Print this Article


දුකසේ ලැබිය යුතු පිහිට

දුකසේ ලැබිය යුතු පිහිට

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

අත්තාහි අත්ත නො නාථො - කෝ හි නාථෝ පරෝසියා
අත්තනාව සුදන්තේන - නාථං ලභති දුල්ලභං

වාසනාවන්ත පින්වත්නි,

ඉහත ගාථා ධර්මයට අනුව පුද්ගලයා වෙත පැවරෙන වගකීම කවර තරමක වගකීමක්දැයි නුවණින් මෙනෙහි කර බලන්න. තම වගකීම තමා වෙත ම පැවරේ. වෙනත් පිහිටක්, සරණක් අපේක්ෂාවෙන් යම් කෙනෙකු විවිධ දේ සිදුකළත්, තමන්ගේ වගකීම අන්‍යයන් වෙත නොව තමා වෙතම සම්බුදුදහම මගින් පවරා ඇත. මව්පියවරු, දූ දරුවන්, නෑදෑ හිතමිතුරන්, භව භෝග ධන සම්පත්, කෙතෙක් පැවතිය ද අවසානයේ දී ඒ සියල්ලට වඩා තමාට පිහිට පිණිස පවතිනුයේ තමා ම ය.

"තමනට පිහිට වන්නේ නම් තෙමේ ම ය. අන් කවරෙක් තමනට පිහිට වන්නේ ද? චක්ෂුරාදී ඉඳුරන් දමනය කිරීම් වශයෙන් මනාසේ තමා දමනය කළ පුද්ගල තෙම දුක සේ ලැබිය යුතු අර්හත්ඵල නමැති පිහිට ලබන්නේ ය."

සම්මා සම්බුදුපියාණන් වහන්සේ දෙව්රම් මහා විහාරයේ දී කුමාරකාශ්‍යප තෙරුන් වහන්සේගේ දයාබර මෑණියන් උදෙසා ඉහත ගාථාව දේශනා කර වදාළහ.

යම් තැනැත්තෙකු වෙත දිව්‍ය මනුෂ්‍යාදී සුගති භව සැපත හා මාර්ගඵල නිවන් සැපතත් සාදාදීම හෝ ළඟා කර දීම වෙනත් කිසිවෙකුට කළ හැකි දෙයක් නොවේ. ඒ සියලු සැප සම්පත් සැලසෙනුයේ තමා පිළිවෙත් සරුව කුසල් දහම් පිරීමෙන් ය. තමනට පිහිට තෙමේම යැයි වදාළේ එබැවිනි.

මෙම දහම් කරුණු තම ජීවිතයට එකතු කර ගැනීමෙන් තම විමුක්තිය උදාකරගත හැක්කේ තමාට ම බව තේරුම් ගෙන කටයුතු කිරීමෙන් තමා වෙත ඇතිවන කායික මානසික පීඩා ගැටලු, ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාව පවතී. ඇතැම් විට අන්‍යයන්ගේ පිහිට පැතීම ඇතැම් අයගේ සිරිතක් බවට පත් වී ඇත. අධ්‍යාත්මික, ආර්ථික, අධ්‍යාපනික, සාමාජික ආදී කවර ආකාරයෙන් ගෙන බැලුවද, තමාගේ ජීවිතය යහපත් කර ගැනීමේ අවස්ථාව තමා වෙත පැවරී ඇති උදාර වගකීමක් ලෙස කල්පනා කළ යුතු වේ. සාමාජික වශයෙන් කල්පනා කර බලන විට පුද්ගලයාගේ ඇතැම් කටයුතු සඳහා අන්‍යොන්‍ය සහාය අත්‍යවශ්‍ය ය. අලසකම හිතට ගත් තැනැත්තාට ජීවිත සූදානමක් නැති බව සිහියට නගා ගත යුත්තකි. ලෞකික ජීවිතයක් ගොඩ නඟා ගැනීමට, භෞතික සම්පත් උදාකර ගැනීමට ඇතැම් අයෙකුගේ සහාය අවශ්‍ය බව ගැටලුවක් නොවේ. එහෙත් දහමෙහි සඳහන් කරනුයේ අධ්‍යාත්මික සුවය අන් අයෙකුට ළඟා කර දිය නොහැකි බවයි.

කවර සැප සම්පත් ළඟා කර ගත්තත් , කවර දුක් දොම්නස් උදාවුවත් ඒවා විඳ දරා ගැනීමේ උරුමකරු අන් අයෙකු නොවේ. එහි අයිතිකරු වගකිවයුතු තැනැත්තා තමා ම ය.

සසර සියලු සැප සම්පත් කෙළවර අමා නිවන පවා සාක්ෂාත් කළ හැකි වන්නේ අන් අයෙකුට නොවේ. එය අවබෝධ කරගත හැකි වන්නේ තමාට ම ය. “ප්‍රඥාවන්තස්සායං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස” උතුම් සම්බුදු දහම මගින් ප්‍රඥාවන්තයන් නිරතුරුව ආලෝකය උදාකර ගනු ලැබේ. අනුක්‍රමයෙන් ප්‍රඥාව දියුණු කර ගැනීම පාරමී බවට පත්වේ. යහපත් ක්‍රියාවක් දිගින් දිගට ම ක්‍රියාවට නඟමින් එහි ප්‍රතිඵල ලබා ගැනීමට උත්සාහ කිරීම අපගේ හැකියාව මෙන්ම වගකීමද විය යුතු ය.

දානයක් පිරිනැමීම ඇතැම් සිතකට අපහසු වේ. එහෙත් ලෝභ, ද්වේෂ, මෝහ යටපත් කර ගැනීමෙන් පරිත්‍යාගශීලී සිතිවිලි උදාකර ගැනීම අපහසු නොවේ. එය පාරමිතාවක් බවට පත්කර ගත යුත්තේ නුවණ ද මෙහෙයවමිනි. යහපත් සිතිවිලි පුරුදු පුහුණු කිරීම වඩ වඩාත් කළ යුතු ය. ජීවිතයක ගොඩනැගීම පියවරෙන් පියවර බව අමතක නොකළ යුතු ය. අධ්‍යාපන, ආර්ථික භෞතික ආදී කවර අංගයක් වෙතින් බැලුව ද, පියවරෙන් පියවර දියුණුව උදාකර ගත හැකි ය.

සසර ගමන පුරා උසස් පරමාර්ථ ධර්ම අනුව කටයුතු කිරීමෙන් අවසානයේ නිවන් සුවය ළඟා කර ගත හැකි බව විශ්වාසයෙන් කටයුතු කළ යුතු වේ.

ඒ ඒ පුද්ගලයා සතු බුද්ධිමට්ටම වෙනස් ය. සසර භවයෙන් භවය ප්‍රඥාව දියුණු කිරීම නිසා සියල්ල අවබෝධකර ගැනීමට හැකිවේ.

සිදුහත් ගෞතම බෝධිසත්වයන් වහන්සේ සසර සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පුරා පෙරුම් දම් සපිරූ බව ඔබ අප දන්නා සුලභ කරුණකි. ජීවිතයේ උතුම් අධිෂ්ඨානය උදෙසා කළ ඒ කැපකිරීම ලොවටම ආදර්ශය සපයයි.

සසර දුක් කෙළවර අමා මහ නිවනින් සැනසීමට පත්වේවා.