Print this Article


ගමයි පන්සලයි යළි සමීප කර ගිහි පැවිදි සබඳතා තහවුරු කරනවා

ගමයි පන්සලයි යළි සමීප කර ගිහි පැවිදි සබඳතා තහවුරු කරනවා

විශ්වීය බෞද්ධ භික්ෂූ සම්මේලනයේ නිර්මාතෘ/මහ ලේකම් ජපානයේ සම්බුද්ධාලෝක විහාරාධිපති ආචාර්ය තුන්හිටියාවේ ධම්මාලෝක හිමි

* දේශීය සංස්කෘතිය රැකගැනීමට පියවර රැසක්

* ආර්ථික අපහසුතා ඇති අයට ස්වශක්තියෙන් නැගී සිටීමට උපකාර

* ස්වයංරැකියා සඳහා යටිතල පහසුකම්

* ඉරුදින දහම්පාසල් වැඩිදියුණුවට පියවර

ශ්‍රී ලංකාවේ උපත ලබා ලෝකයේ රටවල් රැසක විහාරස්ථානයන්හි වැඩ වසන භික්ෂූන් වහන්සේ දහසකට අධික පිරිසක් සිටිති. උන්වහන්සේ බොහෝ අවස්ථාවල දී මෙරට ජනතාවට පිහිට වෙති. ඒ අපේ රටේ ආර්ථිකයේ ඇති අපහසුතාව ගැන දන්නා නිසා ය.

එහෙත් බොහෝ අවස්ථාවලදී භික්ෂූන් වහන්සේ එසේ තම සේවාවන් සිදු කරන්නේ තමන් වහන්සේ විසින් පෞද්ගලික මට්ටමින් වන අතර, එක් එක් රටවල සිටින භික්ෂූන් වහන්සේ අනෙක් රටවල සිටින භික්ෂූන් වහන්සේ පිළිබඳ දැන හැඳුනුම්කම් ද අඩු විය. මේ නිසා ශ්‍රී ලාංකික සියලු භික්ෂූන් වහන්සේ එක්කර, එකම සංවිධානයක් ඇති කර ඒ ඔස්සේ ශ්‍රී ලංකාවට හැකි උපරිම දායකත්වයක් සැපයීමට ජපානයේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති ආචාර්ය තුන්හිටියාවේ ධම්මාලෝක හිමියෝ කටයුතු කළහ.

ඒ අනුව උන්වහන්සේ විසින් මහත් පරිශ්‍රමයක් දරා 2018 වසරේ විශ්වීය බෞද්ධ භික්ෂූ සම්මේලනය ස්ථාපිත කළහ. එහි පළමු සමුළුව ජපානයේ දී පවත්වන ලදි. ඒ සඳහා ශ්‍රී ලංකාවේ තුන් නිකායික මහ නා හිමිවරුන් මෙන්ම අනු නාහිමිවරුන් ද සහභාගි වූ හ. එහිදී සෑම රටක්ම නියෝජනය වන පරිදි විධායක සභාවක් ද පත් කර ගන්නා ලදී.

එය ඉතා සාර්ථක සමුළුවක් වූ අතර එහි දෙවැනි සමුළුව 2019 වසරේ සැප්තැම්බර් මස ප්‍රංශයේ දී පවත්වන ලදී.

එම සමුළුව ද ඉතා සාර්ථක වූ අතර, ලෝකය පුරා වැඩවාසය කරන විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඒ සඳහා වැඩම කරන ලදී. එහි තුන්වන සමුළුව මේ වසරේ දෙසැම්බර් මස 4,5,6 තෙදින ටැන්සානියාවේ දී පවත්වනු ලැබේ.

විශ්වීය බෞද්ධ භික්ෂූ සම්මේලනයේ නියමුවාණන් වන තුන්හිටියාවේ ධම්මාලෝක හිමියන් විසින් සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි විශේෂිත ව්‍යාපෘති රැසක් මේ වන විට සැලසුම් කර තිබේ. මේ වන විට රටවල් 33ක විහාරාධිපති භික්ෂූන් වහන්සේ 120 නමක් මෙහි සාමාජිකයෝ වෙති. මේ නිසා ලෝකය පුරා වැඩ වසන භික්ෂූන් වහන්සේ මේ වන විට අනෙක් රටවල සිටින ස්වාමීන් වහන්සේ හමුවට වැඩම කරති. ශ්‍රී ලංකාවට සිදුකළහැකි සේවාවන් ගැන සාකච්ඡා කරති. මෙවන් එකමුතුවක් ඇති කරන්නට ධම්මාලෝක හිමියන් කටයුතු කෙළේ පසුගිය කාලයේ දෙමළ ඩයස් පෝරාව විසින් සිංහල ජාතියට, බුද්ධාගමට, පොදුවේ ශ්‍රී ලංකාවේ නාමයට සිදු කළ අන්තර්ජාතික හානිය දුටු හෙයිනි.

දෙමළ ඩයස් පෝරාවට විදේශීය රටවල සිට මෙරටට බලපෑම් කරන්නට හැකි විය. ඒ ලෙසින්ම එතෙර වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේ වෙතින් සිංහල ඩයස් පෝරාවක් ඇති කර එමගින් බුදු දහම මෙන්ම දේශීය සංස්කෘතිය රැක ගැනීම උන්වහන්සේගේ ඉලක්කය විය.

මේ නිසා ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක වල්පොළ පියනන්ද නා හිමියන්ගේ සභාපතිත්වයෙන් යුත් විශ්වීය බෞද්ධ භික්ෂූ පදනම බිහි කර ගන්නා ලදී.

ශ්‍රී ලංකාව තුළ මේ සම්මේලනයේ කි‍්‍රයාකාරීත්වය කෙසේ විය යුතුද යන්න ගැන විමර්ශන සිදු කිරීමෙන් පසුව මෙරට දිස්ති‍්‍රක්ක පුරා දිස්ති‍්‍රක් බල මණ්ඩල පිහිටුවන ලදී. ඒ අනුව මාතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය. කළුතර දිස්ති‍්‍රක්කවල මේ වනවිට දිස්ති‍්‍රක් බල මණ්ඩල අරඹා ඇත.

මේ සංවිධානයේ සාමාජිකත්වය පිරිනමන ලද්දේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ පමණි. එහිදී දිස්ති‍්‍රක් බල මණ්ඩල සභාපති, ලේකම්, භාණ්ඩාගාරික ඇතුළු නිල මඬුල්ලක් මෙන්ම දිස්ති‍්‍රක්කයේ සියලුම ශාසනාරක්ෂක මණ්ඩල ආවරණය වන පරිදි කාරක සභික භික්ෂූන් වහන්සේද පත් කරගෙන ඇත.

මේ දිස්ති‍්‍රක් සංවිධාන පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ අතීතයේ මෙන් විහාරස්ථානය හා ගම යළි සමීප කර ගිහි පැවිදි සබඳතා වඩාත් තහවුරු කිරීමයි.

භික්ෂූන් වහන්සේ ගමට නායකත්වයක් ලබා දිය යුතු ස්ථානය කරා ගෙනවිත් ගම්මාන දියුණු කර විශේෂයෙන් ම ආර්ථික වශයෙන් අපහසුතා ඇති ජනතාව නඟා සිටුවීමේ සැලසුම් මේ වන විටත් සකස් කර ඇත.

ඒ අනුව අක්කර සිය ගණන් ඇති විහාරස්ථානයන්හි අක්කර 25ක් 30ක් පමණ පවිත්‍ර කර එහි පෞරාණිකභාවයට හානි නොවන ලෙසින් හා විහාරස්ථානයේ පූජනීයත්වයට හානි නො වන ලෙසින් ගමේ පවුල් 25ක් හෝ 30ක් එහි වගා කටයුතු සඳහා යෙදවීමට කටයුතු කෙරේ.

ඒ සඳහා අවශ්‍ය වන උදලු ඇතුළු කෘෂි උපකරණ මෙන්ම අවශ්‍ය නම් එහි තාවකාලික කූඩාරම් පවා ඉදි කර දී වගාවන්ට අවශ්‍ය පොහොර ආදී සියල්ලම සැපයීමට විශ්වීය බෞද්ධ සම්මේලනය කටයුතු යොදා ඇත. එමෙන්ම එහි ඵලදාව ලැබෙනතුරු යම් වේතනයක් ද ලබා දීමට කටයුතු කෙරේ. විහාරාධිපති හිමියන් විසින් කළයුත්තේ මේ කටයුතු අධීක්ෂණය පමණි. ඵලදාවෙන් ලැබෙන ආදායම විහාරස්ථානයට කොටසක් සහ ඉතිරිය වගා කළ ජනතාවට හිමි වේ. සම්මේලනය කිසිදු ආකාරයක මුදලක් බලාපොරොත්තු නොවේ. වගාවේ ඵලදාව ලැබෙන තුරු ඒ ජනතාවට දිවිය රැක ගැනීමට අවශ්‍ය දේ සපයනු ලැබේ.

අතිවිශාල ඉඩම් නොමැති විහාරස්ථානවල සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත් දරු දැරියන් යොදා මහන මැෂින් හරහා සිවුරු මැසීමේ කර්මාන්තය පුරුදු කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සපයනු ලැබේ. මේ වන විට සිවුරු මැෂීමේ කාර්ය ද බෞද්ධ නො වන අය විසින් සිදු කරනු ලබන හෙයින්, එහි ගෞරවය රැක ගෙන බෞද්ධ දරු දැරියන්ට ආදායමක් ලබා ගත හැකි ලෙසින් වෙළෙඳ පොළ පවා දේශීයව මෙන්ම අන්තර්ජාතිකව ද සයපා දෙන්නට සම්මේලනය බලාපොරොත්තු වේ. මේ කාර්යය සාර්ථක වූ විට පාසල් නිල ඇඳුම් පවා මසා දීමේ කර්මාන්තය දක්වා එය දියුණු කළ හැකි වනු ඇත.

අවශ්‍ය සියලු සම්පත් සම්මේලනය විසින් සපයනු ලැබේ. එහි ආදායම් විහාරස්ථානයට හා කර්මාන්තයේ යෙදී සිටින දරු දැරියන්ට වන අතර සම්මේලනය ලබා දුන් ප්‍රාග්ධන මුදල් හෝ ලාභ කිසිවක් හෝ බලාපොරොත්තු නොවේ. රටට ගමට වන සේවය පමණක් සම්මේලනය බලාපොරොත්තු වේ.

එමෙන්ම මෙරට වැඩ සිටින සාමණේර හිමිවරුන්ගේ මවුපියන් බොහෝ පිරිසකට නිසි අයුරින් නිවාස පහසුකම් නැත. එමනිසා මේ වන විට එවන් අවශ්‍යතා ඇති සාමණේර හිමිවරුන්ගේ ලේඛනයක් සකස් කර ඇත. ඒ සාමණේර හිමිවරුන්ගේ මවුපියන් උදෙසා කාමර දෙකක්, සාලය, කුස්සිය, නාන කාමරය, වැසිකිළිය සහිත නිවාස සැලසුමක් සකස් කර ඇත. එසේම කාමර සංඛ්‍යාව 3ක් දක්වා වැඩි කර ලබා දීමේ හැකියාවද සොයා බලමින් සිටී.

මේ ලෙසින් ගම හා විහාරස්ථානය අතර බැඳීමක් ඇති කිරීමෙන් පසුව සාමණේර හිමිවරුන් සිවුරු හැරයාමක් සිදු නොවනු ඇත. එසේම ගමේ විහාරස්ථානයෙන් ගමට, තම පවුලට වන සේවය දන්නා වැඩිහිටියන් තම දරුවන් ඉරු දින දහම් පාසලට යැවීම අනිවාර්යයෙන් ම සිදු කරනු ඇත. එසේම දහම් පාසලේ ඉගැන්වීම් කටයුතු කෙරෙහි ද උපරිම දායකත්වයක් ලබා දෙනු ඇත. විහාරස්ථානයෙන් ගමට සිදුවන සේවාව දන්නා නිසා ඔවුන් හැම විට ම විහාරස්ථානය තමන්ගේ යන හැඟීමෙන් යුක්තව දැඩි කැපවීමකින් කටයුතු කරනු ඇත.