[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දරුවන් සිටි පමණින් මව්පියන් ද?

දරුවන් සිටි පමණින් මව්පියන් ද?

ගෞරවනීය ස්වාමීන් වහන්ස, බුදුදහමට අනුව මව්පියන් යනු කවුරුන්ද යනවග අර්ථ දක්වන්නේ කෙසේද?

සෑම මවක් පියෙක් විසින්ම රැකිය යුතු, ආරක්ෂා කළ යුතු සීල සම්ප්‍රදායක් සිව්බඹ විහරණ යනුවෙන් බණපොතේ උගන්වා තිබෙනව. සිව්බඹ විහරණ තුළ සඳහන් වන පළමු කරුණ වශයෙන් මෙත්තා හෙවත් මෛත්‍රී සහගත බව සඳහන්. චණ්ඩ, රෞද්‍ර බවින් තොර වූ මනසෙහි පවතින සැහැල්ලු බව මෙත්තා වශයෙන් හැඳින්විය හැකියි. සෑම පුද්ගලයකු තුළ පවතින අඩුපාඩු අඩුපාඩුවක් ලෙස දැකිය හැකි ඤාණයක් පැවතිය යුතුයි. අඩුපාඩුවක් තිබූ පමණින්, එම පුද්ගලයා නොසලකා හැරීමකින් තොරව, ඔවුන්ගේ ස්වභාවය ඒ ආකාරයැයි වටහා ගැනීමේ හැකියාවන් සහිත ගුණාංගයන්ගෙන් යුත් මානසික සැහැල්ලු බව මෙත්තා ගුණයට අයත් වෙනවා. දෙමව්පියෙක් නම් එම ‘මෙත්තා ගුණය’ තිබිය යුතු යැයි යන ඉගැන්වීම බුදුදහමේ සඳහන් වෙනව.

මව්පියන් තුළ තිබිය යුතු දෙවන ගුණාංගය කරුණාව යි. අන්‍යයාගේ දුකේදී, වේදනාවේදී ඒ දුක පිළිබඳව කම්පාවට පත්වීමට තරම් ශික්ෂණය විය යුතු මනසක් තිබිය යුතු යි. ඇතැම් මානසික රෝගාබාධවලදීත් බොහෝ සේ දුකින් ජීවත් වන මිනිසුන් දැකිය හැකි අවස්ථා දක්නට ලැබෙනව. මෙම ස්වභාවය එයට වඩා හාත්පසින්ම වෙනස් ස්වභාවයක් මිස එම ස්වභාවය නොවෙනබව අප හඳුනාගත යුතුයි. වඩන ලද, පුහුණු කරන ලද මනසක ස්වභාවය පමණක් මෙහිදී අවධාරණය කරගත යුතුයි. බුදුරජාණන් වහන්සේ තුළ මහා කරුණාව පැවතුණා. දෙමව්පියන් තුළ කරුණාව තිබිය යුතුයි.

අනෙක් පුද්ගලයාට සැප ලැබෙන විට තමාගේ සිතේ ඊර්ෂ්‍යාවක් හටනොගන්නා මානසික ස්වභාවය මුදිතාවයි. කිසියම් පුද්ගලයකුට සැපක් ලැබෙන විට බොහෝ මිනිසුන්ගේ සිත් චංචල වන ස්වභාවයක් පවතිනව. ‘මුදිතා’ ගුණය නොවඩන ලද සිත්වල ස්වභාවය එබඳු යැයි අවබෝධ කරගෙන මුදිතා ගුණාංගය සිතෙහි ඇතිවන ආකාරයට මානසික තත්ත්වය පුරුදු පුහුණු කරගත යුතුයි. සිව්බඹ විහරණවල සඳහන්වන හතරවන කාරණාව උපේක්ඛාවයි. පුද්ගලයන් සංසන්දනාත්මක ව නොබැලීම උපේක්ඛාව ලෙස සඳහන් කළ හැකි යි. පුද්ගලයන් සන්සන්දනාත්මක බැලීමට පුරුදු වෙලා සිටියත්, ඒ ක්‍රමය වැරැදි බව අප අවබෝධ කරගත යුතු කරුණක්. ඒ ඒ පුද්ගලයාගේ හැකියාව, ගතිගුණ, මානසික තත්ත්ව, පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ස්වභාවයක් ගන්නව.

උපේක්ඛාව සහිතව පුද්ගලයා සන්සන්දනාත්මක බවින් තොරව මිනිස් ක්‍රියා තුළින් මිනිසා හඳුනා ගැනීමට උත්සාහ ගනී.

සිව්ඹබ විහරණ යනුවෙන් හඳුන්වන ලද ඉහත සඳහන් ගුණාංග හතරින් පරිපූර්ණවූ පිරිස දෙමව්පියන් යනුවෙන් බුදුදහමේ හඳුන්වා තිබෙනව. එම ගුණාංගයන් පිරිපුන් පුද්ගලයන්ට දරුවන් සිටියත්, දරුවන් නොමැතිවුවත්, ඔවුන් දෙමව්පියන් වශයෙන් හැඳින්විය හැකියි. සිව්ඹබ විහරණ පාරමිතාව පුරා තිබෙන පුද්ගලයාට දරුවන් සිටියත් නැතත්, ඒ පුද්ගලයන් අම්මා, තාත්තා යන උතුම් තත්ත්වයට පත්වීමට සුදුසු පුද්ගලයන් බව බුදුදහම අවධාරණය කරනවා.

‘සිව්ඹබ විහරණ’ නොමැති පුද්ගලයන්ට දරුවන් සිටියත්, ඒ පිරිස දෙමව්පියන් වශයෙන් හැඳින්විය නොහැකියි. මව, පියා යන උදාර නාමය ඔවුන්ට ලබාදිය නොහැකියි. දරුවන් සිටින ගැහැනු කෙනෙක් මිස, අම්මා යන උතුම් නාමයෙන් ද, දරුවන් සිටින පිරිමි අයෙකු මිස, තාත්තා යන උතුම් නාමයෙන් ද හැඳින්විය නොහැකි. බුදුදහමේ දෙමව්පියන් නිර්වචනය කර ඇත්තේ එබඳු ආකාරයටයි. බුදුදහමේ නිර්වචනය කර ඇති ආකාරයට අනුව සමාජයේ සිටින මව්පියන් දෙස බැලිය යුතු යි. තමා අම්මා කෙනෙකු ද? එසේත් නැත්නම්, දරුවන් සිටින ගැහැනු අයෙකුද? යන වග තමාටම සිතා ගත හැකියි. තමන් උතුම් තාත්තා කෙනෙක්ද? එසේත් නැත්නම්, දරුවන් සිටින පිරිමි අයෙකුද? යන වග තමනටම අවබෝධ කරගත හැක්කේ සිව්ඹබ විහරණ ආරක්ෂා කර ඇති ස්වභාවය අනුවයි. බුදුදහම දෙමව්පියන් පිළිබඳ නිවැරැදි ව නිර්වචනය කර ඇත්තේ එබඳු ආකාරයටයි.

දරුවා මූලික වශයෙන් සමාජානුයෝජනයවීමේ දී මව සහ පියා දෙදෙනාම අනුකරණය කරනවා. එහිදී මව්පියන් වශයෙන් තම දරුවන්ට ආදර්ශවත්ව කටයුතු කළ යුතු ආකාරය පැහැදිලි කළොත්,

දෙමව්පියන් දෙස බලාගෙන දරුවන් වර්ධනය වුණත්, ළමා කාලයේ දී දරුවන් බොහොම සාධාරණ සාමකාමී චින්තනවල ජීවත්වෙන පිරිසක්. ඇතැම් මව්පියන් ඉතාම අකාරුණික ආකාරයට දරුවන්ට සලකන අවස්ථාවන් දකින්න පුළුවන්. තමාගේ දරුවාට යහපත් ආකාරයට සලකමින් අනෙක් දරුවන්ට විරුද්ධව සලකන ආකාරය දකින දරුවා තමාගේ මවට වුණත් විරුද්ධ වෙනවා. සියලු දෙනාටම සාධාරණව එක සමානව සද්භාවයෙන් සැලකිය යුතුය යන අපේක්ෂාව දරුවන් තුළ පවතින ස්වභාවයක්. එය මව්පියන් විසින් අවබෝධ කරගත යුතු යි. එම ගතිගුණ නොමැති මව්පියන් තමාගේ ළමයාට පමණක් සලකන විට තමාගේම දරුවා වුණත්, මවගේ එම ගතිගුණවලට විරුද්ධවෙන ස්වභාවයක් දකින්න පුළුවන්. දරුවා කුඩා අවධියේ එබඳු ආකාරයේ විරෝධාකල්පවලින් යුත් ස්වභාවයක් පළ නොකළත් එම ස්වභාවයන් විඤ්ඤාණගතවෙලා වැඩිහිටි වූ පසුව හෝ කිසියම් ආකාරයට බලපෑමක් එල්ලකළ හැකියි. මව්පියන් නොසලකා හැරීම්, අකාරුණික ආකාරයට කතාබහ කිරීම්, වැනි ස්වභාවයන් මතුවිය හැකියි. එම නිසා මව්පියන් මව්පියන් වෙනවා මිස මව හෝ පියා නළුවන් හෝ නිළියන් නොවිය යුතු යි. මව්පියන් නිතර දරුවන්ට ආදරය දක්වන, සමාජයට ආදරය කරන පුද්ගලයන් බවට පත්විය යුතුයි. දරුවන් ලැබුණ මව්පියන්ට තිබිය යුත්තේ දරුවන් සමඟ ගත කරන ජීවිතයක් පමණයි. ඔවුන්ට හුදකලා ජීවිත තත්ත්වයට පත්විය නොහැකියි. අපේ පැරැණි සිංහල සංස්කෘතික සමාජය බුදුදහමෙන් ලැබූ පෝෂණයත් සමග නොවිසිරී පවතින ශක්තිමත් පවුල් පසුබිමක් ගොඩ නඟා ගත්තා. මව සහ පියා දෙදෙනාම තම දරුවන් සමඟ එකට බැඳුණු ජීවිතයක් ගත කළා මිස, එකිනෙකාගේ රුචි අරුචිකම් අනුව හුදකලා ජීවිත ගොඩනගාගෙන තිබුණේ නැහැ.

මෙම ලිපියෙහි ඉතිරි කොටස මැදින් පුර අටවක පෝදා පත්‍රයේ පළවේ.

නවම් අමාවක පෝය 

නවම් අමාවක පෝය පෙබරවාරි 22 වන දා සෙනසුරාදා අපර භාග 07.02 ට ලබයි. 23 වන දා ඉරිදා අපරභාග 09.01 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 23 වනදා ඉරිදා ය.

මීළඟ පෝය මාර්තු 02 වන දා සඳුදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

Full Moonපසළොස්වක

මාර්තු 09

Second Quarterඅව අටවක

මාර්තු 16

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]