Print this Article


 කුසල් සිත් වැඩෙන සුවදායක පරිසරය

 කුසල් සිත් වැඩෙන සුවදායක පරිසරය

මේ දවස්වල අපි වැඩි වැඩියෙන් අප ජීවත්වන අවට පරිසරය ගැන කථා කරනවා. ඒකට එක හේතුවක් තමා ඒ තරමට ම අප ජීවත්වන මේ පරිසරය හැම පැත්තකින් ම හානිකර තත්ත්වයට පත් ව තිබීම.

දැනට පවත්නා පරිසර හානිකර තත්ත්වයන් ඉදිරියටත් මේ ආකාරයෙන් ම ක්‍රියාත්මක වුවහොත් අපේ රටවල ජනතාවට පවා අවශ්‍ය ඔක්සිජන් වාතය පිළිබඳ හිඟයකට මුහුණ දීමෙන් ඔක්සිජන් සහිත පැකට්ටුවක් ශරීරයේ රඳවා ගෙන විශේෂයෙන් ජනාකීර්ණ නගරවලට ඇතුළු වී , අවශ්‍යතාවන් සපුරා ගන්නට තරම් තත්ත්වයක් ඇති වෙන්නට හැකි බව තතු දත්තවුන් දැන් දැන් පෙන්වා දෙනවා.

අද දියුණු යි කියන ඇතැම් රටවල දැනටමත් මේ තත්ත්වය උදා වෙලා. නිදසුනක් වශයෙන් චීනයේ පීකිං වැනි නගරවල මේ තත්ත්වය උද්ගත වී ඇති බව පෙනී යනවා.

මේ තත්ත්වයට ප්‍රධාන හේතුව වනගහණය ක්‍රමයෙන් අඩුවෙමින් පැවතීම යි. ස්වභාව ධර්මයේ ම දායාදයක් වන කඩොලාන පරිසරය ද අද නාගරිකරණය නිසා ක්ෂය වීගෙන යන තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. ඉතින් වනයේ ඇති සුන්දරත්වය පමණක් නොව එහි මිනිස් ජීවිතයට ඇති බලපෑම අප හොඳීන් ම අවබෝධ කර ගතයුතු වෙනවා. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක අපට උගන්වා වදාළේ ” කෙලෙස් නමැති වනය සිඳ බිඳ දමා විනාශ කළයුතු වුවත් ගස් කොළන් විනාශ නො කළ යුතු ” (වනං ඡින්දථ මා රුක්ඛං)යන අදහස මතුපිටින් එක්වර ම අපට පෙන්වා දෙනවා. මෙහි දී බුදුරජාණන් වහන්සේ ගසක ඇති අගය වෙන් කොට දක්වා තිබෙනවා. ගස් වැල් අපට පිරිසුදු වාතය , ජලය , වැස්ස, සෙවණ ලබා දෙනවා. ගහකොළවලින් ගහණ වුණු වනය මොනතරම් සුවදායක වෙනවා ද කියන කාරණය අප කාටත් ඉතා පැහැදිලි සත්‍යයක්. මේ නිසා තමා අපේ බුදුරජාණන් වහන්සේ වරක් කොසඹෑ නුවර වාසය කළ කාලයේ එහි විසූ භික්ෂූන් වහන්සේලා අතර විනය කරුණක් සම්බන්ධ ව පාරිලෙය්‍ය වනයට වැඩම කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ හරියට ම වස් තුන්මාසය ම එහි වැඩ වාසය කළ බව අපේ බණපොත්වල සටහන් වෙලා තිබෙනවා. එයින් පැහැදිලි වන්නේ මිනිස් වාසයටත් වඩා ගහකොළ සමඟ වාසය කරන එක සුවදායක යි කියන මේ කාරණය යි.

බුද්ධත්වයෙන් දසමසක් ඉක්මවන කාලයට එනම් මැදින් පුර පසළොස්වක දා රජගහනුවර සිට කිඹුල්වත් නුවරට වැඩම කිරීමට ආරම්භ කරන්නේ අද වැනි දවසක යි. එදා උන්වහන්සේ සිදුහත් බෝසත් රජකුමරු වශයෙන් රාහුල කුමරු උපන් දින රාත්‍රියේ ගිහිගෙයින් නික්මුණේ හුදකලාව යි. උන්වහන්සේ සමඟ එදා ඒ ගමනට එක්වූයේ ඡන්න ඇමතිවරයා පමණ යි. එහෙම වුණ ත් මෙදා හේමන්ත සෘතුවේ මුල්ම පුන්පොහොය දිනය දා මෙසේ කිඹුල්වත් නුවර බලා පිටත් වන්නේ විසි දහසක් වූ මහරහතන් වහන්සේලා සමඟ යි. සුද්ධෝදන රජතුමා නවවාරයක් ම දහසක් බැගින් පිරිවර ලබා දී රජගහනුවර වැඩ සිටි බුදුරජාණන් වහන්සේ වැඩම කරවා ගැනීමට ආරාධනා කරමින් ඇමතිවරුන් නව දෙනෙකු පිටත් කර හැරියා. එහෙම වුණත් එසේ ගිය හැම ඇමතිවරයෙක් ම ඒ පිරිවර දහස සමග බුදුරජාණන් වහන්සේ හමුවීමට කිඹුල්වත් නුවරට ගොස් බණ අසා පැවිදි වී රහත් මගට පිළිපන්නා. රජතුමා වෙනුවෙන් භාරගත් ආරාධනාව බුදුරජාණන් වහන්සේ වෙත ලබා දුන්නේ නැහැ.

අවසානයේ දහසක් පිරිවර දී යැවුවේ කාලුදායි ඇමතිවරයා යි. ඉතින් ඒ ඇමතිවරයා ගමන පිටත් විමට පෙර සිට ම සුද්ධෝදන රජතුමාගෙන් අවසරයක් ලබා ගත්තා ආරාධනාව බුදුරජාණන් වහන්සේ ට නො වරදවා ම ලබා දෙන බවට ත් එහෙම වුණත් තමන්ට ඒ දහසක් පිරිවර සමග පැවිදි විමට අවශ්‍ය බවට ත්. රජතුමා ඊට අනුමැතිය ලබා දුන් පසු ඒ විදියට ම කිඹුල්වත් නුවරට දහසක් පිරිවර සමග ගොස් පැවිදි බව ලබා බණ අසා බුදුරජාණන් වහන්සේට ආරාධනාව භාර දුන්නා. මේ ආරාධනාව භාර දුන් ආකාරය අතිශයින් සිත් ගන්නා බවක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ සවසනා සකලක්ලේසයන් ප්‍රහීණ වූ, අතිපරිශුද්ධ උත්තමයන් වහන්සේ නමක වුවත් උන්වහන්සේ පවා මේ කිඹුල්වත් නුවරට යන ගමනට සිත් ඇදගන්නා ආකාරයේ අපූරු වැනුමත් ඉදිරිපත් කරමිනු යි. මේ වැනුමට විෂය වන්නේ කිඹුල්වත් නුවර සිට රජගහනුවර දක්වා වූ සැට යොදුන් මාර්ගය යි. ඒ මාර්ගය කෙතරම් දුරට බුදුරජාණන් වහන්සේගේ ගමනට සූදානමක් පෙන්නුම් කරනවා ද යන මේ කාරණය පැහැදිලි වන්නේ ඒ මග දෙපස පිළිබඳ ව කෙරෙන අපූරු වැනුම තුළිනු යි.

මේ සැට යොදුන් මග බුදුරජාණන් වහන්සේට වැඩමවන්නට සිදුවන්නේ දවසකට යොදුන් දෙක බැගිනු යි. ඉතින් මග දෙපස අපුරුවට පිළියෙල වෙමින් තිබුණා. කාලුදායි ඇමතිවරයා පවසන අකාරයට දැන් මැදින් පොහොය එළඹිලා. ගස්වල පැරණි කොළ ඉදිලා. ඒ සියල්ල බිමට වැටිලා. අලුත් දලු රත් පැහැයෙන් හටගනිමින් පවතිනවා. ඒවා හරියට ගිනිදලු වගෙයි ඈතට පනෙන්නේ. ගස්වල මල්පිපිලා බබළනවා.

තැනින් තැනින් මල් පොහොට්ටු මතුවෙමින් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ පා ගමනින් වඩින කොට ඒ මල්වලින් නිකුත්වන සුගන්ධ වාතය පවනට මුසුවෙලා මනා සිසිලසක් ද ගෙන දෙමින් හමනවා. පිපී පර වී ගිය මල්වලින් නැගෙන අංකුරයන්ගෙන් ඵල හට ගන්නවා ගැනීමේ අපේක්ෂාවෙන් බැබළෙනවා. දැඩි ශීතලක් හෝ උණුසුමක් දැනෙන්නේ නැහැ. පවන බොහොම මුදුසුමුදු පහසක් ලබා දෙනවා. මේ ගමන වඩින විට දකින්නට ලැබෙන කුඹුරු යායවල ගොවියෝ ඉදිරි කාලයේ මහත් අස්වැන්නක් අපේක්ෂාවෙන් සීසාමින් සිටිනවා. බීජ වපුරමින් පසුවෙනවා. ඒ වපුරපු බීජ හටගෙන නීරෝගි අස්වැන්නක් ලබා දෙනවා. රට තොට ගොවිතැනින් බතින් සරු වෙනකොට යමක් නැති යාචක පිරිස් ගොවිතැනින් සරු ගෙහිමියන් කරා යන්නේ මේ කාලයේ යමක් ලබා ගෙන තමන්ගේ කුසගිනි නිවා ගන්නට යි. ඉතින් ධනධාන්‍යයෙන් සරු වූ ගොවියෝ තමන් වෙත පැමිණෙන යාචකයන්ට හම්බ කර ගත් දෙයින් යමක් දීලා සතුටට පත් වනවා. දන්දීමෙන් ලැබෙන පින් සිත නිසා දිව්‍ය ලෝකයන්හි උපත ලබන්නට හේතු වෙනවා. ඉතින් යම් කුලපරපුරක යම් ශ්‍රේෂ්ඨ ප්‍රඥාවන්තයෙක් ඉපදී, සත්මුතු පරම්පරාව දක්වා ම පාරිශුද්ර්‍ධත්වයට පත්ව ප්‍රතිපත්ති පුරා සියලු පාපි ධර්මයන් අවසාන කොට දේවාතිදේව තත්ත්වයට පත් වූණා ද, ඒ සම්මා සම්බුද්ධ වූ බුදුරජාණන් වහන්සේට දැන් සුදුසු කාලය එළඹිලා තිබෙනවා තමන් වහන්සේගේ පිය රජතුමා දැක්මට. කාලුදායි තෙරුන් විසින් කරන මේ විස්තරය අතිශයින් සිත් ඇද ගන්නවා.

අවසානයේදී කාලුදායි හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා එවැනි බුදුපුතෙක් ලොවට බිහිකළ මහාමායා දේවිය මේ වනවිට දිව්‍යසම්පත් විඳින බව. ඉතින් ගාථා හැටකින් වර්ණනා කරන මේ විස්තරයෙන් පසු බුදුරජාණන් වහන්සේ ඒ විසිදහසක් වූ ක්ෂීණාශ්‍රව මහරහතන් වහන්සේ පිරිවරාගෙන කිඹුල්වත්නුවරට වැඩම කිරීම මෙම මැදින් පුර පසළොස්වක දිනයෙන් ඇරඹෙනවා.

කාලුදායි මහරහතන් වහන්සේ විසින් කරන ලද මේ මාර්ග වර්ණනාව හුදෙක් සාහිත්‍ය රසිකයෙකු විසින් කරන වර්ණනාවක් පමණක් සේ ලඝු කොට සලකන්නට හැකියාවක් නැහැ. බුදුරජාණන් වහන්සේට මෙ කරනු ලබන ආරාධනාව මොන තරම් අර්ථවත් දෙයක් ද කියන කරුණයි මෙහි දී ඉස්මතු වන්නේ. මේ වඩින්නට ආරාධනා කරන්නේ දරුවෙකු විසින් තමන් යම් තැනකට පත් වූ පසු ඒ තැනට තමන් ඔසවා තැබීමට ශක්තිය වූ මව්පිය දෙපළට කළයුතු ගරුබුහුමන ප්‍රදර්ශනය කිරීමට යි. පශ්චිම ජනතාවට එය ආදර්ශයක් වන නිසයි. අලුතෙන් දලු ලන ගස්වැල්වල පවතින ඒ අහිංසක සුන්දරත්වය මනසට දෙන සහනය වගේ ම ඵල හට ගැනීමට පෙර මතුවෙන මල ආරක්ෂා කර ගත් පසු එයින් ලැබෙන ගෙඩි පලවැල් සත්වයා ජීවත් කරවීමට දෙන උදව්ව, ඒ වගේම තමා සරුබිමෙහි රෝපණය කරන බීජවලින් හට ගන්නා පැල මෝදු වෙලා, තරුණ වෙලා, පළ බර වෙලා හොඳ අස්වැන්නක් ලබා දෙන කොට රට සශ්‍රීක වන හැටි, ඒ විතරකුත් නොවේ, ධාන්‍ය අස්වැන්න බහුල වෙනකොට ගෙහිමියන් දයාව, කරුණාව මුල් කරගෙන තමන් වෙත පැමිණෙන යාචකයින්ට තමන් උපයා ගත් දෙයින් කොටසක් පරිත්‍යාග කර ලබන සතුට, කුසලය තමන්ගේ පරලොව සුගතියට හේතු වන ආකාරය යන මේ විස්තර ඉතා වැදගත් දහම් පාඩමක් බවට පත් වී තිබෙනවා. මේ සියල්ලට බලපෑවේ පරිසරය යි. ඉතින් පරිසරය සුවදායක ව පවත්වා ගැනීම හැම හිත සුව පිණිස හේතුවන ආකාරය බුදුරජාණන් වහන්සේගේ දහම අනුව ගිය කාලුදායි හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට ම පැහැදිලි කරලා දෙන අපූර්වත්වය යි මෙහි දී අප සිත් ගන්නේ. එවැනි පරිසරයක ජීවත්වන ජීවියාට කිසිදු අපහසුතාවකින් තොරව ජීවත් වීමේ හැකියාව පවතිනවා. ඒ නිසා අප රකින පරිසරය අපි රැක ගනිමු.