Print this Article


අපවත්වී වදාළ අපේ ලොකු හාමුදුරුවෝ

අපවත්වී වදාළ අපේ ලොකු හාමුදුරුවෝ

සිය ආචාර්යෝත්තමයාණන් වහන්සේගේ පා සෙවණෙහි ථේරවාද බෞද්ධ භික්ෂුවක විසින් ලබා ගත යුතු වූ ධර්ම විනය, භාෂා- ශාස්ත්‍ර පිළිබඳ විසල් දැනුමක් ලබා ගත් අප කථානායකයාණන් වහන්සේ 1936 ජූලි මස 30 වෙනිදා කැලණි නදියෙහි ඉදි වූ රමණීය උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදාව ලැබූහ.

අතිපූජ්‍ය පැළෑණේ සිරි වජිරඤාණ මහනාහිමි, තල්අරඹේ ඉන්දසාර මාහිමි, අහංගම පඤ්ඤාලෝක මාහිමි යන මහ තෙරුන් වහන්සේලා උපසම්පදාවේ දී උන් වහන්සේට කර්මවාගාචාර්යවරු වූහ.

එතැන් පටන් බම්බලපිටිය සිරි වජිරාරාමය කේන්ද්‍ර කර ගනිමින් සිය ජීවිතය දහමින්, විනයෙන් පෝෂණය කරමින් සැබෑ භික්ෂුත්වයේ ප්‍රතිමූර්තියක් බවට පත් වන්නට වූහ. ප්‍රශස්ත මුනිවරයෙකු සතු විය යුතු ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත, ධර්මධර, ධර්මානුධර්මප්‍රතිපන්න යන සංඝශෝභන ගුණ හයෙන් දිදුළන්නට වූහ. අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝ යි පැවැසූ ලෙසින් භික්ෂු ආකල්ප කුමක්දැයි අවබෝධ කර ගෙන කටයුතු කළහ. අන් අයට ද ඒමග පෙන්වා දුන්හ. තුරුණු වියෙහි පටන් ඉතා සෘජු ව හා කාර්යශූරී ව කටයුතු කළ අප හිමිපාණෝ ගුරු ගෞරවය ඉතා ඉහළින් සිය ජීවිතය තුළ විදහා දැක්වූහ. ගිලන් වූ තම ගුරු ‍දෙවි උතුමන්ට තුරුණු වියෙහි පසුවන භික්ෂුවක ලෙසින් මහත් කැපවීමෙන් හා සෙනෙහසින් සිදු කළ උවටැන්හි ඵල උන් වහන්සේ මේ අත් බැව්හි දී ම අත් වින්දාහ. වසර දහයකට අධික කාලයක් වයස්ගතවීම නිසා ම එක්තැන්ව සිටින්නට වුවත් සිය උපස්ථායක දීපාලෝක හිමියන්ගේ සෙනෙහෙබර උවැටැන නිසා උන් වහන්සේගේ සිරුරෙහි එකදු බිබිලක් හට නොගත් බවත්, කිසිදු දුර්ගන්ධයක් එක මොහොතකට හෝ නොදැණුන බවත් සැවොම දන්නා කරුණකි. එවන් අසිරිමත් උපස්ථානයක් උන් වහන්සේ හිමි කර ගත්තේ සිය ගුරුදේවයාණන් වහන්සේ වෙත සියැතින් ම සිදු කළ උපස්ථාන නිසා බව අපගේ විශ්වාසය යි.

සිය ගුරු දේවෝත්තමයාණන්ට උවැටන් කරන බොහෝ අවස්ථාවල උන් වහන්සේගේ මුවින් නික්මුණු වදනක් වූ මට තව හොඳ භික්ෂූන් වහන්සේලා පනහක් හදලා මැරෙන්න ඇත් නම් යන්න අප ස්වාමිපාදයාණන් වහන්සේගේ හදවතෙහි ගැඹුරින් ම තැන්පත් විය. සිය ගුරුදේවයාණන් වහන්සේගේ මේ උතුම් පැතුම කෙලෙසකින් හෝ සම්පූර්ණ කළ යුතු යැයි ගැඹුරින් ම සිතෙහි තැන්පත් කර ගත් උන් වහන්සේ මේ උතුම් කාර්යයට සාකල්‍යයෙන් ම සුදුස්සා වනුයේ සිය ජේෂ්ඨ පැවිදි සහෝදර අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මාහිමිපාණන් වහන්සේ බව කල් තියා ම වටහා ගෙන කටයුතු කළහ. ගුරු දේවෝත්තමයාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසු ස්වීය නිකායේ අභිනව මහානායක පදවියට ද පත් සිය පැවිදි සොයුරු අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ සමඟින් එක් ව උන් වහන්සේ ගුරු දෙවිතුමන්ගේ අභිප්‍රා‍ය ඉෂ්ඨ කරනු පිණිස කටයුතු ආරම්භ කළහ. උගත්, සිල්වත්, ගුණවත් භික්ෂු පිරිසක් සසුනට දායාද කිරීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය ඇරඹුණේ එලෙසිනි. සිය ගුරු දෙවිඳුන්ගේ ශී‍්‍ර නාමයට උපහාර පිණිස ආරම්භ කරන ලද එම ආයතනය මේ වන විට මුළු ලොව සම්බුදු දහම බෙදන ප්‍රධාන මධ්‍යස්ථානයක් වී හමාර ය.

1958 අප්‍රේල් මස 21 වෙනිදා හෙවත් හරියටම අමරපුර ශී‍්‍ර ධර්මරක්ෂිත මහානිකායේ වත්මන් මහානායක ධුරය හොබවන, මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයෙන් බිහි වූ සුවිශිෂ්ට ම ශිෂ්‍යරත්නය වන අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහානායක මාහිමිපාණන් වහන්සේ මෙලොව එළිය දුටු දාට පසු දින ආරම්භ කරන ලද මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වත්මන් දියුණුවේ පදනම අප මාහිමිපාණන් වහන්සේ ම ය. සිය ආචාර්යත්වයෙන් හා අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් සියයකට අධික පැවිදි සිසු පිරිසක් සසුනට දායාද කළ අප මාහිමිපාණන් වහන්සේ සිය සිසු දරුවන්ගේ ලොකු හාමුදුරුවෝ වූහ. ධර්මායතනයේ සිසු දරුවන්ට දෙමාපිය දෙපළක් වූහ. පියා අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ ය. මව අප ලොකු හාමුදුරුවන් වහන්සේ ය. සැබැවින් ම ගෙදරක පියා ගෙදරින් බැහැරව රාජකාරියට යමින් ද, තම දරුවන්ට අවවාද දෙමින් ද කටයුතු කරන්නේ යම් සේ ද, ‍එලෙසින් ම මහනාහිමිපාණන් වහන්සේ සිය සිසුනට පියෙකු සේ කටයුතු කළහ. උන් වහන්සේ සිය සිසුන්ට නිතර අවවාද කළේ නැත. නමුත් සතියකට වතාවක් අවවාද කළහ. උන් වහන්සේ සිසුනට දඬුවම් කළේ ද නැත. එනමුදු කිව යුත්ත හිත වදින සේ පැවැසූහ. ලොකු හාමුදුරුවන් වහන්සේ සිය සිසු දරුවනට අතිශයින් ම ආදරය කළහ. දඬුවම් ද කළහ. දිනපතා අවවාද කළහ. සිය සිසුන් සමඟින් ම කාලය ගත කළහ. සිසුන් සමඟින් ම බුදුන් වැන්දාහ. සිසුන් සමඟින් ම වත් පිළිවෙත් ද කළහ.

සිසුන් සමඟින් උන් වහන්සේ අතිශයින් ම පි‍්‍රය කළ පිණ්ඩපාත චාරිකාවෙහි වැඩියහ. සිසුන් සමඟින් ම භාවනා කළහ. සිසුන් සමඟින් ම ධර්මායතන භූමියෙහි පැළ සිටවූහ. වතුර දැමූහ. ආරාම භූමිය පිරිසුදු කළහ. එය සියලු කටයුතු විනය අනුව ම සිදු කළහ. උන් වහන්සේ ආචාර ගෝචර සම්පන්නය හ. අල්ප මාත්‍ර වූත් වරදෙහි භය දක්නා සුළු වූහ. අතිශය ශික්ෂාකාමී වූහ. උන් වහන්සේ දායකයන්ට අතිශයින් ම පි‍්‍රය වූහ. සොඳුරු කථා ඇති උන් වහන්සේ පුතා යන වදනින් ගිහි පැවිදි බොහෝ දෙනා ඇමැතූහ. එය බොහෝ දෙනාගේ ආකර්ෂණයට හේතු විය. උන් වහන්සේ සතු වූ අපරදිග භාෂා ඤාණය නිසා ඉංගිරිසි බස පි‍්‍රය බොහෝ දෙනාගේ පැහැදීම උන් වහන්සේට හිමි විය. අගනුවර බොහෝ ධනවත්, උගත් පවුල්වල උදවිය හා ව්‍යාපාරික පවුල්වල උදවිය උන් වහන්සේගේ ඇසුර රිසි වූහ. සුරාවට ඇබ්බැහි වූ බොහෝ දෙනා උන් වහන්සේගේ කල්‍යාණ මිත්‍ර ඇසුර නිසා සිය ජීවිතය දහමට නැඹුරු කොට දිවි මග ජය ගත්හ.

උන් වහන්සේ වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම සැබෑ භික්ෂුත්වයේ ප්‍රතිමූර්තියකි. ආදර්ශ සම්පන්න ගුරුවරයාණ කෙනෙකි. සිය ඇසුරෙහි හැදෙන වැඩෙන සැම දෙනාට ම නැ‍ඟෙන්නට අත දෙමින්, වැටෙන්නට යන සෑම විටදී ම නඟා සිටුවමින්, දිරි දෙමින් කටයුතු කළහ. ලොකු හාමුදුරුවෝ සිසුන් හික්මවීමෙහි දී විටෙක ගලක් සේ දැඩි වූහ. විටෙක මලක් සේ මෘදු වූහ. උන් වහන්සේ ශිෂ්‍යයන් හික්මවීමෙහි දී භාවිත කළ ඇතැම් ක්‍රම වේද ඉතා උසස් මනෝවිද්‍යාත්මක පදනමකින් යුක්ත ඒවා බව දැන් අපට මැනැවින් වැටහේ.

ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට යන උපදෙස මැනැවින් පිළිගත් අප ලොකු හාමුදුරුවන් වහන්සේ සැබැවින් ම ආදර්ශ සම්පන්නය හ. උන් වහන්සේ සිසුන් සමඟින් උදාසනින් පිබිදී බුදුන් වඳීති. බුද්ධ වන්දනාවේ දී කුඩා සාමණේරයන් වහන්සේලා විසින් වරදවා කියන ලබන ගාථා උච්චාරණයන් නැවත නැවත සකස් කරති. නිවැරදි දේ ම නිසි ලෙසින් කරන්නට පවසති. උන් වහන්සේ නිසි කලට වැඩ කිරීමෙහි ගුණයෙන් ද යුක්තයහ. කිසිදාක වැඩකටයුතු පමා වී සිදු කරන්නේ නැත. බණට වැඩියත්, දානයට, පිරිතට පමණක් නොව පාංශුකූලයට වැඩියත් නිසි වෙලාවට වැඩම කරති.