Print this Article


තමාට, තමා සැකසීමට කාලය ඇවිත්

තමාට, තමා සැකසීමට කාලය ඇවිත්

හිත හැදුවොත් ගත හැදෙනවා

 

සම්බුද්ධ දේශනාවේ සඳහන් සතර කමටහන්, චතුරාරක්ඛක භාවනා වශයෙන් හැඳින්වෙනවා. ඒ බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුභය හා මරණසතිය යි.

මේ භාවනා සතර අනුස්සති භාවනා හෙවත් ආරක්ෂක භාවනා වශයෙන් ධර්මයේ සඳහන් වෙනවා. කුමකින් ආරක්ෂා වීම පිණිස ද? ලෝකයේ මනුෂ්‍යයන්ගෙන් ඇතිවෙන්නා වූ යම් බියක් වේ නම්, ඒ බියෙන් අතමිදීම සඳහා ආරක්ෂක භාවනාවන් උපකාර වෙනවා.

එසේම ගුණ පිළිවෙත් පුරන්නා වූ උත්තමයන්ට යම් අමනුෂ්‍ය දෝෂයක් එළඹෙනවා නම්, එයින් ආරක්ෂාවීම පිණිස ආරක්ෂක භාවනාවන් උපකාරී වෙනවා. අපට තිබෙන බලවත් ම උපද්‍රවය කෙලෙස් සතුරන්ගේ පහර දීම යි. ඒ කෙලෙස් සතුරන්ට මුහුණ දීම සඳහා මේ ආරක්ෂක භාවනා සතර අපට සන්නායකයක් වැනි යි. යුද්ධයකට යන සෙබළෙක් සතුරු පහරින් මොහොතකින් විනාශ වෙනවා සේ, ආරක්ෂක භාවනාවන් තිබියදී, ආරක්ෂාව සපයා නොගැනීම හේතුවෙන් මුලු මහත් ලෝක ප්‍රජාව සියලු ආකාරයෙන් ම විශාල අනතුරකට මුහුණ දී තිබෙනවා.

මනුෂ්‍ය උපද්‍රව

අද ලෝකයේ ඇතැම් මිනිසුන් එකිනෙකාට විරුද්ධ වී එකිනෙකා ඝාතනය කරන තැනකට පත්ව තිබෙනවා. මනුෂ්‍යයන්ගේ අමනුෂ්‍යගති ඉස්මතු වන්නට ලෝකයේ අමනුෂ්‍ය බලය කියන දෙය බලවත් වෙනවා. මුලු මහත් සත්ත්ව ප්‍රජාව ම කෙලෙස් සතුරන්ට වසඟ වෙලා, කෙලෙස් දුරු කරගැනීම වෙනුවට කෙලෙස් සතුරන්ගෙන් වැනසෙන තරමට මුලු මහත් සත්ත්ව ප්‍රජාව පත් වෙලා. මෙලෙස කෙලෙස් අධිකවන විට, සත්ත්වයන්ගේ ආයුෂ අධික වේගයෙන් පිරිහී යනවා. ඒ නිස යි, මිනිසුන්ගේ ආයුෂ අවුරුදු සියයකට වඩා අඩු කාලවල දී ලෝකයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ නොවෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ආරක්ෂාව හැම වේලාවක ම, සෑම තැනක ම ප්‍රායෝගික වන සේ සලසා දී තිබෙනවා.

දුගතිය පිරවීම

අංගුත්තර නිකායේ තික නිපාතයේ සඳහන්වන ලෙස එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේගෙන් බ්‍රාහ්මණයෙක් මෙලෙස විමසුවා. ‘ස්වාමීනී, අතීතයේ අපේ ආචාර්ය, ප්‍රාචාර්යවරු මෙවැනි කතාවක් කියා තිබෙනවා. අතීතයේ මනුෂ්‍ය ලෝකය අවීචිය සේ සෙනඟ පිරී සිටින තැනක්. එහි ස්වභාවය නැළියකට පිටි පිරවූවා වැනි යි”

දැන්, ඒ කාරණය තේරුම් ගන්න පුළුවන් නේද? මේ ලෝකයේ මිනිසුන් සුගතිය පිරවූයේ නැති වුණාට දුගතිය පුරවනවා යනුවෙන්? ලෝකයේ බොහෝ මිනිසුන් සතර අපාය පුරවන නිසා අවීචිය නැළියකට පිටි පිරවූවා සේ පිරී තිබෙන බව දේශනාවේ සඳහන් වෙනවා.

නැළියකට සහල් පිරවූවොත් සහල් අතර යම් ඉඩකඩක් තිබෙනවා. නමුත් නැළියකට පිටි පිරවූවොත්, පිටි අතර ඉඩක් දකින්න බැහැ. අවීචිය එතරම් ම නිරි සතුන්ගෙන් පිරී පවතිනවා. බ්‍රාහ්මණයා මෙලෙස විමසනවා “ස්වාමීනි, අතීත මනු ලොවත් එවැනි මිනිසුන්ගෙන් පිරී පවතිනවා ද? එකල පියස්සෙන් පියස්ස යාබද වන තරමට නිවාස තිබුණු බවටත්, ඒ තරමට ම සෙනඟ සිටි සිටි බවත් ආචාර්ය , ප්‍රාචාර්යවරු කියා තිබෙනවා. ස්වාමීනී, අද බලන විට මනු ලොව එලෙස නැහැ. මිනිස් ජනගහණය තුනී වෙලා.

ජනගහනය තුනී වීම

මේ කාරණය අපට හොඳින් තේරුම් ගත හැක්කේ, අනුරපුර, පොළොන්නරුව, මිහින්තලය වැනි පෞරාණික ස්ථානයන්ට ගිය විට යි. එහි වැඩ සිටි ස්වාමීන් වහන්සේලා දන් පූජා කළ ස්ථාන, දානය, කැඳ වර්ග , ආදිය දන් ඔරුවල පුරවා මහා සංඝරත්නයට පූජා කළා. එතරම්ම දන් වළඳන්නට, එතරම්ම කැඳ පිළිගන්වන්නට, මහා සංඝරත්නය ම මේ රටේ කොපමණ වැඩ සිටින්නට ඇති ද? සිතුල් පව්වේ ම මහ රහතන් වහන්සේලා හැට දාහක් වැඩ සිටි බව අප අසා තිබෙනවා. එතරම් මහා සංඝරත්නය එක් විහාරයක වැඩ සිටියානම්, ලක්දෙරණ පුරා කොපමණ වැඩ සිටින්නට ඇතිද? මේ උත්තමයන් වහන්සේලාට සිව් පසයෙන් උපස්ථාන කරන්න කෙතරම් ගිහියන් සිටින්නට ඇති ද?

මෙතරම් සෙනඟ පිරුණු රටේ, ලෝකයේ අද වනවිට සෙනඟ තුනී වෙලා ගිහින්. ඒ නිසා මෙලෙස වෙන්නට හේතුව කුමක්දැ’යි බ්‍රාහ්මණයා, බුදුරදුන්ගෙන් විමසා සිටියා. “බ්‍රාහ්මණය, පළමු කාරණය වන්නේ ලෝකයේ මිනිසුන් අන් සතු දෙයෙහි අධික ආශාව ඇති කර ගන්නවා. එනම්, විෂම ලෝභය නොහොත් අධර්ම රාගය යි. මේ නිසා අධිකතර දුරාචාර ආරම්භ වනවා වගේ ම එකිනෙකා එකිනෙකා විසින් මරා ගන්න පටන් ගන්නවා. ඒ හේතුවෙන් මිනිස් ජනගහණය වේගයෙන් තුනී වී යනවා. මේ නිසා ගම් වශයෙන් තිබුණු ප්‍රදේශ ගම් නොවන තැනට පත් වෙනවා. රාජධානී වශයෙන් තිබුණු ප්‍රදේශ රාජධානී නොවී යනවා. නගර ප්‍රදේශ නගර නොවී යනවා. අද එය ලොවේ දකින්න තියෙනවා. මිනිසුන් අන් රටවල ඇති සම්පත් කෙරෙහි ඇති අධික ආශාව නිසා බලවත් රාජ්‍යයන් විසින් අන් රාජධානී නැති කර දමා , සියලු නගර නගර නොවන තැනට පත් කර, මිනිස් වාසයෙන් තොර කර තිබෙනවා.

හමන සුළඟ ද විෂම ය

මිනිසුන් එකිනෙකා අධර්ම රාගයෙන් යුක්ත වන විට, අන් සතු දෙයෙහි ආශාව අධික වන විට, මිනිස් සිත් අතිශයින් ම දූෂිත යි. ඒ අය සෑම වේලාවක දීම අන් සතු දේ කඩා වඩා ගැනීමට බලාපොරොත්තුවෙන් පෙළෙනවා. එකිනෙකාට සාප කරනවා, වෛර සිතින්, ලෝභ සිතෙන් පීඩා විඳිමින් දැවෙමින්, පිච්චෙමින් සිටිනවා. ඒ හේතුවෙන් පායන කාලයට නොපායා, වැසි කලට වැසි නැති ව යනවා. හමන සුළඟ පවා විෂම ව හමනවා. මහ පොළොවේ ඇති සාරවත් ගතිය නැති ව ගොස් පොළොවේ ඇති බෙහෙත් පැළෑටියේ පවා ගුණය නැතිව යනවා. ගස් කොළන්වළ, බීජ ගුණය නැතිව යනවා. අවසානයේ මහ පොළොවෙන් උපදවා ගන්නා ඵලය පවා වස බවට පත් ව මිනිසුන් රෝගාබාධයන්ට ලක් වෙනවා. ඒ හේතුවෙන් මිනිස් ආයුෂ පිරිහී අවසානයේ , අකාලයේ මිය යනවා. මේ සියල්ල මේ වනවිට අපට ලෝකයේ නුපුරුදු කාරණා නො වෙයි. එදා සර්වඥාතා ඥානයෙන් වදාළ මෙවැනි කාරණා අද අප ප්‍රත්‍යක්ෂ කරමින් සිටින යුගයක්.

තෙවන කාරණය වන්නේ මෙලොව මිනිසුන් අධර්ම රාගයෙන් යුක්තවන්න, අන් සතු දෙයෙහි ආශාව ඇති වන්න, ඒ හේතුවෙන් මිනිසුන් අධාර්මික වෙන තැනකදී ලොවේ සිටින දරුණු අමනුෂ්‍යයන් තම අමනුෂ්‍ය සේනාව මෙලොවට මුදා හරිනවා. ඒ අය ධර්මයෙන්, ගුණයෙන් සන්නද්ධ නැති , සීලයෙන් සන්නද්ධ නැති දුර්වල වූ මනුෂ්‍යයා යක්ෂයන්ගේ වසඟයට ගන්නවා. ඉන්පසුව ඉතිරි මනුෂ්‍ය ප්‍රජාවත් විනාශ කර දමනවා. මේ කාරණා තුන ඔස්සේ මනුෂ්‍ය වාසය තුනී වී එහෙමත් නැතිනම් මනුෂ්‍ය වර්ගයා නැති වී ගම්මාන නොවන තැනටත්, නගර නගර නොවන තැනටත් , රාජධානි රාජධානි නොවන තැනටත් පත්ව මනුෂ්‍ය ප්‍රජාව හීන වී පිරිහෙන බව බුදුන් වහන්සේ දේශනා කරනවා. මේ සෑම අවස්ථාවක දී ම බුදුන් වහන්සේ ආරක්ෂාවීමේ මාවත පෙන්වා දුන්නා. එහෙත් එවැනි ශාස්තෘන් වහන්සේනමකගේ ශ්‍රාවකයෝ ලෙස අපට ඒ මාවත නිසි ලෙස තෝරාගන්න, බේරාගන්න බැරිවීම නිසා අනාථ නොවිය යුතු ශාසනයක අප අනාථයෝ සේ සිටිනවා.

ඒ නිසා බුදුන් වහන්සේ වදාළ ධර්මය මනාකොට ජීවිතයට එකතු කරගන්න වීර්යවන්ත විය යුතු යි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ රැකවරණය පිණිස සියලු කාරණාවන් දක්වා තිබෙනවා. අනුභව කළ යුතු දේ, අනුභව නොකළ යුතු දේ ( මනුස්ස මස්, අලි මස්, අශ්ව මස්, කොටි මස් , දිවි මස්, බලු මස්, සර්ප මස්, වලස් මස්, වෘක්ක මස්, සිංහ මස්) දේශනා කර වදාළා. ඒ මුලු මහත් සත්ත්ව ප්‍රජාව පිළිබඳ බුදුරජාණන් වහන්සේට තිබුණු අප්‍රමාණ කරුණාව, මෛත්‍රිය නිසයි.

තමා රැක නොගත් තැන

තාක්ෂණික දෝෂ , තාක්ෂණයේ දියුණුව, වෙරසයකින්, න්‍යෂ්ටික අවිවලින් , යම් රසායනිකයන් මඟින් , අවිආයුධයන්ගෙන්, හෝ අතුරු කාරණාවන්, අනු කුඩා කාරණාවන් ලෙස අද ප්‍රාඥයෝ කොපමණ කාරණාවන් විස්තර කළත්, මේ සියල්ල සර්වඥතා ඥානයෙන් දුටු ලෙසින් එක්තැන් කර බැලුවොත්, මේ සියලු කාරණාවන්ගේ මූලය මනුෂ්‍යයා , මනුස්සකමෙන් පිරිහීම ම යි. මිනිස් සන්ථානයෙන් ලොව සියල්ල කෙලෙසනවා. සියල්ල වනසනවා. ඒ නිසා මේ විනාශය වෙන කිසිවකු කළ දෙයක් නොව, තමා රැකගත් නැති මිනිසා තමා විසින් කරගත් විනාශයක් සේ අපට මනා කොට දක්නට ලැබෙනවා. ඒ නිසයි, බුදුරජාණන් වහන්සේ වදාළේ, මේ ලෝකයේ දිය රැගෙන යන මිනිසුන්, ඇළ දොළ කපා අවශ්‍ය තැනට දිය රැගෙන යනවා සේ, දඬු මුඟුරු නවා ඊතල හදන මිනිසුන් ඊතල ඇද අරිනවා සේ , මහ දැව කඳන් කපා නවා රවුම් කර කරත්ත රෝද සකසන අය, ඒවා හදා ගන්නවා වගේ, සත්පුරුෂ නුවණැති මිනිස්සු තමන්ගේ සිත හදාගන්නවා. ඒ අවවාදය සිතමින් ලෝකය සකසනවා නොව, තමාට තමා සැකසීමට කාලය මනුෂ්‍යයාට උදාවෙලා තිබෙන බව කරුණාවෙන් සිහිපත් කරමු.