බුදු හිමි
මගේ බුදු රදුන්
රහසින් වත් පව් නොකොට
සතුරාටද මිතුරාට ද එක සේ සලකා
තුන් ලොවට ම මෙත් කරුණා පෑවා
එම්. ජී පතිභානි පංචමධුරි
බොරැල්ල
****
පෝදා සිතිවිලි
ගමේ පන්සල අමා දම් රස සෑම සිතකම රැඳේවා
සිතේ ඇති වෙන පාප සිතිවිලි යළි නොඑන ලෙස මැකේවා
අසමගිය සිත් තුළින් දුරුවී දහම් සිතිවිලි නැඟේවා
හොඳ නරක දෙක පහද ගන්නට සිතට ශක්තිය ලැබේවා
ඇම්. කරුණාවතී පෙරේරා
බත්තරමුල්ල
****
මෙවර ජයග්‍රාහී කවිය
කැඩපත සහ අනිත්‍ය
රූපය දකිමි කැඩපත දෙස හිඳිමි බලා
මම යැයි සිතමි එය ඉන්නේ ම දෙස බලා
දුටුවත් එය, එසේ සැමදා දිවිය පුරා
බැහැ එය දකින්නට නැවතත් සසර පුරා
තිබුණත් කැඩපතක් දැකුමට අපේ රුව
නැහැ කැඩපතක් එය සම්මුතියක් ය ලොව
නැති කැඩපතින් කෙලෙසද දිස්වෙන්නෙ රුව
මම හෝ කැඩපතක් නැහැ සැම දෙය අනියතය
සුදත් විජේසුන්දර
ඇමරිකා එක්සත් ජනපදය
****
මගේ පැතුම
වැහි පල බර වී
ගංගා ඇළ දොළ
වැව් අමුණු පිරී
දස දෙසින් පෙනෙනා
නිල් ගොයම
මනස්කාන්තයි
අලුත් වසරක්
පිබිදුණු රටක්
අන්තවාදීන්ගෙන් තොර
සමගිය, සහජීවනය රජයන
සෞභාග්‍යමත් රටක්
උදාවේවි ද?
මගේ පැතුම එය යි.
වැලිකරේ ඤාණවංස හිමි
****
ලොකු හාමුදුරුවෝ
දී හැම විටම ඔවදන් පෙරටුවෙන් සිටී
නායක හාමුදුරුවෝ ලෙඩ ඇඳෙහි සිටී
ජීවය අයැද බෝ හිමි අබියසෙහි වැටී
දායක පිරිස හෙළුවා දුක් කඳුළු කැටී
හිරු දෙවි සැඟ වුණා නෑ සියොතුන් නේක
රැව් පිළිරැව් දුනිය ඝණ්ඨා නද සෝක
සඳ තරු නිවී ගිය දැඩි සීතල රෑක
ලොකු හාමුදුරුවෝ අපවත් වුණ සේක
පෙන්වා සිනාමුව පොඩි දරුවනට පවා
වදනින් සැනසුවා උන් සිත අඳුර නිවා
ගරු හිමියනේ ඒ ගුණ කඳ සිතෙහි මවා
බැති මල් පුදන්නෙමු අප හැම උදය හවා
හුදු දන වෙත දහම් දෙසමින් සුපසන්න
ගොරතර සසර භවයෙන් උන් මුදලන්න
ගෞරවනීය හිමියනි උජු පටිපන්න
යළි බුදු පුතෙකු වී මේ බිම උපදින්න
බෝධිමුල්ල ශ්‍රී බුද්ධරක්ඛිත දහම් පාසලේ ආචාර්ය
කුසුම් බෝධිමුල්ල
****
මව් ගුණ
දරුවන් දැඩි කරති මව්වරු සෙනෙහෙ පපා
අම්මගෙ නුගුණ කිසි දවසක කියනු එපා
ඇගෙ නෙත් දෙකේ දුක් කඳුළැලි මවනු එපා
වැඩ වෙයි පිදුවොත් සැමදා මව්ගෙ දෙපා
ගෙදර බුදුන් මව්පියො බව දැනගන්න
අම්මගෙ තාත්තගෙ සිත් මල් නොතලන්න
දෙනෙතට නොපෙණුනත් සිත තුළ වැඩ ඉන්න
වැඩිහිටි නිවෙස්වල මව්පියෝ නොදමන්න
බී. ඇඩ්ලින්
මීගහතැන්න
****
මැදින් පෝ දිනේ
ලොව යහපත තකා දම් රස බෙදා දෙන
තිලොවග පියා රජනුවරින් සඟ තෙරණුන් සදා ගෙන
පෝදා මැදින් ඇරැඹිය යළි ගම් බිම් බලා ගෙන
එහි සිටි සැමට සෙත සැලසුණි දම් රස ලබා ගෙන
ජේ. බී. එච්. ගුණසේන
අනුරාධපුර පාර , මරදන්කඩවල
****
බැති පූජා
ගම්පහ ඉඹුල්ගොඩ පන්සලෙ වැඩ වසන
නායක හිමි සඳුනි පා යුග නමදිමි බැතින
මහ සඟ රුවන සමඟින් අපහට දම් දෙසන
වේවා ඔබ වහන්සේට නිති බුදු සරණ
නෙක මල් පුදා තුනුරුවනට කර පූජා
දෙව්ලොව දෙවියනට අනුමෝදන් කර පූජා
සව්ලෝ සතට පින්පෙත් කර පූජා
සමිඳුනි ඔබ වහන්සේට යි මේ බැති පූජා
කුසුමා හෙට්ටිආරච්චි
ඉඹුල්ගොඩ
****
මිතු දම
පවිටු මිතුරු සතරෙකි සැමදා ලෝකේ
කරති නරක මිතුරන්හට දී සෝකේ
කලණ මිතුරු සතරෙකි මේ තුන් ලෝකේ
ගෙන දේ සතුට දුරලා සැම දුක සෝකේ
සමාන සුඛ දුක්ඛ හොඳ මිතුරෙකි මෙන්න
දුක සැප දෙකේදී සැමදා ළඟ ඉන්න
මෙවන් මිතු දමක් නුඹ ඇති කර ගන්න
නුඹටත් හැකි වේවි ඒ නිවනට යන්න
උඩවලවේ චන්දිම හිමි
බෝපැත්ත
ගැටහැත්ත
****
රුවන්වැලි සෑ වන්දනා
දිවමන් බුදු හිමියන් වැඩ හිඳිනා රන් වැලි සෑ රද වඳිමි බැතින්
ධා පිරිනවෙනා මතු දින මැවෙනා රන් වන් බුදු හිමි වඳිමි බැතින්
සවණක් ගණ බුදු රැස් විහිදුවමින් මොහොතක් දෙසනා බණට සොඳින්
සවනත යොමු කොට නුවණැස පාදා මේ සසරින් ගොඩ යමුය ඉතින්
ජය සිරි මා බෝ සමිඳුන් පාමුල පුදුම සිසිලසක් දැනෙයි නිතී
වැලි මළුවේ හිඳ බවුන් වඩන සඳ හදකට ගෙනදෙයි සිසිල ගතී
ඉසිකෝ මන් මද දුරු වී මතු වෙයි සිතිවිලි කරුණා ගුණය රැදී
බුදු හිමියනි මට ඔබෙ පා සෙවණේ අම සුවයම දෙයි මිහිර ඇතී
අශෝකා අබේවර්ධන
නාවලපිටිය
සංස්කරණය - ජම්මික ප්‍රබෝධනී වැලිකල |