Print this Article


අඳුරට එළියක් 11: රාජ කුමරියක් නොවුණ ද රජ සැප විඳි මල්ලිකා

රාජ කුමරියක් නොවුණ ද රජ සැප විඳි මල්ලිකා

කෙනෙකුට යමක් දීම දානය යි. කුරා කුහුඹුවාගේ පටන් සියලුම සත්ත්වයන්ට ජීවත් වීමට අවශ්‍යකරන්නේ ආහාරපාන යි. දෙවියන්ට දිව්‍ය ඕජස් ද, බ්‍රහ්මයන්ට ධ්‍යාන සුවය ද, නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටින රහතන් වහන්සේ නිරෝධ සම්පත්තිය ද ආහාරය වේ.

සාගිනි නිවා ගැනීම සඳහා කවුරු හෝ ආහාරයක් තවත් කෙනෙකුට දෙනවානම්, එය විශාල පිනක්. තිරිසන් සතෙකුට දෙන ආහාර වේලෙන් ආත්ම සියයක් ද, දුශ්සීලයෙකුට දෙන ආහාර වේලෙන් ආත්ම දාහක් ද, තාපසයෙකුට දෙන ආහාර වේලෙන් ආත්ම දහ දාහක් ද, බාහිර සිල්වන්තයෙකුට දෙන ආහාර වේලෙන් ආත්ම ලක්ෂයක් ද ලොවුතුරා බුදුරජාණන් වහන්සේට, ධර්ම රත්නයට , සංඝ රත්නයට , සිල්වත් , ගුණවත් උතුමන්ට පූජා කරන දන් වේලෙන් සසර වසන තුරු සැප විපාක ද ලැබෙන බව ධර්මයේ සඳහන් වෙනවා.

එසේනම්, දානමය පින්කම කෙතරම් අගේදැ’යි බලන්න. පළමුව කෙනෙකුට යමක් දී දානය ද පසුව සීලය රැකිය යුතු යි. ආහාර පාන පරිත්‍යාග කිරීම, දාන මාන පින්කම් කිරීම ආදියෙන් විශාල ශක්තියක් ලැබෙනවා. ලේ , මස් , නහර, ඇට , ඇට මිදුළු ශක්තිමත් වෙනවා. දුර්වල ව පැවැති ඉන්ද්‍රියන් දුර්වල බවෙන් අත්මිදී ප්‍රඥාව හොඳින් වැඩි දියුණු වෙනවා. ආහාර නැතිව නුවණ දියුණු කරන්නට අපහසු යි. ඒ නිසා ඍතු සප්‍රාය, භෝජන සප්‍රාය හොඳින් තිබුණොත්, මේ දේ දියුණු කරගත හැකි යි. එසේම දාන මාන පූජාවෙන් ප්‍රඥා පූජාවක් ද කළා වෙයි. ආයුෂ, වර්ණ, සැප , ශක්තිය , ප්‍රඥාව හොඳින් ලැබෙනවා. මේ සියලු ම සම්පත් ලැබෙන්නේ දාන මාන පූජාවේ අනුහසිනි.

සැවැත්නුවර මල් මාලා ගොතන මල්ලිකා නමින් ඉතාම රූමත් දියණියක් වාසය කළා. ඇය එක්තරා දිනක තලප ගුලි තුනක් පැසක දමාගෙන තවත් දැරියන් හා එක්ව මල් නෙළීමට උයන කරා පිය නැඟුවා. එහිදී මහා සංඝයා පිරිවරාගෙන සැවැත්නුවරට වඩින බුදුරජාණන් වහන්සේ දැක ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, වන්දනා මාන කර, ඉතාමත් ම චිත්ත ප්‍රසාදයෙන් තමන් ගෙන ආ තලප ගුලි තුන පූජා කළා. බුද්ධාලම්භන ප්‍රීතියෙන් පිනා ගිය ඇයගේ පිනේ විපාකය දුටු බුදුරදුන් සිනහ පහළ කළා. විශේෂ අවස්ථාවකදී පමණක් බුදුවරු සිනහ පහළ කරන බැවින් එයට හේතු විමසූ ආනන්ද තෙරුන්ට , බුදුන් වහන්සේ කරුණු පහදා දෙමින් මල්ලිකාව රාජ කුමාරිකාවක් නොවුණත් ඇය දානය පිදූ පිනේ විපාකයෙන් අදම කොසොල් රජතුමාගේ අග්‍ර මහේෂිකාව වන බව වදාළා.

ඇය දන් පුදා උයනට පැමිණ මිහිරි ගීයක් ගයමින් මල් නෙළමින් සිටියා. මේ මොහොතේ කොසොල් රජතුමා අජාසත් රජතුමා සමග යුද්ධයෙන් පැරැදී අසු පිටින් උයන අසලින් ගමන් ගනිද්දී මල්ලිකාවගේ මිහිරි ගී රාවය ඇසී ඇය ගැන තම පිරිවරට විමසන්නැ’යි පැවුසවා. ඇය අස්වාමික බව දැනගත් රජතුමා මද වේලාවකින් ඇය අසලට පැමිණ ඇගේ රූප ශ්‍රියාවෙන් ද සතුටට පත් ව මව් පිය අවසරය ගෙන මාලිගාවට රැගෙන ගොස් තම අග්‍ර මහේෂිකාව බවට පත් කළා. බලන්න ඇගේ දර්ශනීයත්වය ලැබුණේ දාන මාන පූජාවෙන්. රජමාලිගයට යන්න, ධනවත් තැනැත්තියක් වෙන්න, නැවත , නැවත මහා පින්කම් කළේ දාන මාන පූජාවේ අනුහසින්. ඒ නිසා කවුරුත් දානයට අගෞරව නොකරන්න.

මතු සම්බන්ධයි