බොදු පසුබිමක මනා ශික්ෂණය සාරධර්ම ඇගයීමට රුකුලකි
මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ,
සිරි වජිරඤාණ ධර්ම
විද්‍යාලයේ ප්‍රධානාචාර්ය පණ්ඩිත
හක්මන
සුමනසිරි හිමි
* ප්‍රඥාව බැබළෙන්නේ යහපත් චරිතයෙනි
* දැහැමි පෞරුෂයෙන් හෙබි පුද්ගලයෙක් සමාජයට දායාද කරමු
* අභියෝගයන්ට අභීතව මුහුණ දෙන්න දරුවන් ශක්තිමත් කරන්න
බෞද්ධ අධ්‍යාපනය නම් බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව හැදියාව පසුබිම් කරගත්
ඉගැන්වීම් ක්‍රමය යි. බෞද්ධ අධ්‍යාපනයට අනුව යමෙකු තුළ දැනුම දියුණු කරන්නේ නම් ඒ
දැනුම හා සමඟ ම ඔහුට හික්මීමකුත් ලැබෙනු ඇත.
ඉපැරැණි ආරාමික අධ්‍යාපනයේ තැබූ විශේෂ ලක්ෂණයක් නම් බහුශ්‍රැතභාවය යි. බහුශ්‍රැත
යනු බොහෝ ඇසු පිරු තැන් ඇති බව යි. වනපොත් කිරීමත් තවත් විශේෂ ලක්ෂණයකි. වර්තමානයේ
බෞද්ධ අධ්‍යාපනයේ පමණක් නොව, පාසලේ මෙන් ම විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් ද ඒ
ක්‍රමවේදයන් බැහැර වී ඇත. ඇතැම්හු ඒවා යල්පිනූ ක්‍රමයන් මෙන් හුවා දක්වති.
‘මනස්ස උස්සන්නතාය මනුස්සෝ’ - දියුණු කළ හැකි මනසක් ඇත්තේ මිනිසාට ය. පොදුවේ ගත් කල
සෙසු සත්ත්ව ප්‍රජාවට ඒ හැකියාව නැත. බුදුරජාණන් වහන්සේ උගත්කම විවිධ අවස්ථාවල
වර්ණනාවට ලක් කළහ. අල්පශ්‍රැත පුද්ගලයා ගොනෙකු මෙන් වැඩෙන බවත්, ඔහුගේ ශරීරය වැඩෙන
මුත් මනස නො වැඩෙන බවත්, දේශනා කළහ. සංවරයෙන් හෙවත් හැදිච්චකමින් තොර උගත්කමින්
තමන්ටවත්, අනුනටවත්, මෙලොවටවත්, පරලොවටවත් යහපතක් නැති බවත් . සීලේන අනුපේතස්ස
සුතේනත්ථෝ න විජ්ජති . - යන බුද්ධ දේශනාවෙන් ඒ බව පැහැදිලි වේ. . අපදාන සෝභිනී
පඤ්ඤා . - යමෙකුගේ ප්‍රඥාව බැබළෙන්නේ ඔහුගේ යහපත් චරිතයෙනැයි ද යනු බුද්ධ දේශනාව
යි. මිනිස් ජීවිතය අලංකාර වන්නේ උගත්කමින් ය, බබළන්නේ සිල්වත් ගුණවත්කමින් ය. මනා
පැවැත්මෙන් හෙවත් හොඳ චරිතයෙන් යුක්තවන්නේ සිල්වත්කම ඇත්නම් පමණි.
බෞද්ධ අධ්‍යාපනය ලැබීමේ දී අනුගමනය කළ යුතු මූලධර්ම පහකි.
සුතා - ඉතා හොඳීන් ඇසීම යි, ධතා - අසා දැන ඉගෙන ගත් දෙය හොඳීන් සිත්හි දරා ගැනීම
යි, වචසා පරිචිතා - කටපාඩම් කිරීම හා නැවත නැවතත් කියා වචන කටට හුරු කැර ගැනීම යි,
මනසානුපෙක්ඛිතා - සිතට නගා ගෙන සිතින් විමසා බැලීම යි, දිට්ඨියා සුප්පටිවිද්ධා - ඒ
තුළින් ඇති කර ගන්නා මනා අවබෝධය යි. අධ්‍යාපනය ලැබීමේ දී අනුගමනය කළයුතු
ක්‍රමවේදයන් සතරාකාර වේ.
කතාවක් ඉදිරිපත් කොට පාඩමක් ඉගැන්වීම කථාධාර අධ්‍යාපනය යි. පන්සිය පනස් ජාතක පොත
බෝසත් චරිතවල එකතුවකි. ජාතක කතාවලින් බෝසතාණන් බුදුබව ලබා ගැනීම සඳහා ගුණ දහම් පිරූ
අන්දම පැහැදිලි වේ. එක් ජාතක කතාවකින් පමණක් වුවත් කෙනෙකුගේ ජීවිතය සාර්ථක හා
වාසනාවන්ත කර ගැනීම සඳහා ලබාගත හැකි ආදර්ශ හා උපදේශ බොහෝ ය. ජීවිත ගමනේ දී අපට
මුහුණ දීමට සිදුවන නොයෙක් දුෂ්කරතාවන් ජය ගැනීමටත්, අයහපතෙහි නො යෙදෙමින් යහපතෙහි
යෙදීමේ වටිනාකම පිළිබඳවත් වැදගත් පාඩම් ඒ අතර වේ.
බෝසත් චරිත ගැඹුරින් විමසා බලන විට පෙනීයන්නේ හැම අතින් ම ඒවා පිරිසුදු මෙන් ම
ආදර්ශවත් බවකි. වර්තමාන සමාජයේ ජීවත්වන බොහෝ අයගේ ජීවිතවලින් ලබාගත හැකි ආදර්ශ විරල
ය. එයට හේතුව මතුපිටින් දක්නට ලැබෙන විසිතුරු බව තම ඇතුළත දක්නට නො ලැබීම යි. මේ
නිසා ම අවිචාරවත් චරිත අනුකරණය කිරීම හේතුවෙන් මනුෂ්‍ය ජීවිතයේ තිබෙන වටිනාකම
අවතක්සේරුවට ලක් ව ඇත.
චිත්‍ර පෙන්වා ඒ මගින් කරන ඉගැන්වීම දෘශ්‍යාධාර අධ්‍යාපනය යි. පුරාණ විහාර ගෙයකට
ගිය විට එක් බිත්තියක බිතු සිතුවම් අතරින් අපා දුක් විඳීන අයත්, අනෙක් බිත්තියේ
තවත් පැත්තක දිව්‍ය ලෝකවල දිව්‍ය සම්පත් විඳීන අයුරුත් සිතුවම් කර ඇත. පන්සලට ගොස්
විහාර ගෙය තුළට ගිය පුද්ගලයාට පස්පව් දස අකුසල් කොට අපායේ දුක් විඳීන පුද්ගලයින්
දුටු විටත්, ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් සිදුකොට දිව්‍ය ලෝකයට ගොස් දිව්‍ය සම්පත්
විඳීන පුද්ගලයින් දුටු විටත් සිතේ ඇතිවන්නේ අමරණීය සටහනකි. පොත්පත් කිහිපයක් කියවා
ලබන දැනුමටත්, දෙසුම් කිහිපයකට සවන් දීමෙන් ලබන දැනුමටත් වඩා දෘශ්‍යාධාර
අධ්‍යාපනයෙන් ලබන දැනුම ඉතා බලවත් ය.
යමක් කියා දී අසන්නට සැලැස්වීමෙන් කරන ඉගැන්වීම ශ්‍රව්‍යාධාර අධ්‍යාපනය යි. මෙහි දී
දේශකයාට ශ්‍රාවකයාගේ සිතෙහි බලපවත්වන කෙලෙස්වල ක්‍රියාකාරීත්වය පිළිබඳ එක්තරා
ප්‍රමාණයක හෝ අවබෝධයක් තිබිය යුතු ය. මාතෘකාවට අදාළ යම් දෙයක් පෙන්වා අසන්නට සලස්වා
කරනු ලබන ඉගැන්වීම දෘශ්‍ය ශ්‍රව්‍යාධාර අධ්‍යාපනය යි. වත්මන් සමාජය මිනිස් ගුණ දහම්
පසෙක ලා මිල මුදල් ආදිය කෙරෙහි පමණක් ම විශ්වාසය තබා ක්‍රියා කරන බවක් පෙනෙන්නට ඇත.
ගුණාත්මක අංශයෙන් පිරිහීම වේගවත් වී ඇත. යහපත් සමාජ සම්මත සාරධර්ම වනාන්තර ගත ව ඇත.
නීතිය, සාමය, සමාජ සාධාරණත්වය වෙනුවට දූෂණය, වංචාව ආදී නුගුණවලට සමාජමය වටිනාකමක්
ලැබී ඇත. මෙය ගුණාත්මක අංශයෙන් මහත් සෝදාපාළුවකි. මේ තත්ත්වය බෞද්ධ රටකට කොහෙත් ම
සුදුසු නොවේ.
බුද්ධ ධර්මය විෂයයක් විදියට ඉගෙන ගෙන විභාග සමත්වීම පමණක් ප්‍රධාන බලාපරොත්තුව
නොවේ. පොදුවේ සලකා බලන විට අධ්‍යාපනයෙන් අපේක්ෂා කරනුයේ මනා පෞරුෂයෙන් හෙබි, ජය
පරාජයට එක සේ මුහුණ දිය හැකි, තම තමන්ගේ ජීවිත කරා එළැඹෙන විවිධාකාර වූ අභියෝගයනට
මුහුණ දිය හැකි ශක්තිමත් පුද්ගලයකු බිහි කිරීම යි. බෞද්ධ අධ්‍යාපනයෙන් අපේක්ෂා
කරන්නේ සාමාන්‍ය අධ්‍යාපනයෙන් අපේක්ෂා කරන මනා පෞරුෂයෙන් හෙබි පුද්ගලයෙකුටත් වඩා
තවත් ඉදිරියට ගිය මනා දැහැමි පෞරුෂයෙන් හෙබි පුද්ගලයකු සමාජයට දායාද කිරීම යි. තවත්
ගැඹුරින් කල්පනා කර බලන විට පැහැදිලි වන්නේ ගුණාත්මක හා චර්යාත්මක අගැයීම් ඇති,
පන්සිල් අගයන හා සුරකින දැහැමි පුරවැසියකු සමාජයට දායාද කිරීම යි.
විද්‍යාවේ හා සන්නිවේදන තාක්ෂණයේ දියුණුව නිසා ලෝකය වඩාත් සිය නිවසට සමීප වී ඇත.
ලෝකයේ එහා කෙළවරේ වන සිදුවීමක් වුවත් සිදුවීමේ ස්වභාවය සභ්‍ය හෝ අසභ්‍ය වුවත්
සැණෙකින් අපට දැන ගන්නට දැක ගන්නට පහසුකම් සැලැසී ඇත. මෙය මහත් අභියෝගයකි. දියුණු
සන්නිවේදනය පාලනය කිරීමට අපට හැකියාවක් නැත. පාලනය කර ගත යුත්තේ අප අපම ය. මේ සඳහා
සවිමත් බොදු පදනමක් ළමා වියේ පටන් අප සතුව තිබිය යුතු ය. නව යොවුන් වියට පා තබන අපේ
දරුවන් මෙකී අභියෝගයනට අභීත ව මුහුණ දිය හැකි ආකාරයෙන් සන්නද්ධ කිරීමට නම් බෞද්ධ
දර්ශනය ගැඹුරින් හැදෑරිය යුතුව ඇත. දැනුම, ආකල්ප හා කුසලතා යන ගුණාංගයන් වර්ධනය කර
ගත යුතුව ඇත. එවිට ඵලදායී ආයෝජනයක් සිදුවෙයි.
ශ්‍රී ලාංකේය ඉතිහාසය පුරාවට ම රට, ජාතිය හා ආගම පරාධීනව, දුර්භාග්‍යපන්න ව හා
අඳුරුව පැවති කාලපරිච්ඡේදවල දී එම ව්‍යසනයන්ගෙන් රට, දැය හා සමය මුදාගෙන, ඒ තෙරුවන
ඉහළට ඔසවා තැබීමට දිවිපරදුවට තබා ක්‍රියා කළ යුගකාරක ගිහි - පැවිදි වීරෝත්තමයන්
බිහිවීම ලාංකේය ඉතිහාසයේ කැපී පෙනෙන සුවිශේෂී ලක්ෂණයකි.
මිහිඳු මා හිමියෝ ලංකාවේ බුදු දහම ව්‍යාප්ත කිරීම සඳහා ත්‍රිවිධ ශාසනය ම ව්‍යාප්ත
කළහ. ධර්මදේශනා කිරීමෙන්, ධර්මය ඉගෙන ගන්නට අවස්ථාව සලසා දෙමින්, ධර්මධරයන් ඇති
කරවාලීමෙන් පර්යාප්ති ශාසනය ද, උගත් දහම් සිය දිවියට සම්බන්ධ කැර ගැනීමෙන්,
ප්‍රතිපත්ති පූරණයෙහි යෙදෙමින් ක්‍රියා කරන සුපිළිපන් සිවුපිරිස ඇතිකරවාලීමෙන්
ප්‍රතිපත්ති ශාසනය ද, සතරමග සතරඵල ලත් ආර්ය ශ්‍රාවකයන් ඇති කිරීමෙන් ප්‍රතිවේධ
ශාසනය ද යන ත්‍රිවිධ ශාසනය ම මහින්දාගමනයෙන් මෙ ලක්දීව්හි පිහිටුවා වදාළ සේක.
උගත්කමට වඩා හැදිච්චකමට මුල්තැන දී ක්‍රියා කිරීම බෞද්ධ අධ්‍යාපනයෙහි මූලධර්මයකි.
යමෙකු තුළ බෞද්ධ හැදියාව ඇත්නම් පවට බිය උපදවා එයින් වැළකී, පිනට ප්‍රිය උපදවා එහි
නියැළී කටයුතු කිරීමට උත්සාහ කරයි. පුරාණයේ සිට පැවත එන උතුම් සමාජ සාරධර්ම අගැයීමට
ලක් කරන්නේ ද ශක්තිමත් බෞද්ධ පසුබිමක් ඇත්නම් පමණි. පරිසරයට, ගහ කොළට, සතා
සිවුපාවාට ආදරය කරුණාව දක්වන්නේ ද මෘදු මොළොක් හදවතක් ඇත්තෝ පමණි. දෙමාපියනට
සැලකීම, වැඩිහිටියනට ගරුසරු දැක්වීම, ගිලනුන්ට උවටැන් කිරීම, අසරණ සරණ සේවා
ක්‍රියාකාරකම්වල යෙදීම හා ප්‍රජා සත්කාර සේවාවල යෙදීම, බෞද්ධ සාරධර්ම අගයන, පිරිසක්
බිහිවන්නේ බෞද්ධ පසුබිමක් තුළ මනා ශික්ෂණයක් ලැබුවොත් පමණි. |