Print this Article


මඳ මඳ වුව ද කුසල් රැස් කරන නැණවතා පිනෙන් පිරේ

මඳ මඳ වුව ද කුසල් රැස් කරන නැණවතා පිනෙන් පිරේ

" පරලොව දී අපට සිටින එකම මිතුරා ද පින පමණි. පින සහ කුසලය අතර වෙනසකි. පින සුගති සැපය ලබාදෙන අතර, කුසලය නිවන් සැප සඳහා උපනිශ්‍රය වේ."

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

න පමඤ්ඥේථ පුඤ්ඤස්ස
නමංතං ආගමිස්සති
උදබිංදු නිපාතෙන
උදකුමෙහාපි පුරති
පුරති ධීරෝ පුඤ්ඤස්ස
ථොක ථොකමපි ආචිනංති

සුපින්වතුනි,

බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි බිළාල පාදක සිටුවරයා නිමිති කරගෙන දේශනා කරන ලද ඉහත ගාථාවෙන් අදහස් කරනුයේ, “පින අල්පයැයි නොසිතන්න. බුදු පාමොක් මහ සඟනට දන් දී අල්පයැයි නොසිතන්න. පින් කරන විට ජල බින්දු එකතු වී භාජනයක් පිරෙන්නා සේ පින ද සම්පූර්ණ වේ” යන්නයි.

සැවැත්නුවර වැසියන් කොටස් වශයෙන් බෙදී මහ සඟරුවනට දන් දුන්හ. බුදුරජාණන් වහන්සේ මෙම සැදැහැති පිරිසට අනුදැන වදාළේ,

සමහරු තනිව ම දන් දී භෝග සම්පත් ලබති. පිරිවර සම්පත් නොලබති.

තවත් පිරිසක් තනිවම දන් නොදෙති. අනුන් ඒ සඳහා සම්මාදන් කරවති. ඔවුහු භෝග සම්පත් නොලබති. පිරිවර සම්පත් ලබති.

තව කෙනෙක් තනිව ම දන් නොදෙති. අනුන් ද ඒ සඳහා සම්බන්ධ කර නොගනී. ඒ අය භෝග සම්පත් හා පිරිවර සම්පත් යන දෙකම නොලබති.

තවත් පුද්ගලයෙක් තමා ද දන් දෙමින් අන් අය ද සම්බන්ධ කර ගනු ලබයි. ඒ ඇත්තෝ භෝග හා පරිවාර සම්පත් යන දෙකම ලබති.

බුදුරදුන්ගේ දේශනාව ශ්‍රවණය කළ එක් සැදැහැවත්, කුල පුත්‍රයෙක් බුදුපාමොක් මහ සඟනට දානයක් පූජා කිරීම සඳහා ආරාධනාකොට ගෙන් ගෙට ගොස් දානෝපකරණ රැස් කළේ ය. එක් සිටුවරයකුගේ වෙළෙඳ සැළට ගොස් මේ බව සැළකළ පසු ඔහු ඇඟිලි තුනට හසුවන ඉතා සුළු ප්‍රමාණයක් දන් දුන්නේ ය. පසුව මේ සිටුතෙමේ දන් දුන් ආහාරවල ප්‍රමාණය ගැන සිතා, මගේ නුගුණ කියා පෑවොත්, දානය සංවිධානය කරනු ලබන කුල පුත්‍රයාගේ ජීවිතය විනාශ කර දමන බව පවසා බුදු පාමොක් මහ සඟනට දානය පූජා කරනු ලබන අවස්ථාවට සහභාගී වී ඒ දෙස බලා සිටියේ ය. එහෙත් සිදුවූයේ ඔහු අපේක්ෂා නොකළ දෙයකි. නැලි ආදියෙන් දන් දුන් අයටත්, ඇඟිලි තුඩු ආදියෙන් දන් දුන් අයටත්, මහත් ඵල වේවා’යි ප්‍රකාශ කළේ ය. මේ දුටු සිටු තෙමේ දානය සංවිධායකගෙන් වැඳ සමාව ගත්තේ ය. මේ කාරණය බුදුරජාණන් වහන්සේට සැළවීමත් සමග ම, ඉහත ගාථාව දේශනා කරමින් පින ටික ටික රැස් කරමින්, විශාල පිනක් ලබා ගැනීමට හේතුවන බවත් අනුදැන වදාළහ.

පින යනු කුමක්ද?

“චිත්තං පූනාතීති පුඤ්ඤං”

සිත පිනා යාම පිනයි. සිතේ ඇතිවන සතුට මෙහිදී පින වශයෙන් අදහස් වේ.

“පුඤ්ඤානි පරලෝකස්මිං පතිට්ඨා හොන්ති පාණිනං”

පින පරලොව හිත සුව පිණිස පවතී. පරලොව දී අපට සිටින එකම මිතුරා ද පින පමණි. පින සහ කුසලය අතර වෙනසකි. පින සුගති සැපය ලබාදෙන අතර, කුසලය නිවන් සැප සඳහා උපනිශ්‍රය වේ.

පින් කිරීම නිසා සප්තකව ම ස්වර්ගයන්හි උපත ලැබෙන අතර, සමථ භාවනාව වඩා ධ්‍යාන සම්පත්තින් උපදවාගෙන බ්‍රහ්ම ලෝකවල උපත ලද හැකි ය. පින් කරන ඇත්තෝ සුගතියෙන් සුගතියට උපත ලබති. දිව්‍ය ලෝකවල දිව්‍ය සම්පත්, මනුෂ්‍ය ලෝකවල මනුෂ්‍ය සම්පත් අපේක්ෂාවෙන් සිදු කරනු ලබන යහපත් ක්‍රියා පින්කම් ගණයට ගැනේ.

“සබ්බ පාපස්ස අකරණං...” යන ගාථාවෙන් කියැවෙන පරිදි සියලු බුදුවරයන් වහන්සේලාගේ අනුශාසනය වන්නේ සියලු පාප කර්මයන් අතහැර කුසල් සිත දියුණු කර ගැනීමටයි. දිව්‍ය මානුෂික සම්පත් කෙළවර නිවන් සැපත අවබෝධ කර ගැනීම සෑම බෞද්ධයකුගේ ම අපේක්ෂාව වේ. මේ සඳහා පින් කුසල් සිදුකරගැනීම අවශ්‍ය බව සිහිගන්වනු කැමැත්තෙමි.

සැමට තෙරුවන් සරණයි