Print this Article


ඒහි පස්සික 45: තේරුම්ගත් පුද්ගලයා තුළ බලාපොරොත්තු නැත

තේරුම්ගත් පුද්ගලයා තුළ බලාපොරොත්තු නැත

අතීතයේ ඇතිවූ වේදනා, සඤ්ඤා,සංඛාර, විඤ්ඤාණයන් වර්තමානය දක්වා ඇදගෙන ඒමේ පුළුවන්කමක් නොමැත. තමාට අවශ්‍ය පරිදි ඒවා පවත්වා ගැනීමට පුළුවන්කමක් නැති බව ඒ තැනැත්තා තේරුම් ගනු ලැබේ. තේරුම් ගත් පුද්ගලයා තුළ එබඳු බලාපොරොත්තු ඇති නොවේ.

එහෙත් එබඳු කාරණා පිළිබඳ සෙවීමට හේතුවක් ඇත. තමන්ට අවශ්‍ය පරිදි තමන් ගේ ජීවිතය පවත්වා ගෙන යා යුතු යැයි සිතෙන අවස්ථා පවතී.අනාත්ම යැයි කියනු ලබන්නේ තම වසඟයට ගත නොහැකිවීම යි. තමන්ට අවශ්‍ය පරිදි පවත්වාගෙන යා නොහැකි බවයි. එහෙත් ඇතැම් අවස්ථාවල දී තම ජීවිතය තමන්ට අවශ්‍ය පරිදි පවත්වාගෙන යන බවටද කල්පනාවට නැෙඟ්.

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමා තුළින් විමසන ලෙසයි. එසේ නොමැති ව කියන්නා කියන දේ පිළිගන්නා ලෙස නොවේ. එසේනම් තමාට අවශ්‍ය පරිදි ජීවිතය පවත්වන්නට හැකි යැයි සිතේ. උදාහරණයකින් මෙසේ විමසා බලමු. යම් කෙනෙකුට තමන්ගේ ශරීරයේ අත ඔසවන්න යැයි සිතුනු අවස්ථාවක අත ඔසවා ගත හැකි ය. කතා කළ යුතු යැයි සිතූ අවස්ථාවෙහි කතා කළ හැකි ය. කුමක් නිසා එසේ තමන්ට සිතෙන්නේ ද? එහි සත්‍යතාවයක් ද පවතී.

මේ ලෝකයෙහි යම් කෙනෙක් යමක්කළ විට මෙබඳු දෙයක් සිදු වෙනවා යැයි නීතියක්, හා නියමයක් තිබේ. උදාහරණයක් ලෙස යම් කෙනෙකුට ඉහළක සිට පහළකට යම් ලී කොටයක් ඉහළ සිට පහළට ගෙන ඒමට අවශ්‍ය ව පවතී. එබඳු අවස්ථාවක කල්පනා කර ඉහළ සිට පහළට ගලා එන ජලාශයකට හෙවත් ගංගාවකට ඒ ලී කොටය දැමීමෙන් එය පහළට ගසාගෙන එනු ලැබේ. අදාළ තැනැත්තා එම ලී කොටය පහළින් ලබා ගනු ලැබේ. එසේ සිදුකර තමා එම ලී කොටය රැගෙන ආ බව කියනු ඇතැයි සිතන්න. ඇත්තටම එය වැරැදි ද? නිවැරැදි ද? එක් අතකින් එය නිවැරැදි ය. අදාළ ලී කොටය පහළට රැගෙන ඒමට අවශ්‍ය කටයුතු යොදන ලද්දේ එම පුද්ගලයා විසිනි. තවත් අතකින් විමසා බලන විට එම පුද්ගලයා අදාළ ලී කොටය රැගෙන ආවේ නැත. ස්වභාව ධර්මයේ පවතින ආකාරයට ඊට අනුකූල ව යම් ක්‍රියාවක් කළ විට එය සිදුකරනවා නොව එය සිදු වේ. එවිට එම පුද්ගලයාගේ සිහියට එනුයේ එය තමා කළ ක්‍රියාවක් ලෙස ය.

කෙනෙක් යම් අවස්ථාවක ළමයෙකු වෙත දෝෂාරෝපණය කරනු ලැබේ. එසේ නැතහොත් තරවටු කරනු ලැබේ. එම තරවටු කිරීමේ හේතුවෙන් එම ළමයාට බිය උපදී . එසේ ඇතිවූ බිය නිසා ඉහත සිදුකරන ලද අයහපත් ක්‍රියාව නතර කරනු ලැබේ. එය යමෙක් කළ ක්‍රියාවක් , නැතහොත් එය සිදුවන ක්‍රියාවක්දැයි සිතා බලන්න

එමෙන්ම මහ මඟ ගමන් කරන විට සුරතල් සුනඛ පැටවකු තමා දෙසට එන විට එහා පැත්තකට යන්නැයි කී විට ඒ පැටවා වෙනත් දෙසකට යනවා ද? නැතහොත් එසේ කියද්දීම තව තවත් තමා වෙතට පැමිණෙන්නේ ද? මේ ස්වභාව ධර්මයේ ක්‍රියාත්මක වන එක්තරා ගලා යාමක් හෙවත් යමක් වුවොත් මෙසේ සිදුවේ යන පටිච්ච සමුප්පන්න ධර්මයක් ඇත. එම පටිච්ච සමුප්පන්න නියමයට අනුකූල ඇතැම් ක්‍රියා සමහර වෙලාවකට අප අතින් සිදුවේ. එසේ සිදු කෙරෙන විට ඇතැම් විට අප බලාපොරොත්තු වූ ප්‍රතිඵලය ම ලැබේ.

එසේ ප්‍රතිඵල ලැබෙන විට අප වරද්දාගෙන අදාළ ක්‍රියාව සිදුකළ තැනැත්තා තමා යැයි සිතා, මාන්නයක් ඇති කරගනු ලැබේ. එහි නිර්මාණකරුවා තමා යැයි මාන්නය උපදවා ගනු ලැබේ. මාන්නයෙන් ජීවත් වුව ද අවසානයේ ඔහුට එම ක්‍රියාව සිදුකර ගැනීමට නොහැකි වේ.

තමාට යම් අයෙකු පාලනය කර ගත හැකි නම් එසේ සැමදා එම තැනැත්තා තමාට පාලනය කර ගැනීමේ හැකියාව තිබිය යුතු ය. එබඳු දෙයක් නොපවතින අතර තමා රැවටීමකට පත්වේ.

වෙනත් දිසාවකට ගලා යන යමක් නැවත තමන්ගේ දිසාවට ගලා ඒමට සකසා ගැනීම සඳහා ක්‍රියා කළ නොහැකි ය. එසේ සිදුවන කිසිවක් නිවැරැදි ව තේරුම් නොගත් අප අපගේ ජීවිතය තදින් අල්ලා ගනු ලැබේ. එබැවින් මෙබඳු කරුණු හරිහැටි තේරුම් ගත යුතුව ඇත.