Print this Article


දරුවන් තිදෙනාම සම්බුදු සසුනට

දරුවන් තිදෙනාම සම්බුදු සසුනට

හතරවරිගයක් නෑ පරපුර නිවන් දකින මහ පින්කමක්


මාවැල්ලේ රතන හිමි

ඝන අඳුර දුරුකර නැගෙන පුර පෝදා සඳ පින්බර ය. ඒ පින්බර සඳ එළියේ වෙහෙර බිම බවුන් වඩන බුද්ධ පුත්‍රයන් වහන්සේගේ දසුන පින්බර සිතිවිලි ම වඩන්නේ ය. නෙත් සිත් ඇද ගන්නේ ය.

සම්බුදු සසුන් කෙතේ උදාරත්වය, චිරස්ථිතිය රැකෙන්නේ මේ පින්වත් යතිවරයන් වහන්සේලාගේ අප්‍රතිහත ධෛර්ය නිසාවෙන්ම ය. ඒ සසුන් කෙත පෝෂණය කරන්නට, පින්බර දරුවන් දායාද කරන්නට සෑම අම්මා කෙනෙකුම, සෑම තාත්තා කෙනෙකු ම පින්වන්ත නැත . ඒ පරිත්‍යාගය කරන මව්පියවරු උදාර ය. ආදර්ශවත් ය. අගය කළ යුත්තෝම ය. ගෞරව බහුමානය හිමිවිය යුත්තෝ ම ය.

ඌව කුඩාඔය පරාක්‍රමපුර පදිංචි කේ. ඒ ඉරේෂ් ඉන්දික පියාණන් ද, කේ. එච් රෝහිණී මෑණියන් ද එවන් පින්වත් මව්පියවරු අතරට එක්වේ. මව්පියන් සතු අමිල වස්තුව තම දරුවන් වුව ද දරුවන්ගේ මතු ආරක්ෂාවත්, දියුණුවත්, සම්බුදු සසුනේ අනාගත සුරක්ෂිතතාවත් පතා එක් දරුවෙක් නොව තම දරුවන් තිදෙනා ම සසුනට පූජා කිරීමට සිත සකසා ගත් මේ මව්පියන් සැබැවින් ම ආදර්ශවත් ය.

ඒ පින්බර මෑණියන් තම හඬ අවධි කළේ ඉතා සැදැහෙන් වුව ද සඟවා ගත් දරු සෙනෙහස මතු වී , ඇගේ හඬ ද, දසුන ද හැඟුම් බර විය. “මගේ ලොකු පුතා තක්ෂල මධුවන්ත (16) , දෙවන පුතා හිරුෂ මධුවන්ත ( 11), තෙවන පුතා හිම්ෂාන් මධුවන්ත (08). දරුවන් තුන්දෙනාම එක දම්වැලක් වගේ හරිම එකමුතු යි. හරිම ශාන්ත යි, කවදාකවත් විහිළුවකටවත් බොරුවක් , නරක වදනක් කියන්නේ නැහැ.

පායන කාලෙට බාල දරුවන් දෙදෙනා නැගෙනහිර අහස බලාගෙන වැසි පිරිත කටපාඩමෙන් කියනවා. අප පුරුද්දක් ලෙස දිනපතාම රාත්‍රියට බුදුන් වඳිනවා. බාල පුතා වන්දනාමාන කර අවසානයේ බොහෝ වෙලා භාවනා කරනවා. ඒක මටත් පුදුම යි. අවුරුදු අටක ළමයෙක් කය ඍජුව තබා ගෙන එරමිනියා ගොතාගෙන මෙහෙම භාවනා කරන්න පුරුදු වුණේ කොහොමද කියලා? ඒ සංසාර පුරුද්දක් වෙන්න ඇති කියලා මට අනන්තවත් හිතුණා.”


දයාබර මව්පිය දෙපළ

එක දවසක් “අයියේ, ඔයා ගෙදර ඉඳන් අම්මා - තාත්තා බලාගන්න” කියලා, බාල දරුවන් දෙදෙනා පැවිදි වීමේ අපේක්ෂාවෙන් පන්සලේ නැවතුණා. ඒත් නිවසේ කෙළි දෙලෙන් පසු වූ මල්ලිලා දෙදෙනා නැති පාළුව අපට වගේම ලොකු පුතාටත් දරාගත නොහැකි දුකක් වුණා. ඒ නිසා ම ඔහුත් පන්සලේ ම මල්ලිලා සමඟ නැවතුණා.

පසුව දරුවන් තිදෙනා ම කුඩා ඔය සුබෝධිවංශ, කුඩාඔය සුඛිතවංශ හා කුඩාඔය සුමිත්ත වංශ නමින් මාතර තලල්ල ලංකා රාජ මහා විහාරාධිපති කුඩාවැල්ල ශ්‍රී කල්‍යාණවංශ මූලික පිරිවෙනේ පරිවේණාධිපති මාවැල්ලේ චන්දිම හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා ශ්‍රී කල්‍යාණවංශ මූලික පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති මාවැල්ලේ රතන හිමියන්ගේ ආචාර්යත්වයෙන් සසුන්ගත කළා.

ලේ , මස්, නහර, ඇට මිදුළු පුරා කා වැදුණ, දරු සෙනෙහසින් මා එදා හඬා වැටුණා. ඒත් සන්සුන් ගමනින් වැඩම කරන මේ පොඩි හාමුදුරුවරු අනෙකුත් දරුවන්ට ආදර්ශයක් දෙමින් සම්බුදු සසුනේ රැකවරණය ලැබීම ගැන මව්පියන් වූ අප ලබන්නේ අපමණ සතුටක්. එය වචනයෙන් විස්තර කළ නො හැකි යි.