බුදුරදුන් උපන් ගමට වැඩම කළ
මැදින් පුන් පොහෝ දා
දෙහිවල
ශ්‍රී සුදර්ශන ධර්මනිකේතනාධිපති
ශාස්ත්‍රපති
ලේල්වල සමිත හිමි
ගිහි ගෙය හැර ගිය තම පුතු ගැන නිති තොරතුරු සොයමින් සිටි සුද්ධෝදන මහ රජු හට
දූතයන්ගෙන් නිශ්චිත තොරතුරක් ලැබුණේය. ඉන් කියැවුණේ සිදුහත් කුමරුන් බුදු බව ලබා
ශ්‍රාවකයන් පිරිවරා ගෙන මගධ දේශයේ රජගහනුවර වැඩවසන බවයි. ඉන් මහත් ප්‍රමෝදයට පත්
රජු දහසක් පිරිවර සහිත ව ඇමතිවරයෙකු බුදුරදුන් වෙත යැවුයේ උන්වහන්සේ කැඳවාගෙන එනු
පිණිස ය.
ඔහු ගියා ගියා ම ය. ආපසු ආවේ නැත. රජු මේ ආකාරයෙන් නව වාරයක් ම පිරිවර දහස බැගින්
දී දූතයන් යැවුව ද රජුගේ අභිලාෂය ඉටු වූයේ නැත. අධෛර්යයට පත් නොවු රජු සිදුහත්
කුමරු සමඟ එක දා උපන් කාළුදායි අමාත්‍යයා කැඳවා ඔහුට ද පිරිවර දහසක් දී තම
බලාපොරොත්තුව ඉටු කරන ලෙස ඉල්ලා සිටියේ ය. පැවිදි වීමට අවසර දෙතොත් බුදුරදුන්
කිඹුල්වතට කැඳවාගෙන එමි’යි හේ රජුට කී ය. රජු ඊට අවසරය දුන්නේ ය. රජගහ නුවරට ගිය
දූත පිරිස මීට පෙර එහි ගිය අය කළ පරිදිම සසුන්ගත වූහ.
කාළුදායි හිමියන් බලා සිටියේ පිය මහරජුගේ ඉල්ලීම බුදුරදුන්වෙත ඉදිරිපත් කිරීමට
සුදුසු අවස්ථාව එන තුරු ය. වසන්ත කාලය එළැඹෙමින් තිබිණ. බුදු හිමියන් වෙත ගිය
කාළුදායි හිමියෝ” අංගාරිනෝදානි දුමා භදන්තේ .....”
යනාදී වශයෙන් ගාථා රැසකින් රජගහ සිට කිඹුල්වත දක්වා මඟ වැණුමක් කොට ‘මහා වීරයන්
වහන්ස, භගීරථ දේශයට (කිඹුල්වතට) වැඩීමට මේ සුදුසු කාලය’ යි දැන්වූහ. (සමයෝ මහාවීර
භගීරථානං”)
ඇරයුම පිළිගත් බුදුහිමියෝ විසිදහසක් සඟුන් පිරිවරා සැටයොදුන් මග ගෙවා මැදින් මස
පුන් පොහෝ දා කිඹුල්වතට වැඩම කළහ. ශාක්‍යයෝ මග දෙපස පිරී සිටියහ. වයසින් අඩු අය
බුදුරදුන්ට වැන්දත් වයසින් වැඩිහිටියෝ නොවැන්දහ. ශාක්‍යයන්ගේ මේ මානය බිඳීමට බුදුහු
යමාමහ පෙළහර පෑහ. සතුටු සිතින් නෑයෝ ගියහ. දනට ඇරයුමක් නොවූයෙන් බුදුහිමියෝ පසු දින
සඟුන් පිරිවරා ගෙපිළිවෙළින් පිඬු පිණිස ගියහ.
ඒ බව දැනගත් සුද්ධෝදන රජු ඊට තම අප්‍රසාදය පළ කළ ද මේ බුද්ධ වංශයේ පිළිවෙත බව
පැහැදිලි කරමින් දෙසූ දහම් අසා රජු සෝවාන් විය. පසුව රජ මැදුරට ගොස් දන් වළදා රජුට
මහ ධර්මපාල ජාතකයත්, යශෝධරාවට සඳකිඳුරු ජාතකයත් වදාරා ආපසු වඩිද්දී දායාද ඉල්ලා
පසුපස පැමිණි රාහුල කුමරු විහාරයට කැඳවාගෙන ගොස් පැවිදි කරවූහ.
තුන්වන දිනයේ විවාහය ගෙවැදීම හා ඔටුනු පැළඳීම යන තෙමඟුල් යෙදි තිබිය දී නන්ද කුමරු
විහාරයට කැඳවාගෙන ගොස් පැවිදි කරවූහ. ඉන් සංවේගයට පත් පිය රජුගේ ඉල්ලීම නිසා මව්පිය
අවසර නොලද දරුවන් පැවිදි කිරීම තහනම් කරමින් විනය නීතියක් ද පැනවූහ.
පියරජු අනාගාමී වීම හා සුළු මව සෝවාන් වීමත්, නිග්‍රෝධාරාම පූජාවත්, ශාක්‍ය හා
කෝලිය දෙපිරිසෙන් කුලදරුවන් පන්සියයක් සසුන්ගත වීමත් නිසා මැදින් පුන් පෝ දිනය
බෞද්ධයන්ට ශාසනික වශයෙන් ඉතා වැදගත් බව සඳහන් කළ හැකි ය. |