පිඬු පිදූ පින
මහනුවර හන්තාන සිරි ධම්මරතන
ත්‍රිපිටක ධර්මායතනාධිපති
රාජකීය පණ්ඩිත
පූලියද්දේ සුධම්ම හිමි
පින්වත් දරුවනේ, සැරියුත් මහරහතන් වහන්සේගේ පියාණන් හඳුනන යහළු බමුණෙක් සිටියා. ඔහු
කලකට පසු දිළිඳු වුණා. දවසක් සැරියුත් හිමියෝ මේ නිවෙසට පිණ්ඩපාතයේ වැඩියා. ඒත්
බමුණාට පූජා කරන්න දෙයක් නෑ. බමුණා ලජ්ජාවෙන් සැඟවුණා.
මේ විදිහට දින කිහිපයක් ගෙවුණා. දිනක් බමුණාට කිරිබත් සහ රෙදි කැබැල්ලක් ලැබුණා.
“අද නම් පූජා කරන්නට දෙයක් තිබෙනවා. සැරියුත් හාමුදුරුවෝ වැඩියොත් හොඳයි” කියලා
බමුණා සිතුවා. සැරියුත් හාමුදුරුවෝ එදින උදෑසන ධ්‍යානයට සමවැදී අද තමන් වහන්සේ
පිහිට වෙන්නේ කාටදැයි විමසා බැලුවා. අර බමුණා සිතන අයුරු දුටුවා. ඒ නිවසට
පිණ්ඩපාතයේ වැඩියා.
බමුණා සැරියුත් මහරහතන් වහන්සේට කිරිබත් දානය පූජා කළා. වස්ත්‍රයත් පූජා කළා.
අනුමෝදනා දේශනාව අවසානයේ සැරියුත් හාමුදුරුවෝ ආපසු සැවැත් නුවරට වැඩම කළා. බමුණා
තමන් සිදු කරගත් පින්කම ගැන සිතමින් ඉතාමත් සතුටින් සිටියා. ටික දිනකින් මිය ගොස්
සැවැත් නුවර ධනවත් පවුලක මව්කුසක පිළිසිඳ ගත්තා.
මේ අම්මාට අපූරු දොළදුකක් ඇති වුණා. ඒ සැරියුත් මහරහතන් වහන්සේ ඇතුළු පන්සියයක්
නමකට කිරිබත් දානයක් පූජා කිරීමටයි. ඉන්පසු ස්වාමීන් වහන්සේලා වළඳා ඉතිරිවන ඉඳුල්
කිරිබත්ටික ගෙන, කහ පැහැති වස්ත්‍රයක් හැඳගෙන ආසනයේ කෙළවරක අසුන්ගෙන අනුභව
කිරීමටයි.
නිවසේ අය ඇයගේ ආශාව ඉටුකරගන්නට උදව් කළා. අවස්ථා ගණනාවක දී ම භික්ෂූන් වහන්සේලා
පන්සිය නමක් බැගින් වැඩම කරවා දානය පූජා කළා. දරු ගැබට දස එකඩ මසක් ගෙවුණු තැන
දරුවා ඉපදුණා.
දිනක් මේ මව්පිය දෙදෙනා සැරියුත් මහරහතන් වහන්සේ හමුවීමට යාමට තීරණය කළා. පුංචි
පුතා සිටියේ නින්දේ. වටිනා කම්බිළියකුත් පොරවගෙන, කම්බිළියක් කියන්නේ පොරවන
වස්ත්‍රයටයි.
ඉතින් අම්මා කම්බිළිය ඉවත් කරලා පුතා සූදානම් කරවන්න උත්සාහ කළා. පුංචි දරුවා හොඳටම
හඬන්නට පටන් ගත්තා. කිහිප අවස්ථාවක ම උත්සාහ කළා. අවසානයේ දරුවා කම්බිළියත් සමගම
රැගෙන ගියා. සැරියුත් හිමියන් මුණ ගැසී උන්වහන්සේට වන්දනා කරවීමට සූදානම් වුණා.
මහත් පුදුමයක් සිදු වුණේ. දරුවා ඔතා සිටි අර කම්බිළිය සැරියුත් හාමුදුරුවන්
වහන්සේගේ දෙපාමුල වැටුණා. එය දරුවා විසින් පූජා කරනු ලැබූ බව සිතමින් මව්පියන් එය
සැරියුත් හාමුදුරුවන්ට පූජා කළා. සතුටට පත් වූ අම්මයි තාත්තයි සැරියුත් හිමියන්ගේ
ගිහි නමෙන් ‘තිස්ස’ කියන කොටස ගෙන තම පුංචි පුතාට නම තැබුවා.
ඉතින් පුංචි තිස්සට ඉඳුල්කටගාන මොහොතේ, කන් විදින මොහොතේ, පළමුව හිස කෙස් කපන
මොහොතේ ආදී ලෙස සැම විශේෂ අවස්ථාවකට ම පෙර සැරියුත් මහරහතන් වහන්සේ හමුවී දාන මාන
පූජා කිරීමෙන් අනතුරුව තමයි ඒ කටයුතු සිදු වුණේ.
‘තිස්ස’ පුංචි දරුවා ටිකෙන් ටික ලොකු වුණා. දවසක් අම්මා, තාත්තා ළඟට ගිහින් ‘මට
පැවිදි වෙන්න ඕනෑ’ යි කීවා. මව්පියන්ගේ කැමැත්ත ලැබුණා. විහාරයට ගිහින් දරුවා
සැරියුත් හාමුදුරුවන්ට බාර කළා. පැවිදි වූ පසු මුහුණ දෙන්නට සිදුවන දුෂ්කරතාවයන්
ගැන සැරියුත් හාමුදුරුවෝ මේ දරුවාට පැහැදිලි කළා.
‘ඒවා ඉවසාගෙන ඉන්න මට පුළුවන්’ පුංචි පුතා පුංචිකමට කීවා. ඉතින් ඉන්පසු දවසක
සැරියුත් හාමුදුරුවෝ ‘තිස්ස’ පැවිදි කළා. තම දරුවා මහණ වූ දවසේ සිට මව්පියන් විහාරය
අසලම ගැවසෙමින් මහා සංඝරත්නය උදෙසා කිරිබත් දානය පූජා කළා.
දින හතක් පමණ ගතවුණා. දිනපතා ම කිරිබත් වැළඳීම අපහසු බව හාමුදුරුවන් වහන්සේලා
පැවසුවා. තිස්ස පොඩි හාමුදුරුවන්ගේ අම්මයි තාත්තයි ආපසු නිවෙස් බලා ගියා.
එක් දවසක් භික්ෂූන් වහන්සේ පසු පසින් තිස්ස පොඩි හාමුදුරුවන් වහන්සේත් පිණ්ඩපාතයේ
වැඩම කළා. ඒ ආරංචිය ගම පුරා පැතිරුණා. ගම්වැසින් එක් රැස් වී පන්සියදෙනා වහන්සේටම
පිරිකර සහිත ව දානය පූජා කළා. පොඩි හාමුදුරුවන් වහන්සේ නිසා පහසුවෙන් පිණ්ඩපාතය
ලැබෙන නිසා උන්වහන්සේට පිණ්ඩපාතික තිස්ස කියලා නමක් තැබුවා.
තිස්ස පොඩි හාමුදුරුවන්ගේ කතාවේ තවත් ආශ්චර්යවත්, විශේෂ සිදුවීම් බොහොමයක් තිබෙනවා.
එළඹෙන පුර අටවක පෝදා මාර්තු 02 වැනිදා බුදුසරණ කලාපයෙන් ඒ ගැන කියවමු. |