගාබාධ වැළඳෙන බව පසක් වී ඇත. චීනයේ වූහාන් ප්‍රදේශයෙන් ආරම්භ වූ කොරෝනා වසංගතය ද කැබැල්ලෑ පොතු ආහාරයට ගැනීම නිසා හටගත් රෝගයක් බවට මේ වන විට හෙළිවෙමින් පවතී. ඒ අනුව අපට පැහැදිලි වන්නේ මාංශ අනුභවය ගැන වාද විවාද කිරීම නොව පංචශීලය ආරක්ෂා කරමින් තම ශරීර සෞඛ්‍යය ගැන අවබෝධයෙන් ආගමානුකූල දිවියක් ගත කිරීම සුදුසු බවයි.

මැදින් පුර පසළොස්වක පෝය 

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 09 වන දා සඳුදා පූර්ව භාග 03.04 ට ලබයි. එම දා අපරභාග 11.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 09 වන දා සඳුදා ය.

මීළඟ පෝය මාර්තු 16 වන දා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16

Full Moonඅමාවක

මාර්තු 23

First Quarterපුර අටවක

අප්‍රේල් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]