Print this Article


භව කතරයි දුක් සයුරයි - 08: පාරමී ධර්ම මතුකොට තිලකුණු දැකීම

පාරමී ධර්ම මතුකොට තිලකුණු දැකීම

පටාචාරා, කිසාගෝතමි ශාසන ඉතිහාසයේ වඩාත් ම කතා බහට ලක්වන චරිත දෙකක් ඔවුන්ගේ මනෝභාවයන්, සිතිවිලි හා හැසිරීම් පිළිබඳ ව සරලව සිතන්න. ඒ චිත්ත චෛතසිකවල ස්වභාවය පිළිබඳ ගැඹුරු අදහසක් ඇති කර ගත හැකිවනු ඇති.

මෙය සිතට පුරුදු පුහුණු කිරීම ලෙහෙසි පහසු කරුණක් නොවෙයි. ඒ, අගක් මුලක් නොපෙනෙන, ඉපදෙමින් මරණයට පත්වෙමින් යන සංසාරික ජීවිතයේ අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ තිලක්ඛන ධර්මය අසන්නට ලැබීම, මෙනෙහි කරන්නට ලැබීම, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නට ලැබීම දුර්ලභ වූ නිසා ය. සසර ගමනේ වැඩිපුර ම අවිද්‍යාවෙන් වැසී, තෘෂ්ණාවෙන් බැඳී, සිතට නගා ගන්නා වූ අරමුණු තෘෂ්ණාවක් බවට පත්කර ගැනීම නිසා නැවත නැවතත් භවය සකස්වීම සිදුවනවා. මේ නිසා තෘෂ්ණාවෙන් සිතෙන් අල්ලා ගැනීමටත්, අල්ලා ගත් දෙය වෙනස්වන විට හෝ අල්ලා ගැනීමට නොහැකි වන විට අකැමැති අරමුණෙහි ද්වේෂයක් උපදවා ගැනීමත් පමණක් ම සසර ගමන පුරාම බහුල ලෙස ම සිදු වී තිබෙනවා.

මේ නිසා හේතූන් ප්‍රත්‍ය කරගෙන සකස් වන වස්තුවක් ය. හේතූන්ගේ විසිර යන විට මේ දක්නා, දැනෙනා, හිතනා ස්වභාවයට ම නොපවත්නා බව තේරුම් ගැනීමට තරම් අවිද්‍යාවත්, තෘෂ්ණාවත් සිතට අවස්ථාව සලසා දී නැත. මේ නිසා කැමැති දෙයෙහි ඇලීමත්, ලබාගැනීමත්, පරිහරණය කරන්නට උත්සාහ කිරීමත් නො ලැබෙන විට ද්වේෂයට පත්වීමත්, වෙනස්වන විට හඬා වැළපීමත්, නැවතත් තෘෂ්ණාවෙන් බැඳීමත් සසරේ ගමන් කළ හා ගමන් කරන්නා වූ සත්වයාගේ මනෝභාවය යි. චිත්ත ස්වභාවය යි.

මේ නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වී දේශනා කරන අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ තිලක්ඛනය මුල් කොටගත් පරමත්ථ දේශනාව හෙවත් චතුරාර්ය සත්‍යය ධර්මය අනාර්ය පුද්ගලයාට එනම් රාග, ද්වේෂ, මෝහයන් ඇසුරු කරමින් අරමුණුවල බැඳෙන්නට උත්සාහ කරන සත්වයාට අවබෝධ කර ගැනීම අපහසු වේ.

මේ නිසා දාන, සීල, නෙක්ඛම්ම, ප්‍රඥා, වීර්යය, ඛන්ති, සච්ච, අධිෂ්ඨාන, මෙත්තා, උපේක්ඛා නම් වූ දස පාරමිතා පුරුදු කිරීම, පුහුණු කිරීම, සම්පූර්ණ කිරීම නම් වූ ප්‍රතිපදා මාර්ගයත් ඉදිරිපත් කෙරේ. හටගත් හැම දෙයම හටගන්නට ම හේතු වූ කරුණුවල විසිරීමෙන් හටගත් දෙය නැතිවෙනවා ය යන මේ ගැඹුරු අදහස තේරුම් ගැනීමට දානය නම් වූ අත්හැරීම උපකාර වේ. සීලය නම් වූ චිත්ත පාරිශුද්ධියෙන් මෙහෙයවන කායික, වාචසික සංවරය උපකාර වේ. අනුක්‍රමයෙන් ඇසට රූප, කනට ශබ්ද වශයෙන් අරමුණුවලට ඇලීමෙන්, බැඳීමෙන්, ගැටීමෙන් බැහැර වීමට නෙක්ඛම්මයෙන් උදව් උපකාර කෙරේ. මේ ආදී වශයෙන් දස පාරමිතාවන් ම එකිනෙක විමසා බලන්න. ඒ හැම අවස්ථාවකින් ම මනස තියුණු ලෙස, සියුම් ලෙස , තීව්‍රර ලෙස සිතීමට, මෙනෙහි කිරීමට අවස්ථාව සැලසෙයි.

දැඩි ආශාවෙන් යුතු සිතක් ඇත්තෙකුට හොඳ නරක නොවැටහෙයි. ඒ දැඩි ආශාව අභිජ්ඣාව විය හැකියි. පිච්චෙන රාගයක් විය හැකියි. රත් වූ කාමයක් විය හැකියි. එවිට සරල වචනයෙන් සඳහන් කළොත් සාමාන්‍යයෙන් පෙන්වා දෙන හොඳ සහ නරක පවා තේරුම් ගැනීමට නොහැකිවනු ඇත. එවැනි කෙනෙකුට කුසලය අකුසලය පිළිබඳ වටහා ගැනීමක් පිළිබඳ කවර අදහසක් ද? ඒ වගේ ම දැඩි තරහව, වෛරය, බද්ධ වෛරය, නො ඉවසන බව ඇති කෙනෙකුට පෙර සේ ම හොඳ සහ නරක පිළිබඳ ව හැඟීමක් ඇති කර ගැනීමට ම හැකිවනු ඇත. මේ අවස්ථා “අග්නි” හෙවත් ගින්දර ලෙස පෙන්වා දුන්නේ මේ නිසා ය. තමා ද පිච්චී, රත්වී, නැසී අන් අය ද රත් කොට, නසා ආධ්‍යාත්මික වශයෙන් විනාශයට ම ඇද දමන බව ඉතාම පැහැදිලියි. මේ නිසා පාරමී ධර්ම මතුකොට දක්වා, තිලක්ඛනය මතුකොට ගැනීමට සිතට අස්ථාවක් සලසා දී ම අවශ්‍යය යි.

පසු කලෙක ශාසනික ඉතිහාසය දෙස බලන විට පවත්නා ධර්ම මාර්ගයට දස පුණ්‍ය ක්‍රියා ලෙස කොටස් ලෙස එකතුවී ඇත්තේ ද, අශ්‍රැතවත් පෘතග්ජන සිත්වලට නිවන අරමුණු කර ගත්තා වූ මාර්ගය ආරම්භ කිරීමේ පහසුවක් ලෙස බව සිතා ගත හැකි ය. එය දස පුණ්‍ය ක්‍රියා නමින් හඳුන්වා දෙයි. දාන, සීල, භාවනා, පින්දීම, පින් අනුමෝදන්වීම, වතාවත් කිරීම, වැඩිහිටියන්ට ගරු කිරීම, පූජා කිරීම, දහම දේශනා කිරීම, දහම ශ්‍රවණය කිරීම හා වැරැදි දෘෂ්ඨින් දැක්ම බැහැර කර ගැනීමයි. එනම් දස වස්තුක මිථ්‍යාදෘෂ්ටිය බැහැර කිරීම හා බුද්ධාදී අටතැන්හි සැකයක් බැහැර කර ගැනීම වැනි කරුණු අපට එකතු කර ගත හැකියි.