Print this Article


ප්‍රති ප්‍රශ්න ඇතිවීම

ප්‍රති ප්‍රශ්න ඇතිවීම

 

බුදුන් වහන්සේගේ ආගමික චර්යාව එදා භාරතීය සමාජයට මහා ගැටලුවක් වී තිබුණු හෙයින් උන්වහන්සේ අපකීර්තියට පත්කිරීමට එම පිරිස් ක්‍රියා කළහ.

“නෙව සක්ඛිති උග්ගලිතුං නෙව සක්කිති ඔගිලිතුං”

යනුවෙන් ගිලින්නටත් බැරි, වමාරන්නටත් බැරි ප්‍රශ්නයක් අසමු යැයි දිනක් අභයරාජ කුමරු බුදුන් වහන්සේ වෙත පැමිණියහ. මේ සඳහා අභයරාජ කුමරු සිය කුඩා පුතු හා සහභාගි වූයේ ය. මෙම කථා පුවත අප නිතර දක්වා ඇතිමුත්, නවක පාඨකයන්ගේ දැනගැනීම සඳහා ද මාතෘකාවට අදාළ හෙයින් ද මෙහි ද සඳහන් කරමු. “ඔබ වහන්සේ මිනිසුන්ගේ සිත් රිදවනවාදැ’යි ඔවුන් ඇසූ පැනයට බුදුන් වහන්සේ ‘ඔව්’ කිව්වත්, ‘නැහැ’ කිව්වත් උන්වහන්සේ අපහසුවට පත්වීමට ඉඩ තිබුණි. මෙහි දී බුදුන් වහන්සේ ‘ඔව්’ යන පිළිතුර දුන්නේ නම්, කරුණාව ඇත්තෝ මිනිසුන්ගේ සිත් නො රිදවන හෙයින් ඔබ වහන්සේ තුළ කරුණාවක් නැතැයි චෝදනා කිරීමට ඉඩ තිබුණි. උන්වහන්සේගේ පිළිතුර ‘නැහැ’ යනුවෙන් වූයේ නම් ‘ඔබ වහන්සේ මහා බොරුකාරයෙක්, ඔබ වහන්සේ ‘නෙරයිකො දෙවදතේතා’ යනුවෙන් දෙව්දත් අපාගත වන බව පැවසුවේ යැයි චෝදනා කිරීමට ඉඩ තිබුණි. එම පැනය බුදුන් වහන්සේගේ සත්‍යවාදී බවට හා මහා කරුණා ගුණයට අභියෝගයක් වූ හෙයින් එය ගිලින්නටත් බැරි, වමාරන්නත් බැරි පැනයක් ලෙස හැඳින්වේ.

එක එල්ලේ මෙයට පිළිතුරක් දීමට නො හැකිය යනුවෙන් ප්‍රකාශ කළ බුදුන් වහන්සේ උන්වහන්සේගේ පැන විසඳන එක් ආකාරයක් වූ ‘පටිපුච්ඡා කරණීය’ (ප්‍රතිප්‍රශ්න ඇසීමේ) ක්‍රමයට අනුව එම ගැටලුව විසඳු සේක.

අභයරාජ කුමරුගේ උකුලේ සිටි එතුමාගේ කුඩා පුත්‍රයා පෙන්වා, දරුවා කැට කැබිල්ලක් ගිල්ලහොත් ඔබ කුමක් කරන්නේදැයි බුදුන් වහන්සේ කුමරුගෙන් විචාළ සේක. “මම එය ඇදලා දමමි’ යනු කුමරුගේ පිළිතුර විය. ‘දරුවාට රිදුණොත්’, යනුවෙන් බුදුන් වහන්සේ ඇසූ පැනයට කුමරුගේ පිළිතුර වූයේ ‘දරුවාට රිදුණත්, දරුවාගේ මුවෙහි ලේ ගැලුවත්, මම දරුවාට ආදරය කරන හෙයින් මෙම කරදරයෙන් දරුවා බේරාගැනීම සඳහා මම මුවට ඇඟිල්ල දමා කැට කැබිලිත්ත අරන් දමමි’ යනුවෙනි.

එකල්හි බුදුන් වහන්සේ ‘මම ද ශාසනයට ආදරය කරන හෙයින්, සසුන රැකගැනීම සඳහා සමහර විට සමහරුනට රළු ලෙස කථා කරන මුත්, එහි රළු බව විනා ද්වේශ සහගත චෛතසිකයක් නොමැති බව ප්‍රකාශ කළ සේක.” ඒ අනුව අප යමක හොඳ නරක තීරණය කළ යුත්තේ එහි බාහිරය නොව අභ්‍යන්තරය පිරික්සීමෙනි.

තවත් නිදසුනක් මෙසේ දක්වමි. ගසකට නගින දඟකාර දරුවෙක් අමතා ‘වැටියන්’ යැයි මවක් ප්‍රකාශ කරන මුත් ඇයගේ සිත තුළ ඇත්තේ ‘නො වැටේවා’ යන පැතුමයි. ඇයට අවශ්‍ය දරුවා අනතුරකට මුහුණදීම වළක්වා ගැනීමයි. බුදුන් වහන්සේ ද සමහර දුසිල්වතුන්ට රළු ලෙස සලකන ලද්දේ සසුනේ චිරස්ථිතිය උදෙසා මෙන් ම, ඔහුගේ ද යහපත උදෙසා ය.