නිරෝගී මනසට
මධ්‍යම ප්‍රතිපදාව
බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විහාරාධිපති
කරගොඩ උයන්ගොඩ
මෛත්‍රීමූර්ති
මහා නා හිමි
මානසික සෞඛ්‍ය පිළිබඳ බෞද්ධ ආකල්පය මැනවින් පෙන්වා දෙන අවස්ථාවක් ලෙස අංගුත්තර
නිකායේ රෝග සූත්‍රය හඳුන්වා දෙන්නට පුළුවන්.
“මහණෙනි, රෝගයෝ දෙදෙනෙකි. කායික රෝග සහ මානසික රෝග යනුවෙනි. මෙයින් කායික රෝගවලින්
නො පෙළී අවුරුද්දක්, දෙකක්, තුනක්, හතරක්, පහක්, හයක්, විස්සක්, තිහක් ඇතැම්විට
අවුරුදු සියයක් වුව ද නිරෝගී ව සිටින්නට පුළුවන. එහෙත් මානසික රෝගවලින් එක මොහොතක්
හෝ නො පෙළී, පීඩා නො විඳ සිටින අය රහතන් වහන්සේලා හැර සොයා ගැනීම දුෂ්කරයි.”
මෙම සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වන්නේ සාමාන්‍ය පෘථග්ජන සෑම දෙනා ම මානසික රෝගවලින්
පීඩනයට පත් වෙන බවයි. මෙහිදී මානසික රෝග යනුවෙන් අදහස් කරන්නේ වර්තමානයෙහි මානසික
රෝග ලෙස හැඳින්වෙන රෝගවලට පමණක් සීමා වූ අසනීප නොවේ. බුදු දහමට අනුව දුර්වල
චෛතසිකයන් ද මෙයට ඇතුළත් වනු ඇත. මානසික රෝග ගැන කතා කරන විට නූතන මනෝවිද්‍යාවට
අනුව නියුරෝසියාව හා සයිකෝසියාව යනුවෙන් රෝගී අවස්ථා දෙකක් මූලික වශයෙන් පෙන්වා දී
ඇත.
සුළු මානසික විකෘතිතාවය නියුරෝසියාව තුළින් පෙන්නුම් කර ඇත. ඇතැම් සතුන් දැකීමට ඇති
බිය, අත්පාවලට දහඩිය දැමීම, වෙව්ලීම, මුහුණදීමට ඇති බිය, අභියෝගාත්මක අවස්ථාවල
චිත්තවේග ඇතිවීම, භීතිකාව, නුරුස්සන බව, කාංසාව, තැවුල් සහිත බව, නින්ද නොයාම, අමතක
වීම, ඉච්ඡාභංගත්වයට පත් වීම, මනසින් දුර්වලවීම, කළකිරුණු ස්වභාවය, සෑම දෙයක් ගැනම
ඇති සැකය, පසුබට වීම, ආතතිය, කලබලයෙන් වැඩ කිරීමට ගොස් ඇතිවන පීඩාව, විවේක රහිත බව,
හේතුවක් නැතිව අධික සිනහව හෝ හැඬීම, බලාගත් අත බලා සිටීම, මාංශපේශීන් පෙරළීම වැනි
තත්ත්වයන් සුළු මානසික රෝගයන් ය. මනෝ ග්‍රස්ථි යනුද මානසික රෝගයකි. සිතේ ඇති දැඩි
ආශාවන්, ආලම්බනයන් මෙයින් අදහස් වේ.
සාමාන්‍ය ව්‍යවහාරයේ උමතුව, පිස්සුව ලෙස හැඳින්වෙන්නේ සයිකෝසියාව නම් රෝගී තත්ත්වය
යි. මෙහිදී පුද්ගලයාගේ පෞරුෂය බිඳ වැටී යම් දෙයක නියම ස්වභාවය දැකීමේ හැකියාව ඔහු
වෙතින් ඉවත් වේ. ඔහුට මුලාවන් ඇතිවේ. මානසික රෝග බොහොමයක් අසුබ ලෙස සිතීම හා
යථාර්ථයෙන් ඈත්වීම නිසා හටගනී. ජීවිතය පිළිබඳවත්, සමාජය පිළිබඳවත් අවබෝධ කර
ගැනීමෙන් මෙවැනි මනෝ ව්‍යාධිවලින් මිදීමේ මාර්ගය බුදු සමයෙහි දක්වා ඇත. බුදු දහමට
අනුව රෝගයක් තිබේනම්, රෝගයට හේතුව, රෝගය නැති කිරීම හා රෝගය නැතිකිරීමේ මග යන කරුණු
අවබෝධකරගත් විට මෙම තත්ත්වයෙන් අත්මිඳීමට හැකි ය.
පස්කම් සැප විඳීමේ සීමාව ඉක්මවා ඊට ගොදුරුවීම නිසා ශාරීරික හා මානසික ආබාධ හටගන්නා
ආකාරය බුදු සමයෙන් පෙන්වා දී ඇත. ඒ ඒ වයස් සීමාවල තිබිය යුතු ඇවැතුම් පැවැතුම්වලින්
තොරවීම නිසා ඇතිවන ගැටලු මානසික රෝග දක්වා ව්‍යාප්ත වී යාම වළක්වා එම තත්ත්වයෙන්
ඈත්වීමට අවශ්‍ය මූලික ඉගැන්වීම් බුදුසමයෙහි ඇතුළත් ය.
මූලික බුදුසමය මිනිස් සිත සියුම් ලෙසත්, ගැඹුරු ලෙසත් විග්‍රහකර ඇත. මිනිසා කෙරේ
බලපාන පෞද්ගලික මානසික ගැටලු ද, පවුල් ජීවිත හා තරුණ ජීවිත සම්බන්ධ ගැටලු ද විග්‍රහ
කරමින් ඒ ඒ පෞරුෂයන්ට අනුකූල වූ විසඳුම් බුදුසමයෙන් පෙන්නුම් කර ඇත. සමාජයේ
විවිධාකාර ගැටුම්, යුද අපරාධ, දේශපාලන හා රාජ්‍යමය වියවුල් යනුවෙන් මිනිස් සන්තානය
තුළ පැන නඟින සියලු භෞතික ගැටලුවලට බුදුසමයෙන් පිළිතුරු සැපයෙනු ඇත.
සිත පහන් කිරීම සඳහා මෛත්‍රී භාවනාව, බුද්ධානුස්සති භාවනාව, ආනාපානසති, කායගතාසති
භාවනාව වැනි භාවනා පුරුදු පුහුණු කිරීමෙන් අපමණ මානසික සුවයක් ළඟාකරගත හැකි ය.
සතිය, හා සම්පජඤ්ඤය යන සංකල්ප දෙක මෙහිදී ඉතා වැදගත් ය. සෑම දෙයක් ම සිහියෙන් හා
නුවණින් බලා කටයුතු කිරීම මෙයින් අදහස් කරනු ඇත.
බුදුසමය සලකන්නේ මිනිසා සාංසාරික වශයෙන් රෝගියෙකු බවයි. ඔහු තම ජීවන ක්‍රියාවලියේ
දී මෙම රෝගී තත්ත්වය අවබෝධකරගෙන, එයින් නිදහස් වීමට උත්සාහ කළ යුතු ය. චිත්ත බලය
උපයෝගී කරගෙන අධිෂ්ඨාන පූර්වක ව කටයුතු කිරීමෙන් මෙම තත්ත්වයෙන් ගොඩ එන්නට පුළුවන.
මනෝ රෝග හා කායික රෝගවලින් වැළකීමට චිත්ත ශක්තිය වර්ධනය කර ගැනීමත්, සමාජගත
තත්ත්වයන්ට හුරුවීමත්, සමාජය පිළිබඳ පරිණත භාවය වැඩිකර ගැනීමත් අවශ්‍ය ය.
බුදු දහම අනුව අයහපත් මානසික ක්‍රියාකාරීත්වය නිසා පුද්ගලයාගේ අයහපත් හැසිරීම තීරණය
වෙයි. මෙහි දී අපාගාමී චර්යාව විග්‍රහ කිරීමෙහිලා දස අකුසල් සංකල්පය ඉවහල් කර ගන්නට
පුළුවන. කායික, වාචසික, මානසික වශයෙන් දස අකුසල් තෙවදැරුම් වේ. පර පණ නැසීම, හොරකම,
වැරැදි ලිංගිකත්වය කයින් සිදුවන වැරැදි ය. බොරුකීම, කේළාම් කීම, නපුරු ලෙස කතා
කිරීම, අර්ථ ශූන්‍ය දේ කතා කිරීම වචනයෙන් වන වැරැදි ය. දැඩි ලෝභයෙන්, කෝපයෙන්
ක්‍රියා කිරීම, වැරැදි මත අනුව කටයුතු කිරීම සිතින් කරන වැරැදි ය.
යහපත් හොඳ පෞරුෂයක් ගොඩනැගීමට මෙන් ම, නිරෝගී පුද්ගලයෙකු වීමට අවශ්‍ය සප්පාය පහක්
බුදුදහමෙහි සඳහන් ය. එනම් ආහාර සප්පාය හෙවත් සුදුසු ආහාර පරිභෝජනය, විහරණ සප්පාය
හෙවත් නිවැරැදි ඉඳුම් හිටුම් මෙන්ම නිවැරැදි හැසිරීම් රටාව යි. උතු සප්පාය ශරීරයට
හිතකර කාල පරිහරණයයි. පුග්ගල සප්පාය හෙවත් සුදුසු පුද්ගලයන් ආශ්‍රයයි. අජ්ඣාසය
සප්ජාය, හොඳ අදහස් ඇති කර ගැනීම යි.
කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තුළින් අසහනයත්, අතෘප්තියත්, ආතතියත් ඇතිවේ. එබඳු
චරිතයක් ඇත්තා අපාගාමී පෞරුෂයක් ඇත්තෙකු ලෙස සැලකිය හැකි ය. හොඳ පෞරුෂයක් ගොඩ
නැගෙන්නට නම් අලෝභ, අදෝෂ, අමෝහ සිතිවිලි පුරුදු පුහුණු කළ යුතු ය. මේ තුළින්
ප්‍රඥාව ඇතිවේ. ප්‍රඥාවන්තයාගේ ජීවිතය ධාර්මිකය. මනස නිරෝගී ය. යහපත් පෞරුෂයකින්
යුක්ත ය. නිරෝගී මනසක් ඇතිකර ගැනීමට නම් ජීවත්වන සමාජ පරිසරයන් යහපත් විය යුතු ය.
අත්ථි සුඛය, භෝග සුඛය, අණන සුඛය, අනවජ්ජ සුඛය ඇති පුද්ගලයා තුළ අසහනය, අතෘප්තිය,
ආතතිය ආදී මානසික කැළඹීම් හා ආවේග බොහෝ දුරට සමනය වනු ඇත.
මිනිසාගේ ස්වාමියා, මිනිසාම ය. කෙටියෙන් දක්වන්නේ නම් මානසික රෝගවලින් මිදීමේ
නිවැරැදි මග ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. නිරෝගී මනසට මග මේ මධ්‍යම ප්‍රතිපදාව
පිළිපැදීම යි. |