[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මැදින් මහේ මුනි සිරිපා කරුණා

මැදින් මහේ මුනි සිරිපා කරුණා

ඇප වී, කැපවී ,පේවී ශ්‍රද්ධා ගෞරවය පෙරටු කර ගනිමින් වන්දනා කරන පූජනීය ස්ථාන අතර ශ්‍රී පාදස්ථානයට හිමිවනුයේ අද්විතීය ස්ථානයකි.

ගෞතම සම්බුදුපියාණන් වහන්සේ තෙවන වර ලක්දිවට වැඩම කළ මොහොතෙහි දී සුමන සමන් දෙවියන්ගේ ඇරැයුමෙන් පන්සියයක් මහ රහතන් වහන්සේද සමඟ සමන්තකූට මස්තකයට වැඩම කර ඉන්ද්‍රනීල මාණික්‍ය මත සම්බුදු සිරිපා සටහන පිහිටුවා වදාළ සේක.

ශ්‍රීපාද පත්මය වන්දනාවට හෝරා කිහිපයක් පුරා අතිදුෂ්කර ගමනක යෙදී පැමිණීමම මහත් අසිරියකි. ශ්‍රී පාදස්ථානය මහත් අනුහසින් යුක්ත සදා වන්දනීය, පූජනීය පින් කෙතකි. සමස්ත ලෝකවාසින්ගේ ගෞරවයට , වන්දනාවට මෙන්ම දිව්‍ය රාජ සමූහයාගේ පවා වන්දනාවට පාත්‍රවන අසිරිමත් ඓතිහාසික පින්බිමකි.

කිසිවකුගේ ඉල්ලීමක් මෙහෙයවීමක් නොමැතිව නිදහසේ වැඳුම් පිදුම් කරන ශ්‍රීපාද ස්ථානයෙහි සංකේත දෙකක් දක්නට ලැබේ. ඉන් එකක් නම් වන්දනාවට පැමිණි වාර ගණන සටහන් කෙරෙන ඝණ්ඨාරය නාද කිරීම ය. අනෙක නම් මොහඳුර දුරු කරන දොළොස් මහේ පහන ය, අතීතයේ සිට එම දොළොස් මහේ පහනෙහි තෙල් බොහෝ ලෙඩ දුක් සුව කරන ඖෂධයක් වැනි යැයි ජනමනසෙහි තැන්පත්ව පවතින අදහසක් ද වේ.

උඳුවප් පොහොයෙන් ඇරැඹි වාර්ෂික සිරිපා වන්දනා වාරය එළඹෙන වෙසක් පොහෝදා දක්වා පවතී. එම මාස හය පුරා දස දහස් ගණනින් දේශීය විදේශීය වන්දනා කරුවන්ගේ වන්දනාවට පාත්‍ර වේ. වෙසෙසින් ම මැදින් මහේ පොහෝදා ලක්ෂ ගණනක සැදැහැවතුන් පිරිසක් සිරිපා වන්දනාවේ නිරත වේ.

සිරිලක පෝෂණය කෙරෙන ජල ධාරා සතරක් ශ්‍රී පාදස්ථානයෙන් ආරම්භවීම ද මහත් අසිරියකි. ගමන් විඩාව දුරුකර ගතට සිතට සැනසීම ලැබෙන සැදැහැවත් වන්දනාකරුවන් එදා පටන් සුමන සමන් දෙවියන්ගේ කරුණාවෙන් ශ්‍රීපාද පත්මය වන්දනා කිරීමට ආශිර්වාද කරනුයේ ඊටම ආවේණික පැදි ගායනා කරමිනි.

ආදි මුතුන් මිත්තන් දවස සිය දේපළවල අයිතිය පවා නෑ හිතවතුන් වෙත පවරා අති දුෂ්කර අයුරෙන් වන්දනාවේ යෙදිණි. එහෙත් පසු කාලීන ව දියුණුවත් සමඟ මහ කළුගල් ඒකරාශිකර ශෛලමය පියගැට පෙළ නිර්මාණය කෙරිණි. යකඩ සහ දම්වැල්, යොදා ගනිමින් ගමන් පහසුව සලසා ගත්හ. හැටන් මාර්ගයෙහි පාලම් ඉදිකරමින්, පියගැටපෙළ නිර්මාණය කරමින් මෑත ඉතිහාසයේ ඊට මුල්වූයේ මොරොන්තුඩුවේ ශ්‍රී ධම්මානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. මී ඉටි , නා ඉටි, කැකුණ ඉටි , යකහලුව ඉටි ආදි ඉටි වර්ග භාවිත කරමින් පන්දම් එළියෙන් එදා ආලෝකය ලබා ගත්හ. එබඳු දුෂ්කරතා මධ්‍යයේ මොරොන්තුඩුවේ ශ්‍රී ධම්මානන්ද නාහිමි යුගයේ විදුලි ආලෝකය ලැබිණි.

සමන් දෙවියන්ගේ පිහිටෙන් ජල විදුලිය ලබා ගැනීමට භාරහාර වී ඇරැඹූ විදුලි බලාගාරය සාර්ථකවීමෙන් අදටත් ශ්‍රී පාදස්ථානය විදුලියෙන් ආලෝකවත් කෙරේ. අනතුරුව ශ්‍රී පාදස්ථානයේ ඉහළ සිට පහළ දක්වා නල ජලය ද සම්පාදනය කෙරිණි. ශ්‍රී ධම්මානන්ද නාහිමි යුගය දීප්තිමත් වූ අතර, එකල තේවා කටයුතු මෙන්ම සංඝෝපස්ථාන ආදී කටයුතු ද ආරම්භ කෙරිණි.

අනතුරුව බටුගෙදර යසස්සි නාහිමියෝ ශ්‍රී පාදස්ථානාධිපති ධුරයට පත්වූහ. අනතුරුව ශ්‍රී පාදස්ථානාධිපති ධුරයට පත් හඳපාන්ගොඩ විමල නාහිමියෝ නව ගොඩනැගිලි ඉදිකරවූහ.

ශ්‍රී පාදස්ථානය, පලාබත්ගල විහාරය, නල්ලතන්නිය, බෞද්ධාරාමය, ගල්පොත්තාව ශ්‍රී පාද රජ මහා විහාරය, රත්නපුර පොත්ගුල් රාජ මහා විහාරය,පැල්මඩුලු පුරාණ දාගැබ් රජ මහා විහාරය යන විහාර ගණයේ අධිපති මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක ධර්මකීර්ති ශ්‍රී සුමංගල රතනපාල ශ්‍රී ධම්මරක්ඛිත බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආගමික, ශාසනික, සාමාජික නිහඬ යුග මෙහෙවරක නිරත යතිවරයන් වහන්සේ නමකි.

වන්දනාවේ යෙදෙන බැතිමතුන්ගේ පහසුව සඳහා උඩට ඇතුන් දෙදෙනෙකුගේ රුව යොදා පේකඩ ලීස්ථර ආදිය ද යොදා ශෛලමය කුළුණක් නිර්මාණය කර ඊට සුදුසු ඝණ්ඨාරය නිර්මාණය කිරීමට බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියන්ට ශක්තිය ලැබිණි. පැරැණි දේ එසේ තිබියදී, නව නිර්මාණ කිරීමට උන්වහන්සේ පසුබට නොවූහ. පැල්මඩුලු රජ මහා විහාරයේ මැටි කොරහේ ආකෘතියට අනුව දොළොස් මහේ ශෛලමය පහනද උන්වහන්සේ නිර්මාණය කළහ. ගල්අතුරා සලපතල මළුවද සකස් කළහ.

පෙරවරු 6, පෙරවරු 10, සවස 6, රාත්‍රී 10 යන සතර වේලාවකට තේවාවන් පැවැත්වීමට පිළියෙල කරවිය. පලාබත්ගල මාර්ගයේ අම්බලම් සියල්ල ඉදිකරවීය. ජල ටැංකි තබා පිරිසුදු පානීය ජලය ලබා දෙනු ලැබේ. සනීපාරක්ෂක පහසුකම් ද සලසා ඇත. වන්දනාවාරයේ දී දිනපතා බත්දන් සැලක් ද පැවැත්වේ.

කිසිදු භේදයකින් තොරව ප්‍රජා සත්කාර සේවාවෙහි ද උන්වහන්සේ නිරත වේ. ලැබෙන පිරිකර ද විහාරස්ථාන වෙත පරිත්‍යාග කෙරේ.

අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය, ගම්පොළ, මහනුවර රාජධානි සමයන්හි ඒ ඒ රජවරුන්ගේ ගෞරවයට, වන්දනාවට, පූජාවට ශ්‍රී පාදස්ථානය පාත්‍ර වූ බව පැහැදිලි වේ. විජයබා, පැරකුම්බා, නිශ්ශංකමල්ල ආදී රජවරු විවිධ පුද පූජා සිදු කර ඇති බව ශිලා ලේඛන සන්නස් , තුඩපත් ආදියෙන් ගම්‍ය වේ. මහා මේඝ වර්ණ රජතුමාගේ පුත් රාජ්‍යත්වයට පත්ව අභිෂේක ලබා පළමුව ශ්‍රීපාද වන්දනාවට පැමිණීමෙන් සුමනසමන් දෙවියන් උදෙසා දෙවොලක් තැනූ බව සඳහන් වේ. එදා සිට සමන්තකූට මස්තකයේ පිහිටි ශ්‍රීපාද පත්මය ආරක්ෂා කරන සමන් දේවාලය අද පවා සැදැහැවතුන්ගේ ගෞරවයට හා පූජාවට පත්ව තිබේ.

මැදින් පුර පසළොස්වක පෝය 

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 09 වන දා සඳුදා පූර්ව භාග 03.04 ට ලබයි. එම දා අපරභාග 11.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 09 වන දා සඳුදා ය.

මීළඟ පෝය මාර්තු 16 වන දා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16

Full Moonඅමාවක

මාර්තු 23

First Quarterපුර අටවක

අප්‍රේල් 01

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]