Print this Article


කාන්තාවක් වීමේ අභිමානය රැකගන්න

කාන්තාවක් වීමේ අභිමානය රැකගන්න

“තොප පතනා මේ ඇස රුක් බිලයක තුබූ ලාවටක් බඳු යි. අක්ෂි ගෝලය දිය බුබුළක් බඳු යි. කඳුළු සහිත යි. මෙය නොයෙක් පටක පිඬු වී සැදුණක්.”

 

ප්‍රියදර්ශනී වූ ඕ තොමෝ ඇසෙහි ඇල්ම හැර සිය ඇස උපුටා “ඔබ පැතූ ඇස ගෙන යව“ යි ඒ මිනිසාට (ධූර්තයාට) දුන්නී ය."

හුදෙකලා වූ සුභා තෙරණිය හා ධූර්තයා අතර පැවැති මෙම මනෝචිත්‍රණීය සංලාපය ශික්ෂණයෙන් හා සංවරයෙන් යුත් වත්මන් කාන්තාවට ලබා දෙන්නේ පෞරුෂ වර්ධනය කරන සුලු චිත්ත ධෛර්යයකි. ශික්ෂා මාර්ගයෙකි. පිරිමින් ගේ චාටු බස්වලට රැවැටී මුළු ජීවිතය ම ශෝකාලාපයක් කරගන්නා සිදුවීම් බහුල අද්‍යතන තරුණ කාන්තා සමාජයට මෙබඳු සංලාපවලින් ලබාගත හැකි බුද්ධිමය එළි දහර ඉතා විශාල ය. එහි සාර්වත්‍රික අගය මුළු මිනිස් වගට ම පොදු වූවකි.

“මන බඳනා රූප විලාසයක් ඇති සුභා තෙරණිය ජීවකයන් ගේ අඹ වනයට දිනක් දිවා විහරනය පිණිස යයි. අතර මඟ දී ස්ත්‍රී ධූර්තයෙක් ඇය ගේ ගමන වළකා ඇයට නුසුදුසු ආරාධනයක් කරයි.

පැවිදිනියකට පිරිමියකුගේ පහස කැප නැති බව ඕ පවසයි. නිකෙලෙස් බුදුසවු තෙරණියක වන තමා කවර හෙයින් බලෙන් නවතාගෙන සිටින්නෙහි දැ යි ඔහු ගෙන් අසයි.

“ඔබ ඉතා තරුණ ය. පැවිද්දෙන් ඔබට කවර ප්‍රයෝජනයක් ද? ඔය කහ සිවුර බැහැර කරන්න. මේ සුපුල් වනයෙහි අපි දෙදෙන එක් වෙමු, (අභිරමණය කරමු)

“හැම පැත්තෙන් ම හමා එන්නේ මිහිරි සුවඳ යි. ගස්, මල් රොන්වලින් ම හටගත්තා වාගෙයි. වසන්ත සෘතුවේ මුල් මාසය ඉතා සුව පහසු යි. මල් පිපුණු තුරු හිස් සුළඟින් ලෙළ දෙන්නේ අපට තුති ගී ගයන්නාක් වාගේ. මේ වනයෙහි තනි ව සිටින ඔබට මොන සුවයක් ද?

“ඇරත් මේ වනය ඉතා බිහිසුණු යි. වෙහෙල් මුවන්, මත් ඇතුන්, ඇතින්නියන් ගහණ මේ වනයට හුදෙකලා ව යන්නට කැමැති වන්නේ ඇයි”?

“අනුපම රූමතිය, කසී සළු වැනි සියුම් වස්ත්‍ර හැඳි, රනින් ඇඹූ රූපයක් වැනි වූ ඔබ මේ චිත්‍රරථ වනයෙහි බබළන්නේ දෙවඟනක වාගේ.”

“ධූර්තය, කුණපයෙන් පිරුණු මේ සිරුරෙහි ඔබ විසින් කුමක් සාර යැයි ගන්නා ලද ද?”

“ඔබගේ අඩවන් දෙනෙත් කිඳුරියකගේ වාගේ ලස්සනයි. මේ වනතුරෙහි අප එකට වසනවා නම් මම මුළුමනින් ම ඔබ ගේ වසඟයට හැරෙන්නම්. ඔබට වඩා ප්‍රියතර වූ කෙනෙක් මට වෙන නැහැ.”

“ඔබ මගේ වචනයට එකඟ නම් අපි දෙදෙනා සුවසේ ගිහි ගෙහි වාසය කරමු. සිහිල් වාතය වැළහූ ප්‍රාසාදවල වෙසෙන ස්ත්‍රීන් ඔබට හොඳින් සියලු වතාවත් කරාවි.”

“රිසි පරිදි සියුම් කසී සළු, මල් සුවඳ විලවුන් දරන්න. ඔබට රන් මිණිමුතුවලින් නොයෙක් ආභරණ පිළියෙළ කරන්නම්.”

“මැනවින් දූවිලි සෝදා හළ උඩු වියන් ඇති, දිග් ලොම් ඇති, කළු කොඳු පලස් හා හස් ලොම් ආදිය පිරූ මෙට්ට අතුරන ලද, වටිනා සඳුන් ලීයෙන් තනන ලද සුවඳවත් යහනට නැඟෙන්න.”

“රකුසන් අරක් ගත් විලක දියෙන් මතු වී පිපුණු නිල් මහනෙල් මලක් වාගේ වූ බඹසර වසන ඔබ ගේ සිරුර කිසිවකු විසින් පරිභෝග නොකරනු ලැබ ම ජරාවට පත් කරන්නේ ඇයි?”

“දිගැසියෙනි, පිරිසුදු ඇස් ඇත්තියනි, කිඳුරු නෙත් බඳු සොඳුරු ඇස් ඇත්තියනි, ඔබ දුරක සිටියත් ඔබේ රුසිරු නෙත් මට සිහි වේවි. ඊට වඩා ප්‍රියතර වූවක් මට වෙන නැහැ”

මෙහි දී සුභා තෙරණිය ධූර්තයා ගේ රාග නි:ශ්‍රිත ඇවිටිලි බස් අසා සිට, ඒ එකකිනුත් මුළා නො වී, නිර්භය ව ඔහුට දෙන පිළිතුරු පෙළ අනභිභවනීය කාන්තා චරිතයක, ආධ්‍යාත්මික පෞරුෂයෙක සාභිමානී ප්‍රතිරාව වැන්න. එහිලා ඕ තොමෝ මෙසේ කියයි.

“අපථෙන පයාතුමිච්ඡයි – චන්දං කීළනකං ගවෙස්සසි
මෙරුං ලංඝෙතු මිච්ඡසි - යො ත්වං බුද්ධසුතං මග්ගයසෙ”

“ඔබ බුද්ධපුත්‍රියක වන මා පතන්නෙහි, නුඹ නොමඟින් යන්නට කැමැත්තා සේ ය. සඳ මඬල කෙළි පන්දුවක් කරන්නට කැමැත්තා සේ ය. මහා මේරුවෙන් පැන යන්නට සිතන්නෙහි ය.”

“රාගය සඳහා මට අරමුණු වූ කිසිවක් මේ මුළු ලෝකයෙහි නැත. ඒ රාගය කෙබඳු දැයක් ද කියා වත් දැන් මා හඳුනන්නේ නැත. ආර්ය මාර්ගයෙන් මා එය වනසා දමා ඇත.”

“පංචස්කන්ධය නුවණින් නොදකින, ශාස්තෘන් වහන්සේ ගේ දහම ඇසුරු නොකරන ස්ත්‍රියක වෙත ගොස් ඇය පොළොඹවා ගන්න. ධූර්තය, නුඹ මේ සුභා මෙහෙණ වෙහෙසන්නෙහි ය.”

“යම් සේ සිත්තරකු බිත්තියෙක වර්ණාලේපයකින් සිතුවම් කළ ස්ත්‍රී රූපයක් දක්නේ ද, එය මිනිස් කාන්තාවක සේ හැඳිනීම විපරීත වූ දර්ශනයකි.”

“තොප පතනා මේ ඇස රුක් බිලයක තුබූ ලාවටක් බඳු යි. අක්ෂි ගෝලය දිය බුබුළක් බඳු යි. කඳුළු සහිත යි. මෙය නොයෙක් පටක පිඬු වී සැදුණක්.”

ප්‍රියදර්ශනී වූ ඕ තොමෝ ඇසෙහි ඇල්ම හැර සිය ඇස උපුටා “ඔබ පැතූ ඇස ගෙන යව“ යි ඒ මිනිසාට (ධූර්තයාට) දුන්නී ය.

එකෙණෙහි ඔහුට ඇස පිළිබඳ වූ රාගය දුරු විය. දිලිසෙන ගින්නක් වැළැඳගත්තකු සේ, දරුණු විෂ ඇති සර්පයකු අතින් ගත්තා සේ මෙබඳු නිකෙලෙස් උත්තමාවක පොළොඹවා කවර සුවයක් වේ ද, කමා කරනු මැනැවැ”යි ඒ ධූර්තයා අයැද සිටියේ ය.

හුදෙකලා වූ සුභා තෙරණිය හා ධූර්තයා අතර පැවැති මෙම මනෝචිත්‍රණීය සංලාපය ශික්ෂණයෙන් හා සංවරයෙන් යුත් වත්මන් කාන්තාවට ලබා දෙන්නේ පෞරුෂ වර්ධනය කරන සුලු චිත්තධෛර්යයකි. ශික්ෂා මාර්ගයෙකි. පිරිමින් ගේ චාටු බස්වලට රැවැටී මුළු ජීවිතය ම ශෝකාලාපයක් කරගන්නා සිදුවීම් බහුල අද්‍යතන තරුණ කාන්තා සමාජයට මෙබඳු සංලාපවලින් ලබාගත හැකි බුද්ධිමය එළි දහර ඉතා විශාල ය. එහි සාර්වත්‍රික අගය මුළු මිනිස් වගට ම පොදු වූවකි.”

සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය
සිංහල ථෙරිගාථා ඇසුරිනි.
(කුදුගත් සඟිය)