Print this Article


පලන්නොරුවේ විමලධම්ම නා හිමි

පලන්නොරුවේ විමලධම්ම නා හිමි

අපවත්වී වදාළ පලන්නොරුවේ විමලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 54 වැනි ගුණ සමරුව මාර්තු මස 07 වැනි දිනට යෙදී තිබිණි. වැලිවිටියේ ශී‍්‍ර සෝරත නා හිමියන්ගේ අපවත්වීමෙන් පසුව විද්‍යෝදය විශ්ව විද්‍යාලයාධිපතිව කටයුතු කරන ලද්දේ පලන්නොරුවේ විමලධම්ම නා හිමිපාණන් වහන්සේ ය. අග්ගමහා පණ්ඩිත, සාහිත්‍ය චක්‍රවර්ති , රාජකීය පණ්ඩිත පලන්නොරුවේ ශ්‍රී සිද්ධාර්ථ විමලධම්ම නා හිමිපාණන් වහන්සේ ජීවිතයේ අවසන් මොහොත දක්වාම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ඇප කැප වූ පඬිරුවනකි.

විද්‍යෝදය පිරිවෙනින් ඇරඹුණ ජීවිතයේ උපරිම අවස්ථාව වූයේ එම පිරිවෙණ ම විශ්වවිද්‍යාලයක් බවට පමුණුවා එහි අධිපති ධූරයෙන් පිදුම් ලැබීම යි. 1939 යුගය වන විට ඇරඹි දෙවන ලෝක යුද්ධයේ බලපෑමෙන් විදුදයේ ඇතිවූ නොසන්සුන්තාවන් නිසා පැවැති අඳුරු යුගයට යළි පණ දී පිරිවෙණ ආරක්ෂා කොට යළි නගා සිටුවීමට ක්‍රියා කළ යතිවරයන් වහන්සේලා අතර උන් වහන්සේ ප්‍රමුඛස්ථානයක් ගනී. උදාර පෞරුෂත්වයෙන් හා අකලංක චරිතාපදානයකින් හෙබි විනයධර, ශික්ෂාකාමීත්වයෙන් ස්වකීය පැවිදි ජීවිතය හෙබවීය. පිරිපුන් පාණ්ඩිත්‍යයෙන් ලෝක සාසනයට අපරිමිත සේවාවක් සැලසූහ. සිරිලක පමණක් නොව විදේශයන්හි පවා මහත් ගෞරවයට පාත්‍රවූහ. ග්‍රන්ථ කරණයෙහි ද නිරතවේ හිමිපාණන් විසින් රචිත ධර්ම ග්‍රන්ථ පාසල් පෙළපොත් සඳහාද භාවිතයට නිර්දේශ කර තිබේ. බුරුමයේ පැවැති ධර්ම සංගායනාවක් වෙනුවෙන් වැඩම කළ ශ්‍රී ලාංකීය දූත පිරිසෙහි නායකත්වය දරමින් සමුළුවෙහි දේශනයක් පැවැත්වීමට අවස්ථාව ලැබීම ද උන් වහන්සේ ලද භාග්‍යයකි.

කුඹුකේ පත්තුවේ පිහිටි පලන්නොරුව නම් සුන්දර සශ්‍රීක ග්‍රාමය නාහිමිපාණන්ගේ ජන්ම භූමිය විය. පලන්නොරුවේ ප්‍රභූ පවුලක තෙවන දරුවා ලෙස උපත ලද මේ කුමරුවන්ගේ මවුපියන් වූයේ පින්වත් මවුපිය දෙපල කි. 1900 සැප්තැම්බර් මස 14 වැනි දින පලන්නොරුවේ විසූ ලොකු පිටුම්පගේ රපියෙල් අප්පුහාමි පියාණන්ටත්, ජයකොඩි ආරච්චිගේ ලැයිසනෝනා හාමිනේ මෑණියන්ට දාව මෙලොව එළිය දුටුවේ උපන් ගමට මෙන්ම මුළු රටට ම දැල්වෙන පහනක් ලෙසයි. ලොකු පිටුම්පගේ දොන් හර්මන් ගිහි නාමය විය.

විවිධ ශාස්ත්‍ර ඉගෙනුමෙහි දක්ෂතා දැක්වූ මේ කුමරු මවුපියන් විසින් රැගෙන ගියේ ගමේ පන්සලට ය .පලන්නොරුව ශ්‍රී විජයසුන්දරාරාමයේ එවකට වැඩසිටි මොල්ලිගොඩ විමලතිස්ස ස්වාමිපාදයන් වහන්සේ දරුවා කෙරෙහි පැහැදී පැවිද්ද ලබා දුන්හ. ශාසන අභිවෘද්ධිය සලකා මව්පියන්ගේ කැමැත්ත පරිදි 1913 දී ‘පලන්නොරුවේ විමලධම්ම’ නමින් සසුන් ගත කළහ.

ඉංගී‍්‍රසි භාෂා ඥානය ද ප්‍රගුණ කළ කුඩා හිමිපාණෝ 1916 කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට ඇතුළත් වූහ. 1921 දී උපසම්පදාව ලදහ. 1926 දී එම පිරිවෙණෙහිම ආචාර්ය පදවියකට පත්ව 1927 දී ප්‍රාචීන අවසාන විභාගයෙන් සමත්ව රාජකීය පණ්ඩිත උපාධිය ලදහ. ආචාර්යවරයකු ලෙස වසර 30 කට අධික කාලයක් නිසාම ගෞරව නාමවලින්ද පිදුම් ලදහ. විදෙස් ධර්ම දූත සේවාවන්හිද නිරතවෙමින් , බුදු දහමට අනගි මෙහෙයක් ඉටු කරමින් ජපානය, බුරුමය වැනි රටවලට ද වැඩම කළහ.

මේ වන විට නවෝද්‍යා පාසලක් දක්වා උසස්ව ඇති පලන්නොරුව මධ්‍ය මහා විද්‍යාලය ආරම්භ කිරීමේදී එහි නියමුවකු ලෙස විමලධම්ම හිමිපාණන් කටයුතු කලහ. 1936 වසරේ එම පාසල අරඹා එවකට අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිඳුන් අතින් එය සිසු අයිතියට පැවරීමට නොපමාව කටයුතු කළහ. 1964 දී එම විශ්වවිද්‍යාලය මගින් පවැති උපාධි උත්සවයේදී (සාහිත්‍ය චක්‍රවර්ති යන ගෞරව උපාධියෙන් පුදන ලදී.

1963 දී එම විශ්වවිද්‍යාලයේ ම උපකුලපති පදවියට පත්වූහ.