දැඩි බැඳීමෙන් මිදෙන දනහට
හැකිය දුක් ගින්නෙන් මිදෙන්නට
මහාචාර්ය
දේවාලේගම මේධානන්ද හිමි
උපාදාන යනු බුදුසමයෙහි හමුවන පුළුල් අර්ථ ඇති ව්‍යවහාරයෙකි. ගැනීම, දැඩිව ගැනීම
(අභි) (අරමුණු) දැඩි කොට ගැනීම එහි මූලික අර්ථය වේ. දැඩි සේ ගැන්ම, දර, කිසිවක
පැවැත්මට උපකාරවන දෙය, තෘෂ්ණා - දෘෂ්ටි ආදිය යන අරුත් ද එයට දිය හැකි ය. තදින්
අල්ලා ගැනීම, අත් නොහැරීම, එල්බ ගැනීමාදී අරුත් ද උපාදාන යන්නෙහි ඇතුළත් වෙයි.
‘ආදාන යන වචනයේ තේරුම ගැනීම යනුයි. සර්පයෙකු විසින් මැඩියෙකු ගන්නාක් මෙන් ද,
කබරයෙකු විසින් සර්පයෙකු ගන්නා මෙන් ද ලෙහෙසියෙන් නොහරින පරිද්දෙන් තදින් ගැනීමට
උපාදාන යැයි කියනු ලැබේ. සිත්හි හටගන්නා යම් ධර්මයක් තෙමේ අරමුණු එසේ තදින් ගැනීම
කෙරේද, ඒ ධර්මයට උපාදාන යැයි කියනු ලැබේ. මෙහි උපාදාන යැයි කියනුයේ එසේ අරමුණු
තදින් ගැනීම කරන චෛතසික ධර්මයන්ට ය. (චන්දවිමල නාහිමි, රේරුකානේ, පටිච්ච සමුප්පාද
විවරණය පිට 72)
බුදු දහම අනුව එක් අතෙකින් උපාදාන යන්නෙන් විග්‍රහ කෙරෙන දැඩිව ගැනීම මානසික ය. එය
මනසින් අල්ලා ගැනීමකි. එබැවින් දාර්ශනික වශයෙන් උපාදානය මනෝ විද්‍යාත්මක
සංකල්පයෙකි. අනෙක් අතින් එය මානව චර්යාව හා බැඳී සිටියි. එනම් මිනිසාගේ හැසිරීමට
සම්බන්ධ වූවකි. එබැවින් ආචාර විද්‍යාත්මක ස්වරූපයක් ද ගනී. බුදු දහම අනුව උපාදානය
යථාභූත ඤාණදස්සන නම් වූ ඇත්ත ඇති සැටියෙන් දැන දැක ගැන්මට බාධකයකි. ඒ අනුව ඥානය
වීමංසාත්මක ස්වරූපයක් ද ප්‍රකට කරන්නේ ය. බුදු සමයෙහි පදනම පටිච්ච සමුප්පාදය යි.
එනම් බුද්ධ දේශිත හේතුඵල ධර්මයයි. පටිච්ච සමුප්පාදය දකින්නා දහම දකින බව ද, දහම
දකින්නා පටිච්ච සමුප්පාදය දකින බව ද නිකායගත ඉගැන්වීම ය.
උපාදාන යන්න පටිච්ච සමුප්පාද දේශනාවේ හමුවන ප්‍රත්‍යයෙකි. එහි ‘මෙය ඇති කල මෙය ඇත’
(ඉමස්මිං සති ඉදං හොති) යනාදී අනුලෝම නය අනුව තණ්හාව ඇති කළ උපාදානය වේ. (තණ්හා
පච්චයා උපාදානං) උපාදානය ඇති කළ භවය වේ (උපාදාන පච්චයා භවො) භවය ඇති කළ ජාති ජරා
මරණා දී සංසාරගත දුක්ඛයෙහි සමුදය (හටගැන්ම) වන්නේ ය. එසේම එහි මෙය නැති කල මෙය නැත
(ඉමස්මිං අසති ඉදං න හොති). යනාදී ප්‍රතිලෝම නය අනුව තණ්හාව නැති කල උපාදානය නැත
(තණ්හා නිරෝධා උපාදාන නිරොධො). උපාදානය නැති කල භවය නැත (උපාදාන නිරෝධා භව නිරොධො)
භවය නැති කල ජාති ජරා මරණාදී සසර දුක් නැත. එය ම දුක්ඛ නිරෝධය යි. මෙසේ පටිච්ච
සමුප්පන්න ප්‍රත්‍යාකාරය තුළ උපාදානය ඉතාවැදගත් ස්ථානයක් ගනී. එහි සමුදය දුක්ඛ
සමුදය කෙරෙහි ද, එහි නිරෝධය දුක්ඛ නිරෝධය කෙරෙහි ද බලපායි. එසේම උපාදානයට
ස්වතන්ත්‍ර ස්වාධීන පැවැත්මක් නැත. තණ්හාව එයට උපකාරී ය. එය භවයට උපකාරී ය. උපාදානය
සාපේක්ෂක ස්වභාවයෙන් යුක්ත වන්නේ ය.
පෙළ දහම නොයෙක් තැන දක්වා ඇති පරිදි උපාදානය චතුර්විධ ප්‍රභේදයකින් යුක්ත වෙයි.
එනම් කාමුපාදානය, දිට්ඨුපාදානය, සීලබ්බතුපාදානය හා අත්තවාදුපාදානය යනුවෙනි. එහි
කාමුපාදානය නම් වස්තු කාම, ක්ලේශ කාමයන්හි දැඩිව, තදින් එල්බ ගැන්ම ය. අල්ලා ගැන්ම
ය. රූප කාම, ශබ්ද කාම, ගන්ධ කාම, රස කාම, පොට්ඨබ්බ කාම යැයි දක්වා ඇති පඤ්ච කාමයෙහි
ඇති දැඩි ඇල්ම, තෘෂ්ණාව කාම තණ්හාවයි. එකී පස්කම් සුවයෙහි එල්බ ගැනීම, එය දැඩිව
ගැනීම, තදින් අල්ලා ගැනීම කාමූපාදානයයි. දිටිඨි යන්න සම්මා - මිච්ඡා යන විශේෂණයෙන්
තොරව ව්‍යවහාරයට ගන්නා විට ඉන් අර්ථවත්වන්නේ අන්තගාමී මතවාදයකි. සාමයික දාර්ශනික
වශයෙන් අත් නොහරින්නා වූ, එල්බ ගත්තා වූ ස්ථාවරයකි. සස්සත දිට්ඨිය, භවගාමී නිත්‍ය
සදාකාලික ආත්මයක් ඇත යන්න එබඳු එක් මතවාදයෙකි. අසස්ත හෙවත් උච්ඡේද දිට්ඨිය එහි
ප්‍රතිවිරුද්ධ මතවාදය යි. නිත්‍යාත්මයක් නැත. සියල්ල මරණයෙන් කෙළවර වේ’ යන ස්ථාවරය
යි. මෙම උභය දෘෂ්ටීන්ගෙන් එකක හෝ ඒවාට අනුගත වූ වෙනත් දෘෂ්ටියක හෝ එල්බ ගැනීම
එවැන්නක් තදින් අල්ලා ගැනීම දිට්ඨි උපාදානයයි. මෙයම සත්‍යය. අන් සියල්ල අසත්‍යයැ’යි
අන්තවාදී මතයක එල්බ ගැනීම ඉන් අදහස් වෙයි. බුදු දහම අරබයා වුව ද එබඳු දැඩි එල්බ
ගැනීම් බුදුරජාණන්වහන්සේ අනුමත නොකරති. ධර්මය පහුරකට උපමා කරන ලද්දේ ය. සීලබ්බත යනු
ශීල ව්‍රතාදිය යි. කිසියම් සීලයෙක, පිළිවෙතක එල්බ ගැනීමයි. එහි ලා අන්තවාදී වීමයි.
එය තදින් දැඩිව ගැනීමයි. අජව්‍රත, ගොව්‍රතාදී අබෞද්ධ ශීලව්‍රතයක එල්බ ගැනීම මින්
අදහස් වෙයි. බෞද්ධ ශීල ප්‍රතිපදාවක් වුව ද එසේ තදින් දැඩිව ගැනීම මෙයට ඇතුළත් නොවේ
යැයි කිව නො හැකි ය. නුඹය, මමය, තමා ය, සත්ත්වයා ය, පුද්ගලයා ය, ආත්මයයි යනුවෙන්
සලකා ගත හැකි පදාර්ථයක් ඇතැයි ද එය නිත්‍යය, සදාකාලික යැයි ද පිළිගැනීම එහි
මූලිකාර්ථයයි. එබඳු ආත්ම දෘෂ්ටියක් කර ගසා ගැනීම, ආත්මයක් ඇත එය ම සත්‍ය ය, අන්
සියල්ල අසත්‍යය යැයි දැඩිව ගැනීම, මම, තමා යන මතයෙහි ම එල්බ ගැනීම, අත්තවාද උපාදාන
නම් වේ. රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ ධර්මයන් අරබයා තණ්හාව
හේතුවෙන් මෙය මගේය (එතං මම) යැයි ද, මානය නිසා මේ මම වෙමි (එසො හමිස්මිං) යැයි ද,
දෘෂ්ටිය නිසා මේ මගේ ආත්මය (ඵසො මෙ අත්තා) යැයි ද සලකා ගැන්ම අත්තවාදූපාදානයයි. එය
අයොනිසොමනසිකාරය පාදක කොට ගෙන ඇති බව බුදු දහම පෙන්වා දෙයි.
දුක්ඛාර්ය සත්‍යය පැහැදිලි කළ දම්සක් දේශනාවට අනුව සැකෙවින් කිවහොත් පඤ්ච උපාදානය ම
දුක ය. එනම් අනිත්‍ය වූ දුක් සහිත වූ අනාත්ම වූ රූපය, වේදනාව, සඤ්ඤාව, සංඛාරය,
විඤ්ඤාණය යන පඤ්චස්කන්ධය ඉහත කී පරිදි මගේ ය, මම වෙමි, මගේ ආත්මය වේ යැයි උපාදාන කර
ගැනීම ම, තදින් අල්ලා ගැනීම ම, දැඩි මානසික ග්‍රහණය ම දුක ය. අර්ථ ශූන්‍ය ය .
අතෘප්තිය පිණිස ම වේ. ඉහත කී ස්කන්ධ පඤ්චකයෙහි ඡන්දරාගය උපාදානීය ධර්ම ලෙස පෙළ
දහමෙහි දක්වා තිබේ.
පූර්වෝක්ත පරිදි ස්කන්ධ විභාගය කේන්ද්‍ර කොට ගෙන මෙන් ම ආයතන විභාගය කේන්ද්‍ර කොට
ගෙන ද උපාදානය බුදුරදුන් විසින් විවරණය කොට තිබේ. “මහණෙනි, උපාදානයට හිත දහම් ද,
උපාදානය ද දේශනා කරන්නෙමි. ඇස උපාදානයන්ට හිත දහමෙකි. කන ද, නැහැය ද, දිව ද, සිරුර
ද, සිත ද උපාදානයන්ට හිත ය. එකී චක්ෂුරාදියෙහි යම් ඡන්දරාගයෙක් වේද එය එහි
උපාදානයයි. මොවුහු උපාදානයන්ට හිත දහම් ය. මෙය උපාදාන යැයි කියනු ලැබේ. මෙලෙසින් ම
චක්ෂුරාදී ඉන්ද්‍රියයන්ට විෂයවන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මයන් ද උපාදානයන්ට
හිත දහම් ලෙස දක්වා තිබේ. මහණෙනි, ඉෂ්ට වූ, කාන්තා වූ, මනවඩන්නා වූ, පි‍්‍රය වූ,
කාමයෙන් යුත්, ඇලුම් කටයුතු, ඇසින් දත යුතු රූප ඇත. මොවුහු උපාදානයන්ට හිත දහම්
යැයි කියනු ලැබෙත්. එහි යම් ඡන්ද රාගයක් වේ නම් එය එහි උපාදානයයි. කනින් දත යුතු
ශබ්ද ඇත. නැහැයෙන් දත යුතු ගන්ධ ඇත. දිවෙන් දත යුතු රස ඇත. කයින් දත යුතු ස්පර්ශ
ඇත. සිතින් දත යුතු ධර්ම ඇත. එහි යම් ඡන්ද රාගයෙක් වේ නම් එය එහි උපාදානය යි.
සංසාරගත සත්ත්වයෝ තෘෂ්ණාව විසින් පොළඹවන ලද්දෝ ය. ඔවුහු උපාදාන නම් වූ මානසික එල්බ
ගැනීම්, අල්ලා ගැනීම් නිසා සසරින් මිදීමට අසමත් වන්නෝ ජාති ජරා මරණා දී දුකට ම
ගොදුරු වන්නෝ ය.”
අනුපදාන යනු උපාදාන කර නොගැනීම ය. උපාදානයෙන් තොර වීම ය. අනිත්‍ය වූ, දුක් සහිත වූ,
අනාත්ම වූ, පටිච්ච සමුප්පන්න වූ ස්කන්ධාදි ධර්මයන් දැඩිව අල්ලා නො ගැනීම ය. තණ්හා
නිරෝධයෙන් උපාදාන නිරෝධය ද, උපාදාන නිරෝධයෙන් භව නිරෝධය ද, භව නිරෝධයෙන් ජාති
නිරෝධය ද, ජාති නිරෝධයෙන් ජරා මරණ, සෝක පරිදේවාදී සියලු දුක්ඛ දොමනස්සයන්ගේ නිරෝධය
දනවන බව පටිච්ච සමුප්පාද දේශනාව උගන්වයි. (එවමෙතස්ස කෙවලස්ස දුක්ඛන්ධස්ස නිරොධො
හොති) “මහණෙනි, දර ගැල් දහයක හෝ විස්සක හෝ තිහක හතළිහක හෝ මහා ගිනි කඳෙක් යම් සේ
දිලෙන්නේ ද, පුරුෂයෙක් කලින් කල වියළි තණත්, වියළි ගොමත්, වියළි දරත් එහි නො ලන්නේ
ද, මහණෙනි, මෙසේ ඒ මහා ගිනිකඳ පළමු දර ගැනීමෙනුත්, අනෙක දර නො ගැනීමෙනුත් ප්‍රත්‍යය
රහිත වූයේ නිවෙන්නේ ය. එසේම උපාදානීය ධර්මයන්හි දෝෂය නැවත නැවතත් දක්නා සුළුව
වෙසෙන්නාගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ. උපාදාන
නිරෝධයෙන් සියලු දුක් රැසෙහි නිරෝධය වේ. ආදී බෞද්ධ චින්තනයෙහි මූලික අරමුණ වන්නේ
මෙසේ අනේකවිධ හේතු ප්‍රත්‍යකාරයෙන් සසර දුක හටගන්නා ආකාරයත්, එකී හේතු
ප්‍රත්‍යයන්ගේ නිරෝධයෙන් එකී දුක නිරුද්ධවන ආකාරයත් හෙළිදරව් කිරීම ය. “පෙර මෙන් ම
දැනුත් මම දුකත් දුකින් අත්මිදීමත් පමණක් පනවමි’යි බුදුරජාණන්වහන්සේ වදාළහ. එබැවින්
උපාදානයෙහි අවැඩ දකින බුදුදහම අනුපාදානයට ම මග පෙන්වයි. එයින් ම සසර දුකින්
අත්මිදීම වේ.
සතරාකාර පරිවර්තයෙකින් යුතුව රූපය, වේදනාව, සඤ්ඤාව, සංඛාරය, විඤ්ඤාණය යන පඤ්ච
උපාදානස්කන්ධයන් ඇති සැටියෙන් (යථාභූතං) දැන දැක ගන්නා තුරු විමුක්ති ප්‍රතිලාභයෙක්
නොවන බව පෙළ දහම උගන්වයි. එකී සතරාකාරය (චතු පරිවත්තය) නම් රූප ස්කන්ධයන් ද, එම
ස්කන්ධයන්ගේ හට ගැනීම (සමුදය) ද, නිරුද්ධ වීම (නිරෝධ) ද, නිරෝධ වීමට අදාළ
ප්‍රතිපදාව (පටිපදා) ද වේ. යමෙකු වෙත එසේ උපාදාන වශයෙන් අල්ලා ගත් ස්කන්ධ ධර්මයන්
පිළිබඳ චතු පරිවත්තය ඇත්තේ නම් හෙතෙම එම ධර්මයන් අරබයා නිර්වේදය විරාගය, නිරෝධය
ඇත්තේ ය. උපාදාන වශයෙන් ස්කන්ධයන් අල්ලා නො ගන්නේ ය. මැනවින් මිදුණේ ය. අනුපාදානය
හෙවත් උපාදානයෙන් තොර වීම වෙත ළඟාවන මාර්ගය, එනම් උපාදාන නිරෝධගාමිණී පටිපදාව නම්
ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. නිවන් මගයි. උපාදාන නිරෝධයෙන් තොර වූ දුක්ඛ නිස්සරණයක්
නැත. |