Print this Article


පින් බිම පිවිතුරු කළොත් සසරෙදි දද, වන, පිළිකා, කුෂ්ඨ ඇති නොවේ

චෛත්‍යය මත ගස් කොළන් වැවී ඇතිනම් ඒවා ඉවත්කර දමා, සුදු පිරියම් කර, නැවත ප්‍රතිසංස්කරණය කළ යුතු යි.

මලුව වටා ඇති තණකොළ ආදිය ඉවත් කර දමා, සුදු වැලි අතුරා, පහනක් දල්වා විනාශ ව තිබුණු සෑ රදුන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීම, පිරිසුදු කිරීම වේ. මේවා කරන පින්වතුන්ට ලැබෙන පින සීමාවක් නැහැ. නිවන් දකිනා ජාති දක්වා ම සැප විපාක ලැබෙනවා.

කිසි දිනක කුෂ්ඨ , කබර, අපස්මාර, අතුල් පතුල් පැලීම්, සිරුර කැසීම්, දද, වන , පිළිකා, කුෂ්ඨ රෝග ආදියට ගොදුරු වන්නේ නැහැ. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින පුදබිමක් , පිරිසුදු කිරීම තවත් ආශ්චර්යවත්. සෑම භවයක දී ම දිව්‍ය මනුස්ස සම්පත් ද, ලප, කැළල් නැති ඉතාම පිරිසුදු, දර්ශනීය, රන් පැහැති සිරුරක් ද ලැබෙනවා, අමනාප , අපි‍්‍රය දෑ තමා කෙරෙහි බැහැරව යයි, පි‍්‍රය මනාප දෑ ම, සත්පුරුෂයෝ ම එකතු වෙයි. තමන්ගේ සිත ද පිරිසුදු ව තැන්පත් ව මනා කොට සංසිදී යයි. සසරේ අවසන් ආත්ම භාවයේ එක් ආසනයක ම සිට රහත් වෙයි. එසේනම් තුනුරුවන් වැඩ සිටින පුදබිම් පිරිසුදු කිරීමේ විපාකය කෙතරම්දැ’යි බලන්න?

පවංකර නමින් රහතන් වහන්සේ නමක් වැඩ විසුවා. උන්වහන්සේ කල්පයකට පෙර ඉහත ආත්ම භවයක කාර්මිකයෙකු වූවා. දිනක් ඇවිද යන විට, කාටවත් ළඟා විය නොහැකි, ජරාවාස වූ චෛත්‍යයක් දුටුවා. ඒ පියුමතුරා බුදුන් වහන්සේගේ චෛත්‍යය යි. එතුමා එය එළි පෙහෙළි කර, පිරිසුදු කර, අනවශ්‍ය ගස් කොළන් කපා දමා මලුව සකසා චෛත්‍යය බොහොම හොඳින් සකස් කරන්නට යෙදුණා. මේ පිනෙන් මෙතුමා මරණින් මතු දෙව්ලොව උපත ලබා, යොදුන් හැටක් උස, යොදුන් තිහක් පළල රන් විමානයක පහළ වී වාසය කළා. අවසන් ආත්ම භාවයේ ගෞතම බුදු සසුනේ පැවිදි වී පවංකර නමින් රහත් බවට පත් වුණා. බලන්න, තුනුරුවන් ගේ වතාවත් සුළු මොහොතක් කළත්. අනන්ත ජාතිවල සැප විපාක ලැබුවා.

ගමේ පන්සල විනාශ මුඛයට නොයවා සැවොම එකතුවී පිරිසුදු කළ යුතු යි. කැඩුණු බිඳුණු දෑ, සකසා, තණකොළ ඉවත් කර, සුදු වැලි ඇතිරිය යුතුයි. ඒ පිනෙන් දෙව් රැකවරණය , සංසාරෙම සැපයෙන් සිටින්නටත් ලැබෙයි. එසේනම් කවුරු වුණත් දාගැබක්, ප්‍රතිමාවක්, ධාතු මන්දිරයක්, ධර්ම ශාලාවක්, සංඝාවාසයක් ඇති කිරීමට වෙහෙස මහන්සි වීම විශාල පිනක්. කිසිදවසක පන්සලකට, කසාවතක් දරා සිටින භික්ෂුවකට දොස් කියන්න එපා. එසේ කළොත් දුගතිගාමී ව දුක් විඳින්නට වෙනවා.

චෛත්‍යයක කැඩී බිඳී තිබුණු තැන් බදාම යොදා සකස් කළ සැදැහැවතෙක් ඒ පිනෙන් අනූ හතර කල්පයක් ම දෙව් ලොව වාසය කළා. සසරේ අවසන් ආත්ම භාවයේ ගෞතම බුද්ධ ශාසනයේ ‘ඛණ්ඩපුල්ලියථෙර’ නමින් පැවිදි වී රහත් බවට පත් වුණා. එසේනම්, කරන පින්කම් ශ්‍රද්ධාවෙන් , ගෞරවයෙන්, ඕනෑකමෙන්, චිත්ත ප්‍රසාදයෙන්, කළ යුතු යි. ත්‍රිවිධ රත්නයට කරන පූජාව අනන්ත කාලයක් සැප විපාක ලැබෙනවා.

තම දිවිය සාපරාධී ලෙස ගෙවා නොදමා , දෛනික කටයුතු සේ ම පරලොව වෙනුවෙන් ද කාලය වෙන් කරන්න. ඒ සඳහා බණ , භාවනා කිරීම, පොත පත කියවීම, තුනුරුවන් වැඳීම කළ යුතු යි. කවුරු වුණත් සම්බුද්ධ ශාසනය උදෙසා ම ඇප කැපවී කටයුතු කළ යුතු යි.

පුරාතන උපාසිකා මාතාවන් බුද්ධ ශාසනය වෙනුවෙන් ම ඇප කැප වී කටයුතු කළා. කිසිවකින් අඩු පාඩු නොවන ජීවිත ලබා ගන්න පුළුවන්. මේ ගැන සිතා කල්පනාවෙන් පූජා විධි හොඳින් අනුගමනයෙන් , ලැබෙන අනුසස් ගැන සිතා, සතර අපායෙන් අත් මිදී මනුස්ස ලොවක ම සිට පාරමී ගුණ දියුණුවෙන් කටයුතු කළ යුතු යි.

බුද්ධ ශාසනයක් තුළ කටයුතු කරන විට, තණ්හාව, තරහව, වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යා, පහත් සිතිවිලි ඉවත් ව බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ කියමින් ම වතාවත් කළොත්, අලෝභ, අදෝස, අමෝහ, චේතනාවෝ පහළ වෙයි. මේවා පහළ කරගන්න අපහසු වුවත්, සිතෙහි පැහැදීමෙන් සතුටෙන් යමක් කළොත්, චේතනා තුන අනිවාර්යයෙන් පහළ කරගත හැකි යි. සම්මා සම්බුද්ධ ශාසනය ලොවේ සැමදාම පවතින්නේ නැහැ. අපේ වාසනාවටයි, මේ ලැබී තියෙන්නේ. ඒත් මනුස්ස ජීවිතයත්, බුද්ධ ශාසනයත් දෙක එකතු වුණේ බොහොම කලාතුරකින්. හැබැයි, නැවත බුද්ධ ශාසනයක් ලැබෙයි යනුවෙන් අපට සිතන්න බැහැ. මරණින් මතු කොහේ යයි’ද කියන්නට බැහැ. නැවත මනු ලොව, දෙව් ලොව , උපත ලබයි ද කියන්නට බැහැ. ඒ නිසා සිත සකසා ගත යුතු යි. එවිට මෙලොව ජීවිතය, සංසාර ගමන සරු සාර වෙනවා. ලබන්න තියෙන සියලු ලෞකික, ලෝකෝත්තර සම්පත් ලබන්න පුළුවන්කම තියෙනවා. මේ ගැන නිතර මෙනෙහි කළ යුතු යි. තම දරු මුනුඹුරන්ට ද මේවා කියා දිය යුතු යි. දරුවනි, පව් කරන්න එපා, පින් දහම් කරන්න, මවට පියාට සලකන්න. වැඩිහිටියන්ට සලකන්න, යනුවෙන් දරුවන්ට කුඩා කල සිටම සිතිවිලි ඇතුළු කරන විට, ඒ අය දරුණු නොවී වැඩිහිටියන්ට , මව්පියන්ට සලකනවා. එවිට දහමත් සමඟම අධ්‍යාපනය දියුණු වෙනවා. දරුවා අධ්‍යාපනයට පමණක් සීමා කළොත් ඒ අයගේ ගුණ ධර්ම කිසිවක් පිහිටන්නේ නැහැ.

අතීතයේ ද බුදු දහමත් සමඟ කටයුතු කර, සිත ගත සාදා ගත් නිසා තම ජීවිතය සරුසාරවත් කළා. සීලය, සමාධිය, ප්‍රඥාව, කරුණා, මෛත්‍රී , දයා , අනුකම්පා ගුණ දියුණුවෙන් වැදගත් උපදෙස් මාලාවක් බුදු දහමෙන් ලැබෙනවා.

මහා මංගල සූත්‍රයෙන් පාප මිත්‍රයෝ ඇසුරු නොකර කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, පිදිය යුත්තන් පිදීම ආදිය සඳහන් කරනවා. මේවා අනුගමනයෙන් ජීවිතය සරුසාරවත් වෙයි. බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේ ලොවේ උත්තරීතර තත්ත්වයට පත් වුණා. සියලුම සංසාර දුකෙන් නිදහස් වුණා. අප නැවත නැවත සසරේ උපත ලැබීම නතර කර ගැනීමට නම්, දානාදී පින් දහම් නිවන් සුව පතා කළ යුතු යි. මේ ගැන සිතන විට, කල්පනා කරන විට, සිතට ලොකු සතුටක් දැනෙනවා. ඒ සතුට ලබා ගත යුත්තේ අර්හත්වයෙන්. ඒ සඳහා සිතේ ඇති පව් සංසිඳුවා ගත යුතු යි. දස සංයෝජන එනම්, සක්කාය දිට්ඨි (තම සිරුර පිළිබඳ ඇති දෘෂ්ටිය), විචිකිච්චා (සැකය), සීලබ්බත පරාමාස(වැරැදි සීල සමාදානය), කාම රාග (පංච කාම වස්තූන් පිළිබඳ ඇති තෘෂ්ණාව), ව්‍යාපාද (තරහව), රූප රාග (රූපාවචර බඹතල උපදින්න ඇති ආශාව), අරූප රාග (අරූපාවචර බඹතලයේ උපදින්න ඇති ආශාව), මාන (මාන්නය), උද්දච්ච (සිතේ විසිරීම), අවිජ්ජාව (මෝඩකම) ආදිය රහත් වෙද්දී සම්පූර්ණයෙන් ම සිතෙන් බැහැරව යයි. දස සංයෝජන ඇති අප නැවත උපදිනවා. සසර බැඳ තබනවා. මේ ගැන හොඳ දැනුමක් ඇති කරගෙන, තම ගුණ ද වඩා වර්ධනයෙන් බුද්ධ ශාසනයත් ආරක්ෂා කරගෙන සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් මාර්ග ඵල ලැබිය යුතු යි. ඒ ගමනයි මෙලෙස සැරැසෙමින් ඉදිරියට යන්නේ.

ජීවිතයේ ඇති අඩුපාඩුකම් මඟ හරවා ගෙන හැකිතාක් සීලාදී ගුණ වර්ධනයෙන් පින්වන්ත, ගුණවන්ත ජීවිතයක් ආලෝකවත් කරගෙන ඉදිරියට යා යුතු යි. මේ ගැන දැනුම්වත් ව ශක්තිමත් ජීවිතයක් සකසාගෙන කිසිවකින් අඩු පාඩුවක් කරදරයක් නොවී සංසාර ගමනේ දුක් සහිත බව අවබෝධයෙන් මනුලොව , දෙව් ලොව යහපත්ව සිටිය හැකි බව තේරුම් ගෙන , කවර තැනක උපන්නත්, මිය යන බවත්, නැවත උපදිනවා යන සංඥාව ඇතිකරගෙන දුක්ඛ සත්‍ය , සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය යන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදු, පසේ බුදු, මහරහත් උතුමෝ නිවී සැනසී වදාළ, අජරාමර ශාන්ත ලෝකෝත්තර, අමා මහා නිවන් සම්පත් අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. මේ උතුම් පැතුම සිතෙහි පෙරදැරිව බුද්ධ ශාසනයේ කටයුතු කරගෙන යන්නට අධිෂ්ඨාන තබාගන්න.