Print this Article


පුරාණ ලංකාවේ බෞද්ධ කලා ශිල්ප 55: දීඝවාපි දාගැබ සහ පුදබිම

දීඝවාපි දාගැබ සහ පුදබිම

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ
සිරිසමන් විජේතුංග
පුරාවිද්‍යා Msc පර්යේෂණ

ශී‍්‍ර ලංකාවේ ද දාගැබ් නිර්මාණයේ සම්භවය සහ ඉතිහාසය පිළිබඳ මෙතෙක් අප දරා සිටි මත කිහිපයක් වෙනස් කරන, එසේම අප නොදත් වැදගත් කරුණු රාශියක් හෙළි කරන අගනා රන්කරඬු තුනක් සහ එයින් එකක තැන්පත් කර තිබූ රන්පත් සන්නසක් ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 1964 සොයා ගන්නා ලදී. එය දීඝවාපී දාගැබෙහි බටහිර වාහල්කඩ සංරක්ෂණය කිරීමේ දී හමු විය.

දීඝවාපියෙහි ඈත අතීතය පිළිබඳ විමසා

බලනවිට දීප වංසයේත්, මහා වංසයේත් සඳහන් වන තොරතුරු ඉතා වැදගත් ය. බුදුරජාණන් වහන්සේ තුන්වැනි වර ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී සුමනකූටය (ශ්‍රීපාදය) පා මුල දිවා කාලය වැඩ හිඳ ඉන්පසු දීඝවාපිය ට වැඩම කොට අද දීඝවාපී දාගැබ පිහිටි පුදබිමෙහි රහතන් වහන්සේලා සමඟ සමාපත්ති සුවයෙන් වැඩසිටි බව මහා වංසයෙහි සඳහන් වේ.

දීප වංසයෙහි සඳහන් කරන්නේ කැලණියට වැඩම කරවීමෙන් පසුව බුදුරජාණන් වහන්සේ දීඝවාපියට වැඩම කළ බව ය. දීඝවාපි චෛත්‍යය බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලද ස්ථානයක පිහිටුවා ඇති නිසා ලංකාවේ බෞද්ධ ජනතාවගේ අති උත්තම පුදබිමක් බව ට පත්වී ඇත.

(වල්ලිපුරම් රන්සන්නස සහ හෙළ උරුමය – සිරිසමන් විජේතුංග- පි. 88 දයාවංශ ජයකොඩි සහ සමාගම දෙවන මුද්‍රණය –2007)

ඉන්පසු කාලයේ දී දීඝවාපිය පිළිබඳ මහා වංසයේ මෙසේ සඳහන් වේ.

“භද්‍රකත්‍යානා දේවියගේ ලක්දිව ගමන් අසා මෑණියන් විසින් මෙහෙයවන ලද පුත්‍රයෝ එකෙකු තබා මෙහි අවුය. ආවාවු ඔව්හු පඬුවස් දෙව් නම් ලක් හිමියන් ද නැගණියන් ද දැක සමඟ හඬා ඒ බිසොවුන් විසින් හා රජු විසින් කරන ලද සත්කාර ඇත්තේ රජු අනුමැතියෙන් ලක්දිව් හි චාරිකා කළෝ ය. රිසි සේ නිවාස ද කළෝ ය. රාම කුමරහු විසූ තෙන රාමහෝන යැයි කියනු ලැබේ. උරුවෙලය, අනුරාධ යන දෙදෙනාගේ නිවාසයෝ ද එසේ උරුවේල ය, අනුරාධ ය කියනු ලැබේ. එසේ ම විජිතය දීර්ඝායු ය. රෝහණ ය යන මොවුන්ගේ වාසස්ථාන ද විජිතග්‍රාම දීර්ඝග්‍රාම රෝහණයැයි කියනු ලැබේ.

(මහාවංසය 9 වැනි පරිච්ඡේදය ගාථා 6-10 )

දීඝායු කුමරු හා දීඝවාපිය අතර සබඳතාවයක් ඇති බව මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා දක්වන අදහස් මෙසේ ය. දිගාමඬුල්ල හා දිගාමඩුලු යන නම්වල ඇති දිගු මෙන් ම දිගා යන දීර්ඝායු යන මුල් නම හා සම්බන්ධකම් දක්වයි. දීඝවාපී යන නමින් ප්‍රකට ස්ථානය ද මහා වංසයෙහි නව වන පරිච්ඡේදයේ ඉහතින් සඳහන් කළ 10 වැනි ගාථාවේ සඳහන් කර ඇති දීඝායු ජනපදය වීමට ඉඩ තිබේ. ඒ නිසා දීඝවාපිය හඳුනා ගැනීම සඳහා දිග වැවක් ම සෙවීම අවශ්‍ය නොවේ.

(Epigraphia Zeylanica -Prof -S-PARANAVITANA -vol -V)
 

පැරැණි රෝහණ මණ්ඩලයට අයත් වන ප්‍රදේශය අතර වත්මන් අම්පාර දිස්ත්‍රික්කය ද අගනා පුරාවිද්‍යා ස්ථාන මෙන් ම සිංහල බෞද්ධ පුදබිම් රැසක් අයත් ප්‍රදේශයකි. ගල්ඔය මිටියාවත හෝ රෝහණ දේශයේ දීඝවාපි මණ්ඩල ප්‍රදේශයට මෙය අයත් වේ. අටුවා ග්‍රන්ථවල හා පාලි වංසකතා සාහිත්‍යයෙහි දිගාමඩුලු යන්නෙන් ද, සිංහල සාහිත්‍ය ග්‍රන්ථවල දිගාමඩුල්ල යනුවෙන් ද සඳහන් වී ඇත. දිගාමඩුල්ලට ගල්හ ගංගාවේ හෙවත් ගල්ඔය බඩ හා දකුණු ප්‍රදේශය ද අයත් වී ඇත. ගල් ඔයට උතුරින් පිහිටි ප්‍රදේශය කොණ්ඩවටවන ශිලා ලිපියෙහි සඳහන් වන්නේ මෙතෙර දිගාමඩුල්ල යන නාමයෙනි. අම්පාර දිස්ත්‍රික්කයට අයත් වූ ඉතා වැදගත් ප්‍රදේශයක් ලෙසින් දීඝවාපි දාගැබ හා ඒ ආශි‍්‍රත ප්‍රදේශය ප්‍රකට ය. “දීඝවාපි පොරණ වණිජ’ යනුවෙන් සඳහන් ක්‍රිස්තු පූර්ව දෙවන සියවසට අයත් බ්‍රාහ්මී අක්ෂරවලින් ලියන ලද ලෙන් ලිපියක් දීඝවාපි දාගැබ පිහිටි ප්‍රදේශයට යන මාර්ගයේ පාසල් හන්දියෙන් හැරී යන අතුරු මාර්ගය අසල දක්නට ලැබේ. ඉහත සඳහන් ලෙන් ලිපියෙහි “දීඝවාපි“ යන්න දීඝවාපිය පිළිබඳ සඳහන් වන පැරැණිතම ලේඛනය ලෙසින් සැලකේ. මෙය මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා හඳුනා ගෙන ඇත.

දීඝවාපි දාගැබ නිර්මාණය

සම්මා සම්බුදු පහසින් පාරිශුද්ධත්වයට පත්වූ මෙම පුදබිමෙහි දුටුගැමුණු මහ රජතුමාට පසුව රජ වූ එතුමාගේ මලනුවන් වූ තිස්ස හෙවත් සද්ධාතිස්ස රජු විසින් දීඝවාපි දාගැබ කරවන ලද බව මහා වංසයෙහි සඳහන් වේ. (මහාවංසය 33 - ගාථා 10-13)

රෝහණ දේශයේ උතුරු ප්‍රදේශය ආරක්ෂා කිරීමටත්, කෘෂිකාර්මික කටයුතු දියුණු කිරීමටත්, කාවන්තිස්ස රජු තිස්ස කුමාරයාට භාර කළේ ය. දුටුගැමුණු රජු විසින් එළාර පරදවා ලංකාව එක්සේසත් කිරීමෙන් පසුව ද රටට අවශ්‍ය ධාන්‍ය නිෂ්පාදනය තිස්ස කුමරුට (දුටුගැමුණු මහ රජුගේ මලනුවන්ට) භාර වූ යේ ය. තිස්ස හෙවත් සද්ධාතිස්ස දිගාමඩුල්ලේ කෘෂිකාර්මික කටයුතුවල ද නියැලුණු අතර මෙම පළාතේ වෙහෙර විහාර රැසක් කරවා ඇත. ඒ තිස්ස රජුගේ ආගමික කටයුතු දුටුගැමුණු රජුට පසුව අඛණ්ඩව කරවන ලද බව සඳහන් වේ. මෙහිදී දීඝවාපි ප්‍රදේශයේ බොහෝ වෙහෙර විහාර සද්ධාතිස්ස රජු විසින් කරවන ලදී. දීඝවාපි දාගැබ සහ විහාර සංකීර්ණයට අයත් නටබුන් රැසක් ම මෑතක දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සොයා ගෙන ඇත. දීඝවාපී දාගැබට නුදුරින් විශාල ගල්කණුවල කොටස් හමුවී ඇත. මෙය මහල් කීපයකින් යුක්ත වු පොහොය ගෙයක් වීමට ඉඩ ඇත. දීඝවාපී දාගැබ අවට වර්ග සැතපුම් 16 තුළ කරන ලද පුරාවිද්‍යා ගවේෂණය අනුව පුරාණ නටබුන් සහිත වූ ස්ථාන තිස් හතක් පමණ හමු වී ඇත. දීඝවාපියේ පුරාවස්තු අක්කර පන්සිය ගණනක විසිරී පවතී. ප්‍රධාන දාගැබ හැර බෝධිඝරය, ආවාස ගෙවල්, ප්‍රතිමා ඝර , වෙදහල් ආදි විවිධ ගොඩනැගිලි අවශේෂ අනුව ආදි කාලයේ සකලාංගයන් ගෙන් පරිපූර්ණ විහාරස්ථානයක් බව පැහැදිලි ය. මේ බව හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු වූ ඇම්.එච්. සිරිසෝම මහතා සඳහන් කරයි. ශී‍්‍ර ලංකාවේ ද දාගැබ් නිර්මාණයේ සම්භවය සහ ඉතිහාසය පිළිබඳ මෙතෙක් අප දරා සිටි මත කිහිපයක් වෙනස් කරන, එසේම අප නොදත් වැදගත් කරුණු රාශියක් හෙළි කරන අගනා රන්කරඬු තුනක් සහ එයින් එකක තැන්පත් කර තිබූ රන්පත් සන්නසක් ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 1964 සොයා ගන්නා ලදී. එය දීඝවාපී දාගැබෙහි බටහිර වාහල්කඩ සංරක්ෂණය කිරීමේ දී හමු විය. මේ සියල්ල ම තැන්පත් කර තිබුණේ ඒ සඳහා ම සාදන ලද ගල් කරඬුවක ය. මෙහි වු ලොකු කරඬුව තුළ තිබී හමුවූ රන් සන්නසෙහි “නකමහ රජහ පුත මලතිස රජහ සොවන තුබෙ” යනුවෙන් බ්‍රාහ්මී අක්ෂර වලින් ලියා තිබුණි. නාග මහ රජුගේ පුත් මලිතිස රජු විසින් පූජා කරන ලද කරඬුව යන්න යි. මෙහි සඳහන් නාග නම් වූ රජු මහල්ලක නාග රජුගේ යැයි හඳුනාගෙන ඇත. ඒ රජුගේ පුත්‍රයා මලිතිස ය. එම රජු කණිට්ඨ තිස්ස රජු ය.

(උතුරු – නැගෙනහිර පෙදෙස්හි හෙළ උරුමය – එම්.එච්. සිරිසෝම - පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් පි. 76- 1991)

දහ අට වැනි සියවසේ දී කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් මෙම දාගැබ හා විහාරය නඩත්තු කිරීම සඳහා ගම්බිම් ප්‍රදානය කිරීමත් සිදුවී ඇත.

ක්‍රිස්තු පූර්ව 137 දී දුටුගැමුණු රජතුමාට පසුව සද්ධාතිස්ස රජ වී ඇත. මහාවංස විස්තරය අනුව මෙය හඳුන්වා තිබෙන්නේ දීඝවාපී වෙහෙර යනු දීඝවාපී විහාරය සහ සම්බන්ධ ආරාමයන් ය. වෙහෙර යනු දාගැබට ව්‍යවහාර කළ නාමයකි.

සිංහල වංසකතාවල මෙය හඳුන්වා ඇත්තේ දීඝනක හෙවත් දීඝානක යන නාමයෙනි. ඉන් පසුව මේ විහාරයේ හෝ දාගැබේ විස්තරයක් හමු නොවේ. කීර්ති ශ්‍රී රාජසිංහ රජු දහ අට වැනි සියවස මැද භාගයේ දි නඛාචේතිය වෙත පැමිණි බව සඳහන් ව ඇත. එපමණක් නොව එම රජතුමා විසින් මෙම දීඝවාපි විහාරය සඳහා කළ ප්‍රදානයක් ගැන ද සඳහන් වේ. එය සඳහන් කර ඇති ශෛලමය සන්නස මෙම දාගැබේ නැගෙනහිර පැත්තේ දාගැබට යාකර තිබෙන කලුගල්ලෑල්ලෙන් පිටපත් කළේ පූජ්‍ය බණ්ඩිගොඩ බුද්ධරක්ඛිත හිමියන් 1845 දී ය. එම ශෛලමය සන්නස අනුව මේ විහාරස්ථානය සඳහා වී බිජ අමුණු දහසක වපසරිය හා ග්‍රාම ක්ෂේත්‍ර හා ගව මහීෂාදීන් ද රජු විසින් පූජා කර ඇත. මේනිසා දීඝවාපී චෛත්‍යයට හා විහාරයට අයත් භූමි ප්‍රමාණය ඉතා විශාල ය. (වල්ලිපුරම් රන් සන්නස හා හෙළ උරුමය සිරිසමන් විජේතුංග – පි. 90)

මෙම දාගැබ වටා ප්‍රාකාර බැමි දෙකක් තිබුණි. ඒ දෙක ඇතුළු බැම්ම සහ පිට බැම්ම ලෙසින් සැලකේ. මෙම ප්‍රාකාරවලින් ඇතුලු මාලකයට යෑමට පුළුල් දොරටු තිබුණි. පස්වලින් යටවී තිබුණු නිසා මෙම දාගැබේ ස්වරූපය හඳුනා ගැනීම දුෂ්කර ය. මේ ස්තූපයට මාලක මෙන්ම වාහල්කඩ තිබූ බවට දක්නට ලැබෙන්නේ මද වශයෙනි. ඉතා කලාත්මක වාහල්කඩ තිබුණු බව එයින් හමුවූ නටබුන් වලින් හෙළි වේ.