සියවසෙක සුපිපි
සසුන් සියපත
තිරිකුණාමලේ
ආනන්ද මහ නා හිමි
සසර නමැති විෂ කටු ගහේ අමා වන් පල දෙකක් හට ගන්නා බවත්, සුභාෂිත රසාස්වාදනය ඉන්
එකක් වන අතර, අනෙක සත්පුරුෂයන් හා එක් වීම වන බවත් පැරැණි පඬුවෝ කීහ. සර්වාර්ථය
සිදු කර දෙන සත්පුරුෂයෝ වූකලි රටකට, ජාතියකට මතු නො ව, සසුනට ද අනර්ඝ අමිල
මාණික්‍යයෝ ය. සත්පුරුෂ මවුපියන්, සත්පුරුෂ ගුරුවරුන් ඇති කළ ජාතියකට හිමි වන
ඵලදායිත්වය, සඵලත්වය පමණ කළ හැක්කේ නොවේ. සම්බුද්ධ ශාසන විෂයයෙහි ද මෙම කරුණු
සුවිශේෂ ව නැඟී සිටී.
මහරගම සිරි වජිරඤාණ ධර්මායතනාධිපති, ‘ශ්‍රී ධර්මරක්ෂිත වංශාලංකාර උපාධ්‍යාය’
අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුළ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ එබඳු ජෝතිමත්
සත්පුරුෂ ඇදුරු පරපුරක් සුසොබමන් කළ අද්වීතීය ආචාර්යපාදයන් වහන්සේ කෙනෙකි.
1914 දෙසැම්බර් 24 මැදියම් රෑ නත්තල් උදාවට ආසන්න ව මහනුවර අම්පිටියේ දී කරුණා
රාජපක්ෂ, සයිමන් රාජපක්ෂ දම්පතීන් මවුපියන් කොට මෙලොව එළිය දුටු පින්වත් දරුවා
නමින් ‘ධර්මදාස’ වී ය. සැදැහැවත් බුදුනුවන් වූ රාජපක්ෂ දම්පතීන් නත්තල් රෑ උපන් සිය
බිලිඳා හොඳ බුදුනුවකු නො වෙති යි සිතුව ද, වයස කෙමෙන් මුහුකුරා යත් ම, පෙර පින මතු
වීම නිසා දෝ ආගම දහමට ළැදි ව වෙසෙස් සිරිත් ලකුණු ඇති සිරිමත් දරුවකු ගේ ගති සොබා
පළ කෙළේ ය.
අම්පිටියේ ශාන්ත මේරි කතෝලික පාසලින් අධ්‍යාපනය ලබා භද්‍ර යෞවනයෙහි දී ගිහි
බැඳුම්හි ඇලුම් හැරපියා පැවිදි වන්නට සිතමින් සිටි ධර්මදාස තරුණයාට පරම පූජ්‍ය
පැළෑණේ සිරි වජිරඤාණ මහානායක මාහිමිපාණන් වහන්සේ ගේ ගුවන් විදුලි ධර්ම දේශනා ඇසීම
නිසා උන් වහන්සේ දකින්නට බලවත් ආශාවක් ඇති වී ය. පුවත්පත්හි පළ වූ උන් වහන්සේ ගේ
දහම් ලිපි කියැවීම නිසා එය වඩාත් තීව්‍ර වන්නට විය. සිය වැඩිමහල් සොහොයුරකු වූ
මේජර් උපනන්ද රාජපක්ෂ මහතා ගේ උපකාරය ඇති ව සිය අදහස ඉටු කැරගත් තරුණ ධර්මදාස,
පැළෑණේ මහ නාහිමියන් සමඟ නිරතුරු ඇසුරට වැටී, පැවිදි වන්නට තිර අදිටනක් ඇති
කැරගත්තේ ය. 1936 මැයි 06 වන දා, ධර්මදාස අතිපූජ්‍ය පැළෑණේ සිරි වජිරඤාණ මහානායක
මාහිමියන් වහන්සේ ගේ ශිෂ්‍යයකු ලෙස ‘අම්පිටියේ රාහුළ’ යන නමින් පැවිදි බිමට පත්
වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. පැළෑණේ මහ නාහිමියන් විසින් සිය සිසුන් පැවිදි කරවන
ලද්දේ ස්වකීය ආචාර්යපාදයන් වූ අතිපූජ්‍ය වේරගම්පිට සිරි රේවත මාහිමියන් වහන්සේ ගේ
ආචාර්යත්වයෙන් බව මෙහි ලා සටහන් කළ යුතු කරුණකි. පැවිදි ව දෙ මසක කාලයක් තුළ, එනම්
1936 ජූලි 30 වන දා සුපරිශුද්ධෝපසම්පදාව ලබාගැනීමට ද උන් වහන්සේ භාග්‍යවන්ත වූහ.
අපවත් වී වදාළ ඒ ගුරුදෙවි මාහිමි සියපත සිල් නැණ ගුණ සුවඳීන් අප හදවත් අද ද තීව්‍ර
ලෙස සුගන්ධවත් කෙරේ. ඒ සුවඳ සසුන් පිළිවෙතින් සුසැදි සුවඳෙකි. ගිහි-පැවිදි සාධු ජන
හදවත් අමන්දානන්දයෙන් ආස්වාදනය කළ සුවඳෙකි. පශ්චාත් පරපුරට ද ශාසනාභිරමණයක් ඇති
කරවන සුවඳෙකි. ඒ සුවඳ එතරම් ම මහරු ය, මහනීය ය, අතිදුර්ලභ ය.
අම්පිටියේ ලොකු හාමුදුරුවන් වහන්සේ ගේ සසුන් මෙහෙවර සුවිශේෂ වන්නේ ‘විශිෂ්ට ගුරු
භූමිකාවක් ’ ඉන් පිළිබිඹු වන නිසා ය. ඒ වූකලි කේවල ශාස්ත්‍රීය අධ්‍යාපනය ඉක්මවා යන
ආදර්ශනීය වූ ගෞරවාස්පදයෙකි. පැරැණි බෞද්ධ අධ්‍යාපනයෙහි ලා මේ ලක්ෂණය විද්‍යමාන වී
ය. පැළෑණේ සිරි වජිරඤාණ මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් විද්‍යෝදය අධ්‍යාපන
සම්ප්‍රදායයේ ආභාසය ලබා ගෙන පෝෂණය කරන ලද ශාසන සම්ප්‍රදායය මඟින් අම්පිටියේ
මාහිමියන් වහන්සේට ආදර්ශවත් ගුරු භූමිකාවක් නිර්මාණය කැරගත හැකි විය.
ගෞරවාර්හ කොටහේනේ පඤ්ඤාකිත්ති මාහිමියන් වහන්සේ විසින් සඳහන් කරන ලද, මීට අදාළ වන
උපුටනයක් මෙහි දක්වනු කැමැත්තෙමි. එය මෙසේ ය. “උන් වහන්සේ (පැළෑණේ මහ නාහිමියන්)
ශිෂ්‍යයන් විනයනයෙහි ලා බලවත් සැලැකිල්ලක් දැක්වූයේ පෞරාණික මහ තෙරුන් වහන්සේලා
අනුගමනය කළ ශික්ෂා පන්තිය ගුරු කොටගෙන විය යුතු ය. අබෞද්ධ පාලකයන් දවස ලංකාවේ බෞද්ධ
ආරාම ජීවිතය පිළිබඳ ව පෙර පැවැති මනා සංවිධානය අවුල් විය. එතැන් සිට භික්ෂූන්
වහන්සේලා ගේ ඇවැතුම් පැවැතුම් පිළිබඳ ව පාලනය හා ශික්ෂණය ආරාමවාසී මහ තෙරුන්
වහන්සේලා පිට ම පැවැරුණේ ය. එයින් පෞරාණික ශික්ෂා මාර්ගය පිළිබඳ මනා වැටහීම් නැති
ඇතැම් ආරාමාධිපතීන් වහන්සේලාට ශික්ෂා ශික්ෂණ විධිවල අගය සලකාගන්නට නුපුළුවන් වූ
අවස්ථා සුලභ ය. එහෙයින් ශාසනික ප්‍රවේණිය තේරුම් ගත් විහාරාධිපතීන් වහන්සේලා සිය
ගෝළ බාලයන් ගේ ගුණ නුවණ පුහුණුව ගැන උත්සාහය අත් නො හළහ. පැළෑණේ වජ්‍රඥාන
යතීශ්වරයෝත් එහිලා විශේෂ සාවධානයකින් ක්‍රියා කළහ. උන් වහන්සේට විනීත ශිෂ්‍ය
සමූහයක් තනාගත හැකි වූයේ ඒ නිසා ය.”
ඉහත සඳහන් විනීත ශිෂ්‍ය පිරිස අතර අම්පිටියේ රාහුළ ලොකු සමිඳුනට හිමි වන්නේ
අද්විතීය ස්ථානයෙකි. යට කී ශාසනික ප්‍රවේණියට අනුගත ව ශික්ෂා ගරුක සංඝශෝභන ශිෂ්‍ය
පරම්පරාවක් හැදීමට අදිටන් කැරගත් උන් වහන්සේ, ස්වකීය ගුරුදේවයන් වහන්සේ ගේ අපවත්
වීමෙන් පසු අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායයේ මහානායක ධුරයට පත්, සිය පැවිදි
සහෝදර අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමියන් වහන්සේ සමඟ මැනැවින් සාකච්ඡා කොට
උන් වහන්සේ හා එක් ව, ස්වකීය ආචාර්යෝත්තමයන් වහන්සේට ද පූජෝපහාර වනු පිණිස භික්ෂූන්
පුහුණු කිරීමේ ආයතනයක් ඇති කිරීමට අදිටන් කැරගත්හ. ‘මහරගම සිරි වජිරඤාණ ධර්මායතනය’
එහි ප්‍රතිඵලය යි. ඒ වන විට භික්ෂූන් පුහුණු කරන ස්වාධීන ආයතනයක් ලංකාවෙහි නො
තිබිණි. මෙම කාර්ය සාධනය සඳහා ‘සාසන සේවක සමිතිය’ නමින් ශක්තිමත් දායක සභාවක් ද
පිහිටුවාගනු ලැබිණි.
මහරගම ධර්මායතනයෙහි භික්ෂූන් පුහුණු කිරීම පමණක් නො ව, ගිහියන් ගේ ජිවිත පුහුණු
කිරීමේ කටයුතු ද ආරම්භ කැරිණි. මඩිහේ මහ නාහිමියන් ගේ නව්‍යාකාර සැලැසුම් හා වැඩ
සටහන් ආයතනයට නැවුම් එළියක් ලබා දීමට හේතු විය. භික්ෂු පුහුණුවට අමතර ව ඉරු දින
ධර්ම දේශනා, ධර්ම පන්ති, පුනු පෝදා සීල භාවනා වැඩ සටහන්, ධර්ම ග්‍රන්ථ ප්‍රකාශන
මහජනයාට මහත් ආකර්ෂණයක් ඇති කෙළේ ය. 50 දශකයේ අග භාගයේ එවක හොල්මන් බියෙන් ඇලළී ගිය
මහරගම ‘චාලි වලව්ව’ නම් වූ ස්ථානයෙහි වාසයට පැමිණි, තරුණ විය නොඉක්මවූ උපශාන්ත
පැවැත්මෙන් මෙන් ම භික්ෂු පෞරුෂයෙන් උපශෝභිත වූ රාහුළ ස්වාමිපාදයන් වහන්සේ ගේ
සන්සුන් ඉරියවු, ක්‍රියාකාරකම් හා චතුර ධර්ම දේශනා විලාසය නිසා මහජනතාව අතර
අනුක්‍රමික පරිවර්තනයක් සිදු වනු දක්නට ලැබිණි. වැඩි කල් යන්නට මත්තෙන් ලක්දිව ඈත
එපිට ගම්වල ජනතාවට ද ධර්මායතනය පිළිබඳ අවධානයක් ඇති විය.
මඩිහේ මහානායක මාහිමියන් වහන්සේත් අම්පිටියේ ලොකු හාමුදුරුවන් වහන්සේත් භික්ෂු
අභ්‍යාස මධ්‍යස්ථානයක් ඉදි කළේ නිකාය-පළාත් භේදාදියකින් තොර ව සසුනට වැඩ ඇති
ශික්ෂාකාමී භික්ෂු පිරිසක් හදාගැනීමට ය. මඩිහේ මාහිමියන් වහන්සේ එහි අධිපතීන්
වහන්සේ වූ අතර ලොකු හාමුදුරුවන් වහන්සේ විනය පාලන අධ්‍යක්ෂ පදවිය දැරූ හ.
නොපැහැදුණු අය පහදවමින්, පැහැදුණවුන් ගේ පැහැදීම දියුණු කරමින් මේ මාහිමිවරුන් කළ
මෙහෙවර අද ද ශාසනමාමක ගිහි-පැවිදි සියලු වියතුන් ගේ පැසැසුමට ලක් වේ. සැබැවින් ම
මහානායක මාහිමියනට සමාජීය පැත්තෙන් බාහිර ව බොහෝ කටයුතු කරන්නට සිදු විය. ආරාමය තුළ
දිගු කලක් වැඩ වසමින්, ශිෂ්‍යයන් හික්මැවීම, කුදු-මහත් කටයුතු සොයා බැලීම,
ප්‍රත්‍යය පහසුකම් සැලැසීම, ගොඩනැඟිලි නිර්මාණය, වත්ත පිටිය සකස් කිරීම, රුක්
රෝපණය, මහජනතාව ගේ ආගමික කටයුතු පිරිමැසීම ආදි දහසකුත් එකක් කටයුතු මහත් කැප
වීමකින් සිදු කරන ලද්දේ ලොකු හාමුදුරුවන් වහන්සේ විසිනි. ඒවා සිතින් සිතන්නට වත්
බැරි තරම් වගකීම් සමුදායයෙකි.
එහෙත් උන් වහන්සේ ඒ හැමෙකක් ම ආතතියෙකින් තොර ව සසුන් ඇල්මෙන් නො පිරිහෙළා මැනැවින්
සිදු කළහ.
පසු කලෙක උන් වහන්සේ දිවයිනේ විවිධ ප්‍රදේශවල තව ද අනුබද්ධ ස්ථාන කිහිපයක් ඇති කළහ.
ඒ සඳහා උන් වහන්සේ කළ දුෂ්කර ක්‍රියා මෙ පමණෙකැ යි කිව නොහැකි තරම් ය. එහෙත් උන්
වහන්සේ විසින් දායකයන් නො පෙළා, මහත් ඉවසීමෙන්, මහත් කැපවීම් කොට එම ස්ථාන ඉදි කරන
ලද්දේ දීපව්‍යාප්ත ව සුපේශල ශික්ෂාකාමී භික්ෂූන් හැදීමේ පරමාධ්‍යාශය පෙරදැරි කරගෙන
ය. ලොකු සමිඳුන් වහන්සේ ඒ කිසි ස්ථානයක් අධිපතිවාදයෙන් කල්පනා නොකළා පමණක් නො ව ඉතා
මහන්සියෙන් ගොඩ නැඟූ සමහර ස්ථාන නිකායාන්තරික ශිෂ්‍යයන් වෙත බාර කරන්නට තරම්
පරිත්‍යාගශීලී වූහ.
අතිගරු ලොකු හාමුදුරුවන් වහන්සේ අතිපූජ්‍ය මඩිහේ මහානායක මාහිමියන් වහන්සේට දැක්වූ
භක්ති පූර්වංගම සහෝදර ගෞරවය පුදුම එළවන සුලු ය. සැබැවින් ම එය සසරින් බැඳුණු
සම්භක්ත සහෝදරත්වයෙකි. එක් අතකින් මඩිහේ මහ නාහිමියනට මහා ජාතික හා ශාසනික සේවාවක්
සිදු කිරීමට අනල්ප සහායක් ලබා දුන්නෝ මුන් වහන්සේ ය. මේ මාහිමියන් නොවන්නට සෝම
හිමියන් වැනි කෙනෙකුන් ද සසුනට උරුම වන්නේ නැත.
සැබැවින් ම අප ගුරු දේවෝත්තම මාහිමියන් වහන්සේ සම්බුද්ධ ශාසනයට ආභරණයෙක් මැ යි, මහ
සඟරුවනට උත්තරීතර ආදර්ශයෙක් මැ යි. උන් වහන්සේ ගේ සිතිනුත් කයිනුත් වදනිනුත් සැම
විට ම පිළිබිඹු වූයේ පිළිවෙත් සසුන නඟා සිටුවීමේ අපේක්ෂාව යි. ශික්ෂාගරුත්වයේ ද,
අල්පේච්ඡ භාවයේ ද, සල්ලහුක භාවයේ ද, සානුකම්ප්‍ය භාවයේ ද, ශාසන දයාවේ ද පරමාදර්ශී
චරිතයක් වූ උන් වහන්සේ සසර ගමනේ දුර්ලභ ව හමු වන කල්‍යාණමිත්‍ර වූ ආචාර්යෝෝත්තමයෙක්
මැ යි.
“ඔය නමලා ශික්ෂාගරුත්වය ඇති ව මේ ප්‍රතිපත්ති ශාසනය ම ඔසොවා තබන්නට උත්සාහ කරන්න
ඕනෑ, හැම පැත්තෙ ම අඳුරු බවක්, පිරිහෙන බවක් පේනවා. බුද්ධ වචනය හොඳට ඉගෙනගෙන
මහජනතාවට නියම මාර්ගය පෙන්වන්න ඉන්නේ ඔය නමලා. ඔය නමලාටත් පිහිටක් සලසාගෙන අසරණ
ලෝකයටත් පිහිටක් සලසන්න ඕනෑ. ශාසනයට වැඩ කරන තව හොඳ පිරිසක් ඔය නමලාත් හදන්න ඕනෑ.
පමා වෙන්න හොඳ නැහැ”
එකල උන් වහන්සේ ගේ මුවින් නිතර නිතර පළ වුණු මෙබඳු කාරුණික වදන් මතු මතුත් සසරේ දී
අප ගේ දෙ සවනට ලැබේ වා! ගුරු දෙවි මාහිමිපාණන් නිවන් දකිනා තුරු අපගේ ගුරු දේවයන්
වහන්සේ ම වේවා! උන් වහන්සේ පෑතු ලෙස ම මතු සසරෙත් පැවිදි දම් පුරා වනගත වැ බවුන්
වඩා නිවනින් නිවී සැනසෙත්වා! |