[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධම්මදායාද

ධම්මදායාද

සැප සතුට කැමතිවීම මිනිස් - නොමිනිස් සියල්ලන්ට ම පොදු වූවකි. අනේකවිධ දුක් පීඩා උහුලමින් සුව වින්දනයන් සොයන සාමාන්‍ය ලෝ සතුන් සුවයෙහි මිහිර ද, දුකෙහි නපුර ද හරිහැටි දන්නේ නැත.

පසිඳුරන් පිනවීම සැපයක් වුවද එහි ඇත්තේ ඡායාමාත්‍ර සොම්නසකි. ලබන ලද්ද උසස් තුෂ්ටියක් නම් කාලානුරූපී ව හෝ වෙනයම් කරුණක් නිසාවෙන් විපරිනාමයට පත්විය නොහැකි ය. එහෙත් එවන් අවිපරිනාමීය සුඛ වේදිතයක් ලෞකිකත්වය තුළ නො ලද හැකි බව ප්‍රත්‍යක්ෂ ලෙස දැක වදාළ බුදුරදුන් අවේදයිත සැපයක් වන නිවන් අමාවට පිවිසෙන මාවත එළිපෙහෙලි කළේ පමණ කළ නොහැකි මහා කාරුණික සිතිවිලි විමනක ඇති මිහිරියාව අප සැමට දායාද කරවමිනි. සද්ධර්ම දායාදය යැයි කිව යුතු ඒ නිරාමිස සුඛෝපායන පිළිවෙත් ක්‍රමය; ලොව ඇතිතාක් දායාදයන් ඉක්මවා ඉහළම ප්‍රීතියක් ගෙන දෙන්නකි.

නුවණැත්තන්ගේ වගකීම

අප පරිහරණය කරනු ලබන පස් කඳ මළගමින් සි¼දී ගිය දා පරලොවේදී වන්නේ අන්ත දුක් විඳීමක් නම්, මෙලොව ලබන සතුටින් හෝ දුකින් පලක් නැති බව නුවණැත්තන් විසින් වටහාගත යුත්තකි. පරලොව සුගතිය කෙළවර ශාන්ති සුවය ද ලැබේ නම් අද විඳීන දුක ද සැපයක් කොට තැකිය යුතු ය. මෙලොව දී දාන සීලාදී පින් පුරන්නට යාමේදී ඇතිවන බාධා කරදර මැඩ පවත්වා කුසල් සිත රැක ගැනීමට වෙහෙසක් දුකක් දැරිය යුතු වේ නම්, අපා දුක හා සසඳන කල එය ද සැපයක් ම යැයි කිව යුතු ය.

පරපුරෙන් උරුම වූ සියල්ල ම යහපත් නොවේ. ඇතැම් ඇදහිලි හා පුරුදු මෙන්ම ආකල්ප හා විශ්වාසයන් වෛරයට, හිංසනයට, වධයට, බන්ධනයට, ආත්මාර්ථයට හා කුරිරු බවට, බියට, සැකයට සෘජුවම හේතුවන අයුරු වර්තමාන ලෝකයෙන් ප්‍රකට වන්නකි. එවන් ගති පුරුදු යමෙකුට හෝ යම් පිරිසකට දායාද කරයි නම්, එය අයහපත් දායාදයක් හෝ අධර්ම දායාදයකි.

මව්පියන් විසින් දරුවන්ට දෙනු ලබන සෑම දෙයක් ම ධර්ම දායාදයන් නො වන බව දත යුතු ය. කුඩා දරුවාට ලබාදෙන සෙල්ලම් භාණ්ඩයකින් නමුත් නූපන් ද්වේෂ සහගත හැඟුම් ඇති වේ නම්, දරුවාට වන යහපතක් නැත. සෙල්ලම් තුවක්කු, දුනු හී ආදිය ලබාදීම එවැන්නකි. එනිසා ඔහුගේ සිතේ පහළ වන ද්වේෂ මූල චිත්තෝත්පාදයන්, මහා සාවද්‍ය නොවුනත් වෛරයට, අනුකම්පා විරහිත හැසිරීම්වලට පෙළඹවීමක් ඒ තුළින් සිදුවන අතර, ඔවුන් වැඩිවියට පැමිණි පසු දයා විරහිත ව කුහක ලෙස හැසිරෙනු බොහෝ සෙයින් දක්නා ලැබෙන සත්‍යයකි. වත්මන් සමාජය තුළ සිදුවන සෑම වර්ගයකටම අයත් අපරාධයකම සුලමුල විමසන විට පෙනෙන සත්‍යයක් නම්, එම අපරාධකරුවන්ට කුඩා කල තම මව්පියන්ගේ පටන් ලැබී ඇත්තේ ගුණ - ධර්ම වැඩෙන ආකාරයේ මගපෙන්වීම් හා පූර්වාදර්ශයන් නො වන බව ය. එනම් ඔවුනට ලැබී ඇත්තේ අධර්ම දායාදයන් ය.

සමාජයක යහපත් පැවැත්මට මව්පියන් මෙන්ම ගුරුවරුන් ද තරයේ ම වගකිව යුතු ය. කුඩා කල මනසකට ඇතුල් වූ සංඥාවන් දරුවන් ක්‍රමයෙන් වැඩෙන විට ඔවුන්ගේ චින්තන ඉසව්වන් තීරණය කිරීමේ ලා සෘජුව ම හේතු වේ. කුඩා දරුවාට ශාන්ත බුදුරුව, සිසිලැති බෝ සෙවන, දාගැබ්, පෙති පිළිම දකින්නට සලස්වා සුපහන් හැඟුම්වලට සිත යොමු කළ හැකි නම්, තෙරුවන් ගුණ කියාදී අනෙකාට පිහිටවීමේ උවමනාව, කළගුණ සැලකීම, පුරුදු කරවිය හැකිනම් ඔහු කිසිදා කිසිවෙකුට කරදරයක් නො වනු ඇත. බෞද්ධයන්ට උරුම, මෙත් කරුණා ගුණ පුරුදු කරවිය හැකි හොඳම වයස කුඩා අවධිය යි. කාසි හා නෝට්ටු ඉපයීමේ උපායයන් හදාරවන අධ්‍යාපනය මත හිර නොකර, මිනිස් මනසක උපදින දයා භරිත සිතුවිලි පෝෂණය කරවිය හැකිනම් කිසිවකුටත් කරදරයක් නොවන අයුරින් ජීවත්වීමේ රටාව පුහුණු කරවිය හැකි නම්, දරුවාට ලබාදෙන උසස්ම රසය වන ගුණ ධර්ම රසය ලබා දුන්නා වේ. එයම ධර්ම දායාදයක් බවට පත්වන අතර, දිය හැකි උසස්ම උරුමය වේ.

එහෙත් එපමණකින් ගුරු දෙගුරුන් තම වගකීම සම්පූර්ණ කොට ඉටුකර නැත. මෙකල මනුලොව උපන්නෙකුට චිරදීඝවාසී බවක් නැත. ගණන් කළ හැකි වේල් ගණනක් බුදිමින් සංඛ්‍යාත්මක දින - මාස - වර්ෂ ගණනක් ඇවෑමෙන් පරලොව යන දාට ගෙන යා හැකි දායාදයක් ද ලබාදීමට කටයුතු කළ යුතු ය. එනම් තම දරුවා කුඩා කල පටන්ම ශ්‍රද්ධාවෙන් වඩවන්නට, දානයෙන් හා භාවනාවෙන් මුහුකරවන්නට උත්සාහවත් විය යුතුය. සතර අපා දුක දන්නෝ දුක් හඳුනති. පවට බිය වෙති. නො දන්නෝ දුකට - පවට බිය නොවෙති. ඔවුනට නොකළ හැකි අධ්‍යාචාරයක් නොමැත. නමුත් දේපළ වස්තු, මුදල්, තනතුරු ළං කරවීමට වෙර දැරීමට ප්‍රථම බුදු බණට මෙල්ල කරවීමට වෑයම් කරන ගුරු දෙගුරුන්, තම අනාගත පරපුරට අමිල වූ ධර්ම දායාදයන් ලබා දෙන්නන් ය.

ආධ්‍යාත්මික ශක්තිය

මෙහිදී භික්ෂු සංස්ථාවේ ඇති වගකීම් හා යුතුකම් ගැන ද සිහිපත් කළ යුතු ය. කවුරුන් කෙසේ අර්ථකථනය කළත් භික්ෂු සමාජයේ පරිහානිය සිංහල බෞද්ධයන්ගේ පරිහානියටත්, දියුණුව යහපතටත් සෘජුවම හේතුවන එක් කරුණකි. සංඝරත්නය යනු සිංහල බෞද්ධයන්ගේ පමණක් නොව සියලු සත්වයන්ගේ ම ආරක්ෂක දේවතාවා ය. එහෙත් පවිටු මිසදිටු-ඇදහිලි හා යාතිකාවන් සරණ කර ගත් උදවියට ඒ ගැන කොහෙත්ම වැටහීමක් නැත. සීලයේ ද, සංවරයේ ද, කරුණා මෛත්‍රියේ ද, නිර්භීත භාවයේ හා අපක්ෂපාතී භාවයේ ද, මෙලොව පරලොව සැනසීමේ ද දිවමන් මූර්තිය භික්ෂුව බව බුදුරදුන් විසින් වාදාරා ඇත. එහෙත් එසේ වන්නේ භික්ෂුවට ද නිවැරැදි ලෙස සුදුසු කලට ධර්ම දායාදාය ලදහොත් පමණි. සසුන් ගතවන නවකයෙකුට ගුරු දෙගුරුන් වන්නේ වැඩිහිටි භික්ෂූන් වහන්සේලාම ය. පැවිදිවීමට පුහුණුව ලබන කාලයේ පටන්ම කුඩා සාමණේර හිමිවරුන්ට වැඩිහිටි තෙරුන් වහන්සේලා විසින් ලබාදිය යුතු දායාදයක් ඇත්තේ ය. ඒ අතර සසර බිය හා පැවිද්දෙහි අරමුණ තේරුම් කරදීම ප්‍රධාන වේ. නවක පැවිද්දා සතර සතිපට්ඨානයේ හුරුකරවීම පළමුකොට ම සිදුකළ යුතු බව තථාගතයන් වහන්සේ වදාළහ. මහණකම යනු තවත් එක් යැපීම් ක්‍රමයක් නො වන බව නවක පැවිද්දන්ගේ සිතට තරයේ ම ඇතුලු කරවිය යුතු ධර්ම චින්තාවකි. පැවිද්දෙකු තුළ තිබිය යුතුම ආධ්‍යාත්මික ශක්තිය සීලය හා භාවනාව නිසා ලැබෙන්නක් මිස බාහිර උගත්කම් තනතුරු හා විශේෂතා හේතුවෙන් නො ලැබේ.

ආකල්ප සම්පත්තියෙන් යුක්ත වීම හොඳ පැවිද්දෙකුගේ ලක්ෂණයකි. හැඟීම් පාලනය; දිනකට දෙතුන් වරක් බුදුන් වැඳීම, වත් පිළිවෙත් සම්පාදනය, අර්ථකථා ටීකා සහිත ත්‍රිපිටක ධර්මය හැදෑරීම, පර්යංක හා සක්මන් භාවනාව සඳහා කාලයක් වෙන්කර ගැනීම ඒ සඳහා හේතුවන කරුණු ය. එසේ නමුත් නවක පැවිද්දාට පුහුණුවක් ඉබේ ඇති නොවේ.

බුදු සසුනේ ඉදිරි පැවැත්ම

පැවිදි උපසම්පදාවෙන් වැඩිහිටි භික්ෂූන් විසින් ලබාදිය යුත්තකි. ධර්ම දායාදය යනු එයයි. නවක - මධ්‍යම - ස්ථවිර භික්ෂූන් විසින් ගිහිකම හා මුසු වූ සිප් සතර හැදැරීම බුදුරදුන් විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ පැවිද්දාගේ භූමිකාව නිවැරැදිව හඳුනා ගැනීම සඳහා ය. ගිහිගති ඇති පැවිද්දන් තනන ආචාර්ය උපාධ්‍යායවරුන් ද නින්දා ලැබිය යුත්තන් බව ධර්මයේ සඳහන් වේ. සිල්වත් හා ගුණ යහපත් භික්ෂුව ඉතිහාසයේ කිසිදු දිනෙක සිංහල බෞද්ධ ගිහි සමාජය විසින් ප්‍රතික්ෂේප කළේ නැත. එවන් භික්ෂූන් ආදරයෙන් රැක බලාගත්තේ තම දරු මුණුපුරන් පවා කුසගින්නේ සිටියදී දන්පැන් පූජා කිරීමෙනි. අද වනවිට ගිහි සමාජයෙන් එල්ලවන සියලු චෝදනා අදාළ නො වුණත් ඇතැම් කරුණු ගැන භික්ෂුන් වහන්සේලා සැලකිලිමත් විය යුතු ය. අඩුපාඩු සොය සොයා පහර ගසමින් ප්‍රසිද්ධියේ විවේචනය කරන ගිහියන් චණ්ඩාලයන් බව බුදුරදුන් විසින් වදාරා ඇති බැවින් එවැන්නන් ගේ චෝදනා එතරම් තැකිය යුතු නොවන අතර; සැදැහැති ගිහියාගේ සානුකම්පිත පෙන්වාදීම් බුදුසසුනේ ඉදිරි පැවැත්මට හේතුවන නිසා ඊට සවන්දීමට භික්ෂුවට යුතුකමක් ඇත. ඇතැම් භික්ෂුන්ගේ පාපී හැසිරීම් නිසා සංඝරත්නයට අවමන් නො කළ යුතු අතර, මොනම හේතුවකින්වත් ද්වේෂ පරවශව භික්ෂුව වෙත ඇඟිලි දිගුකිරීමට කිසිදු ගිහියෙකුට බුදුරදුන් විසින් අවස්ථාවක් ලබාදී නොමැත. ගිහියන් අතර ද, පැවිද්දන් අතර ද, ගිහියන් හා පැවිද්දන් අතර ද, යම් අර්බුදයන් වේ නම් ඒ අධර්ම දායාදයන් නිසාම ය.

තථාගතයන් වහන්සේ ගිහි පැවිදි සියල්ලන්ට ලබාදුන් ධර්ම දායාදය පර්යාප්ති - ප්‍රතිපත්ති - ප්‍රතිවේද යන ත්‍රිවිධ සාසනයයි. එය පළමු කොට භික්ෂුවටද, භික්ෂුව නිසා ගිහියාට ද හිමි වන උත්තම වස්තුවකි. එමෙන් ම එය ගිහි පැවිදි උභය පාර්ශවයන් විසින්ම තම තම වගකීම් හා යුතුකම් නොපිරිහෙලා ඉටුකොට ආරක්ෂා කළ යුතු බව ශ්‍රී මුඛයෙන් වදාරා ඇත. ඊර්ෂ්‍යාව හා අසමගිය නිසා ද, කාමුකත්වය හා දුස්සීල භාවය නිසාද දිනෙන් දින අභාවයට යන සාසන දායාදය ආරක්ෂා වන්නේ අණපනත් හා කෙටුම්පත් වලින් නොව පැවිද්දා විසින් පැවිද්දාට ද, පැවිද්දා විසින් ගිහියාට ද, ගිහියා විසින් ගිහියාට ද ලබාදෙනු ලබන ධර්ම දායාදයන් වන උක්ත ත්‍රිවිධ සාසනය හේතුවෙන් ම පමණි. ධර්ම දායාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට, ධර්මාවබෝධ කිරීම් වශයෙන් ම බුදු සසුනේ කොටස්කරුවන් වන ලෙස දේශනා කළහ. ශාසනික ව ලැබෙන සිව්පස ලාභයන් කෙරේ පමණක් යොමු වූ සිත් ඇති පැවිද්දා හා ගිහියා තවදුරටත් ගැරහුම් ලැබිය යුත්තන් වී බුදුරදුන්ට ද ගර්හා කරන බව වදාරණ ලදී. බුදුරජාණන් වහන්සේගෙන් නියම අයිතිය සොයන ශ්‍රාවකයා කව්රුද යන්න පහත පරිදි වදාරා ඇත.

දන් වළඳා අවසන් වූ බුදුරජාණෝ ඉතිරි දාන වස්තුව පෙන්වා, තවමත් දන් නො වැළඳූ භික්ෂූන් දෙදෙනෙකුට “මහණෙනි, මම වළඳා අවසන් කළෙමි. දානය ද ඉතිරිවී ඇත. කාලවේලාව ද ඉක්ම ගොස් නැති නිසා කැමති නම් වළඳන්න. නුඹලා වළඳන්නේ නැත්නම් මවිසින් මේ ඉතුරු භෝජනය බැහැර කරන්නෙමි.“ යැයි වදාරති. එය ඇසූ එක් භික්ෂුවක් “තථාගතයන් වහන්සේ ආමිසය නොව ධර්ම දායාදය ගරු කරන සේක”යැයි නො වළඳා කුසගින්නේ ම කෙලෙස් තවන වීර්යයෙන් පසුදා පහන් වනතුරු කල් ගෙවයි. අනෙක් භික්ෂුව; “දානය ද ඉතුරුවී ඇත. මම ද තවම නො වැළඳුවෙමි, වෙලාව ද ඉක්ම ගොස් නැත” යැයි ඉතුරු වූ පිණ්ඩපාතය වළඳා කෙලෙස් තවන වීර්යයෙන් රැය පහන් කරයි.

මේ දෙදෙනාගේ ක්‍රියාවන් දෙස බලන බුදුරදුන් දෙදෙනා අතරින් කුසගින්නේ බවුන් වැඩූ භික්ෂුව ම අගය කරන අතර, ඔහුගේ එම ක්‍රියාව අප්පිච්ඡතාදී ගුණයන්ට හේතුවන බව පෙන්වා එම භික්ෂුව මාගේ නියම උරුමය සොයන්නා බව වදාළහ.

වැරදීම් අතර බුදුසසුනක් වරදවා ගැනීම තරම් අන්‍ය වූ අවාසනාවක් නැත. දායාදයන් - උරුමයන් අතර තථාගත ධර්මය තරම් වටිනා අන් කිසිවකුත් නොමැත. ප්‍රායෝගික ලෙස භාවිතයට ගත් ධර්මය සිතක් සතුටින් උතුරුවාලන බව නො කිව මනා ය. බුදු බණට නො හික්මුණ හිත හික්මවාලන අන් බණක් ලොව නැත. ප්‍රතිපත්තිමය වශයෙන් සිතට - කයට - වචනයට පමුණුවා රක්ෂා කළ සීලාදී සුචරිත ධර්මයන් එලවන සුවය සීලාදී ගුණ බහුලවන තරමට ම වැඩි වැඩියෙන් ලැබෙන්නකි. එහෙත් තවෙකෙකුට ලබාදෙන්නට පෙර පැවිද්දෙක් නම්, අවම වශයෙන් හෝ ඒ ධර්ම දායාදය ලබා තිබීම ඉතා වැදගත් වේ. ගිහියා ද සාසන රසය දැනගනු කැමති නම් පඤ්ච ශීලයෙහි පිහිටා ගිහිවත සම්පූර්ණ කළ යුතු ය.

ගිහි පැවිදි දෙපිරිස ම තම තම අනුගාමිකයන් කෙරෙහි සැබෑ සෙනෙහසක් ආදරයක්, මෛත්‍රියක් වේ නම් සීලාදී ගුණ ධර්මයන්හි ද මාර්ග ඵල හා නිවන් අමාවෙහි ඇති අසීමිත වූ වේදයිත හා අවේදයිත සැපයන් පෙන්වා සැබෑ ධර්ම දායාදාය ලබාදී ඔවුන් සුවපත් කළ යුතු ය.

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පොහොය පෙබරවාරි 08 වනදා සෙනසුරාදා අපරභාග 04.10 ට ලබයි. 09 වනදා ඉරිදා අපරභාග 01.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 08 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 15 වනදා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk