Print this Article


තෙවළා බුදු වදන් අතරින් 58: සැප කැමැති වේ නම් කළයුතු වේය පින්කම්

තෙවළා බුදු වදන් අතරින් 58:

සැප කැමැති වේ නම් කළයුතු වේය පින්කම්

" පුද්ගලයා විසින් කරනු ලබන පව අයහපත් කර්මයකි. එය අයහපත් විපාක ඇති කරයි. පව සසර දුක නිර්මාණය කරන අතර, පින සසර සැප පිණිස පවතී. එබැවින් පව බැහැරකොට පින් රැස් කළයුතු වේ."

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි භික්‍ෂූන් වහන්සේලා අමතා ඉතිවුත්තක පාළියේ එන මාපුඤ්ඤභායි සූත්‍රය දේශනා කළහ. පින යනු කවරේදැයි හඳුන්වාදෙමින් කළ මෙම සූත්‍ර දේශනාව, පින්කිරීමෙහිලා උනන්දුවන ගිහි පැවිදි දෙපක්‍ෂයට ම බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

භික්‍ෂූන් වහන්සේලා ඇමතූ බුදුරජාණන් වහන්සේ “මහණෙනි පිනට බිය නොවන්න. පින යනු යහපත් වූ, සිත්කලු වූ, ප්‍රිය වූ, මන වඩන්නා වූ සැපයට නමකි. මහණෙනි, බොහෝ කලක් මුළුල්ලේම විසින් කරන ලද පුණ්‍ය කර්මවල ප්‍රතිඵලයක් වශයෙන් යහපත් වූ, සිත්කලු වූ, ප්‍රිය වූ, මන වඩන්නා වූ සැප භුක්තිවි¼දින ලද බව මම හොඳීන් ම දනිමි” යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් කරන ලද පුණ්‍ය කර්මවල සැප විපාක විඳී ආකාරය පැහැදිලි කරති. ඒ අනුව සත් වසක් තිස්සේ මෙත් වැඩීමේ ආනිසංස වශයෙන් උන්වහන්සේ සංවට්ට විවට්ට කල්ප හතක් කාම ලෝකයට නොපැමිණ බ්‍රහ්ම ලෝකයේ වාසය කර ඇත. කල්පය විනාශවන කල්හී ආභස්සර බ්‍රහ්ම ලෝකයේ වාසය කර ඇත. කල්පය වැඩෙන කල්හී ශූන්‍ය බ්‍රහ්ම විමානයක වාසය කර ඇත. මෛත්‍රී බ්‍රහ්ම විහාරයෙන් උපන් හෙයින්, එහි මහා බ්‍රහ්ම බවට පත්ව තිබේ. කිසිවෙකුටත් මැඩ පැවැත්විය නොහැකි එමෙන් ම තුන් කල් දැන ගත් අන්‍යයන්ගේ සිත් වසගයට ගත හැකි මහත් බලයක් සහිත බ්‍රහ්මයෙක් ලෙස ඉපිද ඇත. එසේ ම සතිස් වසක් සක් දෙව්රජ ව ඉපිද ඇත. සිය ගණනක් ආත්ම භාවවල සක්විති රාජ්‍ය පදවිය අත් පත් කර ගෙන තිබේ. තථාගතයන් වහන්සේ ට වර්තමාන භවයෙහි යම් බඳු වූ මහත් ඍද්ධි බලයක්, මහත් ආනුභාවයක් වෙතොත් ඒ සියල්ල සසර පුරා සිදුකළ දානය(දානස්ස), ඉන්ද්‍රිය දමනය(දමස්ස) හා කායවාග් සංවරයේ(සඤ්ඤමස්ස) ප්‍රතිඵලයක් බව බුදුරදුන් ම දේශනා කොට වදාළ හ. මේ සියල්ල පැවසූ බුදුරජාණන් වහන්සේ “යමෙක් සැප කැමැති වන්නේ නම් ඒ තැනැත්තා විසින් දානය, සීලය හා මෙත් සිත දියුණු කළ යුතු වේ” යනුවෙන් අනුශාසනා කළ හ.

බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අතීත අත් දැකීම් පදනම් කරගෙන ශ්‍රාවක පිරිස අමතා පින් කිරීම සඳහා බිය නොවිය යුතු බවත්, ලොව මනරම් වූ යම් සැපයක් වෙතොත් එය පින් කිරීම නිසා ලැබෙන්නකැයි ද වදාළ හ. සත් වසක් තුළ මෙත් සිත වැඩීමෙන් උන්වහන්සේ ලද සැපත සුවිශේෂී එකකි. එය මනුෂ්‍ය ලෝකය හා බැඳුණු, සැපත ඉක්ම වූ, දිව්‍ය ලෝක හා බ්‍රහ්ම ලෝක සැපත කේන්ද්‍ර කර ගත්තකි. මනුෂ්‍ය ලෝකයක ලැබිය හැකි ඉහළම සැපත වන සක්විති රජකම කෙනෙකුට ලැබිය හැකි උසස් ම සැපත යි. පින් කිරීම නිසා එම සැපත ද උන්වහන්සේ විසින් සිය ගණන් ආත්මභාවවල අත්පත්කරගනු ලැබ තිබේ.

බුදුරදුන්ගේ නිර්වචනය අනුව පින යනු ලොව යහපත් වූ, සිත්කලු වූ මන වඩන යම් සැපතක් වේ නම්, එය හැඳීන්වීමට යොදන තවත් වචනය කි නිවන පරම සැපතයි (නිබ්බාණං පරමං සුඛං). එය සියලු කෙලෙස් සංසිඳීමෙන් ලැබෙන්නකි. එයින් මෙපිට පවතින කාමාවචර ලෝකය හා බැඳුණු යම් සැපතක් වේ ද, එය පින ලෙස හෝ ඒ හේතුවෙන් ලද සැපතකි. පින වේදයිත සැපත මූලික කර ගත්තකි. පින් රැස් කිරීමෙන් සැප ලැබේ (සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ). සැපවත් ජීවිතයකට පින අවශ්‍ය වේ. බුදුසමයට අනුව මිනිසා ලෞකික වශයෙන් විඳීනු ලබන යම් සැපතක් වේ ද, එය ඔහු විසින් රැස් කරන ලද පිනෙහි ප්‍රතිඵලයකි.

එහෙත් සියල්ල කර්මය නිසා සිදුවේ යන පිළිගැනීම බුදුසමයෙන් බැහැර කොට ඇත. කර්මය පිළිබඳ බෞද්ධ විග්‍රහය තුළින් මෙය වටහා ගත යුතු වේ. පුද්ගලයා විසින් රැස්කරනු ලබන පින ද කර්මයකි. එය යහපත් විපාක ගෙන දෙයි. පුද්ගලයා විසින් කරනු ලබන පව අයහපත් කර්මයකි. එය අයහපත් විපාක ඇති කරයි. පව සසර දුක නිර්මාණය කරන අතර, පින සසර සැප පිණිස පවතී. එබැවින් පව බැහැරකොට පින් රැස් කළයුතු වේ.

බුදුරදුන් වදාළේ පින යනු සැපත හැඳීන්වීමට ඇති වෙනත් නමක් මිස, සියලු සැප පින නිසා ම ලැබෙන බවක් එයින් ගම්‍ය නොවේ. කර්මයට අමතර ව පුද්ගල වීර්ය ද ඒ සඳහා ඉවහල් වේ. පිනට අමතර ව පුද්ගල වීර්යත් සැපත සඳහා ඉවහල් වේ.

බුදුරදුන් වදාළේ පින යනු ලොව යම් බඳු වූ, මනරම් වූ, සිත්ගන්නා සුලු සැපතක් වේ නම්, එය හැඳීන්වීමට යොදන අපර නාමයක් බව යි. එබැවින් පින් කිරීම සඳහා කිසිවිටෙකත් බිය නොවිය යුතු යැයි උන්වහන්සේගේ අනුශාසනයයි. පින් කිරීමට බියක් දැක්වීම යනු සැපත ප්‍රතික්‍ෂේප කිරීමකි. පින සැපය හැඳීන්වීමට යෙදෙන අපර නාමයක් ලෙස දැක්වූ භාග්‍යවතුන් වහන්සේ පින් කිරීම හේතුවෙන් තමන්වහන්සේ නොයෙක් අයුරින් වින්දනය කළ විවිධ වර්ගයේ උසස් පැපත කවරේදැයි පැහැදිලි කළ හ. සත් වසරක් තිස්සේ මෙත් සිත දියුණු කිරීම හේතුවෙන් සංවට්ට විවට්ට කල්ප හතක් බලවත් මහා බ්‍රහ්ම ව ඉපිද මනුෂ්‍ය ලෝකයට නොපැමිණ බ්‍රහ්ම ලෝක සැපත ආශ්වාදනය කර ඇත. එසේම සතිස් වසක් ශක්‍ර ව ඉපිද දෙව් සැපත වින්දනය කර ඇත. නොයෙක් සිය දහස් ගණන් ආත්මභාවයන්හී චක්‍රවර්ති රාජ්‍ය සම්පත් භුක්ති විඳ ඇත. මේ සියල්ල බුදුරජාණන් වහන්සේ තමන්වහන්සේගේ අතීත භවයන් පිළිබඳ අත්දැකීම් පදනම් කරගෙන ඉදිරිපත් කර ඇත.

තමන්වහන්සේ විඳී මෙම සැපත කවර හේතුවක් නිසාදැයි විමසූ බුදුරදුන්ට වැටහුණේ එය උන්වහන්සේ විසින් අනන්ත සංසාරය තුළ දාන, සීල, භාවනා වශයෙන් රැස්කරන ලද ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල ප්‍රතිඵල වශයෙන් අත් විඳී එකක් බවයි. තථාගතයන් වහන්සේ විසින් අනන්ත සංසාරය තුළ රැස් කරනු ලැබූ පුණ්‍ය බලය හේතුවෙන් වර්තමාන ජීවිතයේ කිසිවෙකුටත් මැඩලිය නොහැකි පරිද්දෙන් මහත් තේජසක් හා මහත් ආනුභාව සම්පන්න කෙනෙකු බවට පත්වීමට උන්වහන්සේට හැකි විය. මෙසේ බුදුරදුන් විසින් ම අත්විඳීන ලද සැපත කවරේදයි භික්‍ෂූන් ට පැහැදිලි කළ අතර පින් රැස් කිරීමෙහිලා බියක් ඇති නොකරගත යුත යැයි අනුශාසනා කළ හ. එසේම පින් රැස් කිරීම නිසා කෙනෙකුට ලොව සිත්කලු වූ මනරම් වූ සැපතක් ලැබිය හැකි බව තථාගතයන් වහන්සේ තමන්වහන්සේගේ ම අත්දැකීමක් ඇසුරෙන් ම පැහැදිලි කළ හෙයින් එහිලා කිසිවෙකුටත් සැකයක්, සංකාවක් ඇතිකරගැනීම අවශ්‍ය නොවේ. මේ උසස් සැපත ලැබීමට හේතුවන පුණ්‍ය කර්ම වශයෙන් දානය, සීලය හා භාවනාව නිර්දේශ කර තිබේ. මාපුඤ්ඤභායී සූත්‍රයට අනුව බුදුරදුන් ඉහත දැක්වූ විශේෂ වූ සැපත අත්පත්කරගෙන තිබෙන්නේ පෙර භවයෙහි සත් වසක් තිස්සේ මෙත් සිත දියුණු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එසේම බුද්ධත්ත්වය සාක්‍ෂාත් කළ බුදුරජාණන් වහන්සේට මෙබඳු මහත් ඍද්ධි සම්පත්තියක් හා ආනුභාව සම්පත්තියක් ලැබුණේ කෙසේදැ’යි විමසන කල්හී ඒ සියල්ල අතීත සංසාරය තුළ ප්‍රගුණ කරන දාන, සීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස ලැබී තිබෙන බව වැටහිණ.

තමන් වහන්සේගේ අතීත සංසාරය විමර්ශනය කිරීමෙන් උන්වහන්සේ එළඹුන නිගමනය වූයේ කිසිවෙකුත් පින්කිරීමට බිය නොවිය යුතු බව යි. බුදුරදුන් වදාළ දානය මගින් සන්තානගත තෘෂ්ණාව ක්‍රමයෙන් ඉවත් කිරිමට අවශ්‍ය පුහුණුවත්, සීලය මගින් කායික වාචසික සංවරය මූලිකකරගත් සදාචාරාත්මක ශික්‍ෂණයත්, භාවනාව මගින් මානසික පාරිශුද්ධත්වයත් අවධාරණය වේ.

නිර්වාණගාමී ප්‍රතිපදාවෙහි පදනම හා බැවඳී පවතින මෙම පිළිවෙත් තුන ප්‍රගුණ කිරීමෙන් ලැබෙන අවසාන ඵලය නිර්වාණාධිගමය යි. එය කෙනෙකු ලැබිය යුතු පරම අවේදයිත සැපත යි. එයට පෙර සංසාරික වශයෙන් විඳීය යුතු සැපතක් වේ නම් ඒ සඳහා ඉවහල් වන්නේ ද ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාව යි. එබැවින් නිවන් අරමුණු කරගෙන සසර සැප පිණිස හේතුවන පින් රැස් කිරීමට බිය නොවිය යුතු වේ.