Print this Article


දන් පිදූ පිනෙන් කල්ප ලක්ෂයක් සුගති වාසයට

දන් පිදූ පිනෙන් කල්ප ලක්ෂයක් සුගති වාසයට

මෙම ලිපියෙහි මුල් කොටස නවම් අවඅටවක පෝදා (පෙබරවාරි 15) පත්‍රයෙහි පළවිය.

මහා ප්‍රජාපතී ගෝතමිය ද සසරේ ඉහත ආත්ම භාවයකදී පියුමතුරා බුදුරජාණන් වහන්සේට දාන මාන පූජා කිරීමේ පිනෙන් කල්ප ලක්ෂයක් සුගතියක ම වාසයෙන් සසරේ අවසන් ආත්ම භාවයේ එනම් ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි වී රහත් බවට පත් වුණා. ඒ උත්තමාවිය ද සඳහන් කරන්නේ රහත් වීමට මුල් වුණේ දානමය පින්කම බව යි. එය නැතිව කුමන දෙයක්වත් කරන්නට බැහැ. සිතේ තණ්හාව වැඩි යි. එය හැකිතාක් අඩු කරගන්න. එය සිතෙහි තබා ගෙන කෙතරම් දන් දුන්නත් වැඩක් නැහැ. එසේනම්, සිත පිරිසුදුවෙන් තම දෑතින් කෙනෙකුට යමක් දෙන්න. මේ ගැන සිතා කවුරු වුණත් තම පරිත්‍යාග චේතනාව හැකිතාක් දියුණු කරන්න. ඒ චේතනාවට යි සැප විපාක ලැබෙන්නේ. එය හොඳින් දියුණු කළොත්, සිල්වත් ව, ගුණවත් ව ඉදිරියට යන්නට පුළුවන්. එසේනම්. තම දෑතින් සිල්වත් ගුණවත් කෙනෙකුට යමක් දුන්නොත් ලැබෙන පින සීමාවක් නැහැ. වැඩිහිටියන්ට, ගුරුවරුන්ට, ඥාතීන්ට , අසල් වාසීන්ට, යාචකයන්ට, නැති බැරි අයට , ඕනෑම කෙනෙකුට තියෙන විදිහට පිළිවෙළට යමක් දෙන්න පුරුදු වන්න.

කිසිවක් තියාගෙන විසි කරන්නට එපා. එය නරක් වෙන්නට පෙර කෙනෙකුට දෙන්න සිත හදා ගන්න. තණ්හාව අධික නිසා දෙන්න සිත පහළ වන්නේ නැහැ. තණ්හාව යට කරගන්න කවුරුත් මහන්සි වන්න. තණ්හාවෙන් කෙතරම් සිල් ගුණ දියුණු කරන්න හැදුවත් වැඩක් නැහැ. ඒ නිසා ප්‍රධානම දේ තණ්හාව, ලෝභකම, මසුරුකම, සිතෙන් බැහැර කිරීම යි. තණ්හාවට නම් සියයක් බුදු දහමේ දක්වා තිබේ. තරහවට, මෝහයට නම් සිය ගණන් නැහැ. එහෙමනම් ,බලන්න තණ්හාව කෙතරම් භයානක ද? සමුදය සත්‍ය යනුවෙන් සඳහන් කරන්නේ තණ්හාව යි. දුක්ඛ සත්‍ය දුකටත්, සමුදය සත්‍ය තණ්හාවටත් සඳහන් කළා. තණ්හාව නැති කළ විට ධර්මය අවබෝධ වෙයි. කාම තණ්හා( පංච කාම වස්තූන් පිළිබඳව ඇති තණ්හාව) භව තණ්හා(භවයට ඇති ඇලීම ) විභව තණ්හා(මරණින් පසු ඉපදීමක් නැතැ’යි පැවසීම ) , රූප තණ්හාව (ඇසින් රූපයක් දැකීම), ශබ්ද තණ්හාව (කනෙන් ශබ්දයක් ඇසීම) , ගන්ධ තණ්හාව (නාසයෙන් දැනෙන ගඳ සුවඳ හොඳ බවට ගැනීම), රස තණ්හාව ( මිහිරි බොජුන් ), පොට්ඨබ්භ තණ්හාව (ස්පර්ශය) , ධම්ම තණ්හාව ( අන් සියලුම දේ සිතට දැනීම) මේ තණ්හා හය අතීත තණ්හා, අනාගත තණ්හා, වර්තමාන තණ්හා යනුවෙන් කොටස් තුනකට බෙදෙන අතර ආධ්‍යාත්මික තණ්හා, බාහිර තණ්හා ආදිය නැවත කොටස් දෙකක් වශයෙන් ද වෙයි. මේ සියල්ල එකසිය අටක් වෙයි. මේ එකසිය අට වැදෑරුම් තෘෂ්ණාව පහළ වන්නේ සිතෙන්. ඒ නිසා සිත එතරම්ම භයානක යි. සිත තුළ පව් සිතිවිලි වැඩි යි. ඒ නිසා මොහොතක් භාවනා කරගෙන, ධර්මය මෙනෙහි කරන්න, මොහොතක් පොත පත කියවන්න, එය සිතට විශාල විශාල ශාන්තියක්. පව් ඉවත්ව සිත තැන්පත් ව ශාන්ත දාන්ත ව ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. මේවා බුදුදහමෙන් හොඳින් ඉගෙන කියාගෙන , දහම් දැනුමත්, ලොවුතුරා බුදු දහමට අනුව කටයුතු කරගෙන යන්න. හොඳ අධිෂ්ඨානයෙන් ඉදිරියට යාමෙන් කාටවත් වරදින්නේ නැහැ.

බුදුන් වහන්සේ ද දාන පාරමිතාව හොඳින් පිරුවා. සුමේධ පණ්ඩිත කාලයේ, වෙස්සන්තර රජ කාලයේ දුන් දාන වස්තු සීමාවක් නැහැ. ගබඩා සියල්ල විවෘත කර දන් දුන්නා. ඒ බුද්ධත්වය පිණිසම යි. හොඳින් දන් පින්කම් කරද්දී දෙවියන්ගේ ද උපකාර, අනුග්‍රහ ලැබෙනවා. සැමගේ ම ආශිර්වාද ලැබෙනවා. පින්වත්, ගුණවත් , නැණවත් අය මධ්‍යම ප්‍රතිපදාවට, නිවන් මඟට, බැසගෙන යනවා.