Print this Article


පහන් සිතක කවි

කාලයේ අරුමය

දින දින නුඹ ලොකු මහත් වන හැටි දැකලා
දෙනෙතට සතුටු කඳුළැලි නිතරම පිරිලා
හෝඩි පොතේ මුලකුරු හොඳ හැටි කියලා
පෙර පාසල් ගිය මුල් දින ඇත මැවිලා

කාලය කෙමෙන් නුඹ මා හැර දමා ගියා
ඒ ගැන සිතන විට ඇත්තට දුක හිතුණා
නුඹ මගෙ කුස තුළට ආ දින මතක් වුණා
කාලය වෙනස් නුඹ නොවෙනස් යැයි සිතුණා


මෙවර ජයග්‍රාහී කවිය

සුරලොවෙත් නැති සැනසීම

ඇසි දිසි තුළින් දෙසූ සදහම් මෙනෙහි කර
නොතිර පස් කඳක් ගෙන ආ ගමන දුර
සිහිකර මම කියා පුඟුලකු නොමැති වර
කුමටද රකිනු ජරපත් කය නොමැති තිර

පොදි ගහගෙන තදට තණ්හා සහ ආසා
නැත තේරුමක් ගත කර දවසක් පාසා
මියැදෙන එකා යළි ඉපදෙන තැන නාසා
සුරලොව ගිය ද සැනසීමක් නැත මේසා


පෙම්බර පියාණෙනි

දම් ගති සිරිත් නිබඳව මා වෙත බෙදිණි
කෙම් බිම තනා දුන් මා වෙනුවෙන් සොඳිනි
සිප් නැණ දෙවා මා සුමඟට කළ තෙදිනි
පෙම්බර පියතුමන් පා නමදිමි බැතිනි

කවි ගී නොලීවත් පන්හිඳ රැඳුණු අතක්
සෙනෙහස පිරුණු රස ගීයක වීය තතක්
අප වෙනුවෙන් බවුන් වැඩුවා ගතත් සිතත්
ගෙදර බුදුන් මව මෙන් බුදු කෙනෙකි පියත්


සමනොළ පුරාණය

සුමන දෙවිඳු කළ ඇරැයුම පරිදි
බුදු හිමි සිරි පතුල එහි තැබු බව පෙරදී
අදහති බොදුනුවෝ හෙළ වහරෙහි පැහැදී
එම අදහසට අන් හැම මතයම පරදී

සැම දෙන වඳීති සිරිපද තම මුනි ඳුන්ගේ
බුදු සිරි පතුල බව හැඟුමයි බොදු වන්ගේ
මහ අසිරියකි සැලකිලි හැම මිනිසුන්ගේ
මෙය හුදු හාස්කම විය හැක දෙවියන්ගේ


ඕඝ තරණය

සතර පෙර නිමිති දැක
සංසාර බැමි ලිහා
වළාරොදක් සේ සැහැල්ලුවෙන්
සංසුන්ව තරණය කළා
ඕඝය
අප ලොවුතුරු බුදු සමිඳා


වෙනස කිම

නිරතුරුවම කැරකෙන ලෝ නොතිර බවේ
නොනිමි දිවි ගමන සැමවිට තිර ද නොවේ
පොදු වෙයි සනාතන දහමක වෙනස ලොවේ
වෙනස් නොවන්නේ නම් එපමණකි ලොවේ

මහ මේඝයෝ රඟමින් දූ කෙලි වපුලු
පෙරළී නොයාවි ද සත්කුළු පව් වළලු
පස් පව් නසා මෝහය දුක දුර දුරලු
තුන් ලෝ තිලක හිමි දෙසු දහමට නතුලු


මුනි සිරිපද වඳීමි

දහම් දෙසන බුදු හිමි දැක අදමිත දන එක පෙළෙන්
පැමිණ මිහිර රස උර , උර වැතිරුණු බිම ගුණ බෙලෙන්
දැපුණු සිතින පබතුරු ලෙස නොකිළිටි විකසිත මලින්
වඳිමි සුගත මුනි සිරි පද සිඹ, සිඹ මම හද බැතින්

අමරා අලහකෝන්
බෙලිගොල්ලවත්ත, කිරිඳිවැල


මරණය විරාමයක් නොවේ

මැරෙන බව කීවත්
ඔබ මගෙන් වෙන්වන්න
අහවරයි කියා සියල්ල
මොහොතක් වත් නොසිතන්න
යළි දිනක හමුවෙලා
ඔබ මගේම වේවි
මරණය විරාමයක් කියා
කිසි විටක නොසිතන්න
සමිඳු බණ අසන්නට
පොඩියක් නවතින්න


තිසරණ

තිලොවට තිලක වූ සම්බුදු පියාණෙනි
තිලොවම එළිය කෙරු භගවත් මෑණියනි
මරණය මරා සසරෙහි දුක නිවාදුනී
පළමුව වඳීමි බුදු සමිඳුට හද බැතිනී

සසරෙහි තිබෙන දුක නැණසින් දුටු හන්දා
එය නැති කරන්නට බුදු හිමි දුක් වින්දා
නිවනට යන මගත් එළිකර දුන් හින්දා
සිරි සම්බුදු දහමට දෙවනුව වැන්දා

සම්බුදු දහම ලෝ සතහට දෙසන්නට
සඟ පරපුරක් බිහි කළෙ එය රැක ගන්ට
මහ සඟ රුවනක් ය බුදු දම පතුරන්ට
තෙවනුව වඳීමි මහ සඟනට පිබිදෙන්ට


කවුරුත් මිනිසුන්

අපි කළ පව් පින් අපි ගෙනයනවා
හම්බ කරපු දේ ගෙදර තියෙනවා
මරණය කොයි මොහොතක හරි එනවා
එදාට තනියම යන්නට යනවා

තමන් ගැනම පමණක් නොසිතන්න
අනුන් ගැනත් සැම විටම සිතන්න
වෙනස් කමක් කිසිවිට නොකරන්න
කවුරුත් මිනිසුන් බව සලකන්න


කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු

බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනෙකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.