[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුත්තරීය සූත්‍රය:  ත්‍රිශික්ෂාවේ හික්මීම

ත්‍රිශික්ෂාවේ හික්මීම

" මහණෙනි, අසංවර බවට පත් වූ කල්හි හෙවත් තැන්පත් බවින් මිදී සමාධියෙන් ගිලිහී ගිය කල්හි සිත තරම් තමන්ට හානි පමුණුවන වෙනත් දෙයක් නොමැත."

සික්ඛානුත්තරීය

හුරුපුරුදු කළ කල්හි ශික්ෂණයෙන් ලබන උසස් බව සික්ඛානුත්තරීය යනුවෙන් ප්‍රකාශ වේ. “හත්ථිසිප්පාදිසික්ඛනං න සික්ඛානුත්තරියං” ඇතුන් පිට යාම, අසුන් පිට යාම, කඩු ශිල්ප, දුනු ශිල්පාදිය ශික්ෂණයේ වැදගත් කරුණු වන මුත් උසස් ම පුහුණු කිරිම් ලෙස නො සැලකේ. සීල, සමාධි, ප්‍රඥා යනාදී වූ ත්‍රිශික්ෂාවේ හික්මීම උසස් ම ශික්ෂණය ලෙස ධර්මයෙහි පැහැදිලි කෙරේ.

සීලයෙහි හික්මීම උසස් යැයි සැලකෙන්නේ ඇයි?

“සීලයෙන් ලබන ප්‍රතිපලය අනුන්ට ය” යන මතය බොහෝ දෙනා තුළ පවතින මුත් එහි ප්‍රතිඵල තමන්ට අයත් වේ. බෝසතාණන් වහන්සේ සීල පාරමිතාව පිරුවේ තමන් වහන්සේට බුද්ධත්වය දක්වා යන ගමන සාක්ෂාත් කරගැනීම පිණිස ය. එසේ ම සිල්වත් පුද්ගලයා සමස්ත සමාජයතුළ ම ගෞරව ලබන්නෙකි.

“සීලං යාව ජරා සාධු” ජීවිතය අවසන් වන තෙක් සීලය රැකගන්න.

“සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො

චිත්තං පඤ්ඤඤ්ච භාවයං”

ප්‍රඥාවන්ත පුද්ගලයා සීලයෙහි පිහිටා සිත වඩයි. ප්‍රඥාව වඩයි.

මෙසේ ශික්ෂණයන් අතර සීලය උසස් ලෙස ගැනේ. ධර්මානුකූල ව සීලයට පත් වූ තැනැත්තාගේ ස්වභාවය පහත සඳහන් පරිදි වේ.

“දන්තං නයන්ති සමිතිං

දන්තං රාජාභිරූහති

දන්තො සෙට්ඨො මනුස්සෙසු

යො’ති වාක්‍යං තිතික්ඛති”

“දන්තං නයන්ති සමිතිං” -

පිරිසක් අතරට ගෙන එන්නේ හීලෑ ඇතා ය.

“දන්තං රාජාභිරූහති” –

රජතුමා හීලෑ ඇතා පිට මත නඟින්නේ ය.

“දනේතා සෙටෙඨා මනුසේසසු -

යොති වාක්‍යං තිතික්ඛති” – එමෙන් හික්මුණු මිනිසා සමාජය තුළ ශ්‍රේෂ්ඨ අයෙක් වේ.

සංවර වූ පුද්ගලයා සමාජයෙන් ගෞරව ලබන්නා සේ , නො හික්මුණු තැනැත්තා සමාජය තුළ ප්‍රතික්ෂේපිත අයෙක් බවට පත් වේ.

සමාධිය

සමාධිය යනු චිත්ත ඒකාග්‍රතාවයයි. සිතෙහි එකඟ බවයි. ඉතා වැදගත් කාරණාවක් වන සිත එකඟ කරගැනීමට නො හැකි වීමෙන් මිනිසා බොහෝ දුක් කම්කටොලුවලට මුහුණදෙයි. මෙම කාරණය බුදුන් වහන්සේ මෙසේ දේශනා කර ඇත.

“නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං එවං අභාවිතං මහතො අනත්ථාය සංවත්තති යථයිදං විත්තං”

මහණෙනි, අසංවර බවට පත් වූ කල්හි හෙවත් තැන්පත් බවින් මිදී සමාධියෙන් ගිලිහී ගිය කල්හි සිත තරම් තමන්ට හානි පමුණුවන වෙනත් දෙයක් නොමැත.

“නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං භාවිතං මහතො අත්ථාය සංවත්තති, යථයිදං චිත්තං”

එසේ ම සිත තරම් පුද්ගලයාට මහත් වූ අර්ථය පිණිස පවතින වෙනත් කාරණාවක් නොමැති බව ඉහත ප්‍රකාශයෙන් බුදුන් වහන්සේ පෙන්වා දුන් සේක.

“දිසො දිසං යන්තං කයිරා වෙරී වා පනවෙරිනං” හතුරෝ හතුරෙක්ට කරන හිරිහැරයට වඩා වැඩි හානියක්

‘මිච්ඡා පණිහිතං චිත්තං” - වරදවා ගත් සිත තුළින් තමන්ට අත්වන බව ප්‍රකාශ කෙරේ.

එහෙත්,

‘න තං මාතා පිතා කයිරා අඤ්ඤෙ වා පි ච ඤාතකා” – අම්මා, තාත්තා කරන යහපතට වඩා වැඩි යහපතක්

“සම්මාපණිහිතං චිත්තං’ – නිවැරැදිව පිහිටුවා ගත් සිත තුළින් තමන්ට අත් කරගත හැකි වේ.

දෙමාපියන්ට සිය දරුවාට හොඳින් ඉගැන්වීමට, හොඳ ආහාරපානාදියෙන් පෝෂණය ලබාදීමට, යහපත් විවාහයක් කරදීමට හැකියාව ඇතත්, දරුවා සිය සිත පිහිටුවා ගන්නා ආකාරය අනුව ඔහුගේ පැවැත්ම පවතිනු ඇත. එම තත්ත්වය යහපත් හෝ අයහපත් විය හැකිය. මෙසේ සිත පිහිටුවා ගත් ආකාරය අනුව මෙලොව පමණක් නොව මුළු සසරම පවතී.

එක් රජ මැදුරක එක්ව හැදුණු වැඩුණු රාජ කුමාරවරුන් දෙදෙනෙක් ලෙස අපට සිදුහත් කුමරු හා දෙව්දත් කුමරු හමුවේ. එහෙත් සිත හොඳින් පිහිටුවා ගැනීම නිසා සිදුහත් බෝසතුන් සසර දිනූ අතර, සිත වරදවා ගත් නිසා දෙව්දත් කුමරු අපහාසයට ලක්ව නිරාගත වූයේ ය. දෙව්දත් කුමරු පැවිදි වූව ද වැරදි චිත්තය හේතුවෙන් අමාපුරට එළැඹීමට නො හැකි විය.

සමාධිය තුළින් අකුසලයෙන් මිදී කුසලයට එළැඹේ

“කුසලචිතේතහි එකග්ගතා සමාධි” කුසලයට ඇති එකඟතාවය සමාධිය යි. සමහරු තමන් සිත හදාගෙන සමාධියකට එළැඹ ඇතැයි පවසති. හිත හදාගත් පමණින් සමාධිගත වුණේ යැයි කීම නිවැරැදි තත්ත්වයක් නො වේ. කිසිවෙකුට අයහපතක් කිරීම සඳහා සිත එකඟ කරගැනීම සමාධිය ලෙස හැඳින්විය නො හැකිය. එහෙයින් සමාධිය යනු කුසල් සිතක එකඟතාවය බැව් අප වටහාගත යුතු වේ.

පඤ්ඤා

“පකට්ඨං උක්කට්ඨං ඤාණං පඤ්ඤාණන්ති” ප්‍රකර්ෂයෙන් හෙවත් විනිවිද බවින් දක්නා නුවණ ප්‍රඥාව යි. සීලයෙන් සමාධියට ද සමාධියෙන් ප්‍රඥාවට ද ගමන් කළ යුතු වේ. සම්මුතියෙන් ඔබ්බට පරමාර්ථික ව දකින නුවණ ප්‍රඥාව ලෙස හැඳින්වේ. අප ජීවත් වන සම්මුති ලෝකය තුළ බොහෝ දේ සත්‍ය ලෙස අපි දකිමු. එය නිවැරදි කල්පනාවක් නො වන අතර, සම්මත සීමාව තුළ සත්‍යයෙකි. හිස මුඩු කරගත්, චීවරයක් පෙර වූ පුද්ගලයෙකු සම්මතය තුළ භික්ෂූන් වහන්සේ නමක් ලෙස පිළිගනී. මහත්මයා, මහත්මිය යන හැඳින්වීම ද සම්මතයට අනුව සිදුවන්නකි. එහෙත් පරමාර්ථ වශයෙන් ගත් කළ භික්ෂූන් වහන්සේ මෙන් ම මහත්මයා, මහත්මිය යන හැඳින්වීම් ලබන්නෝ පංචස්කන්ධයෝ වෙති. නමුත් සම්මතය තුළ ජීවත් වන අප ඉදිරියට පැමිණෙන කිසිවෙකුට පංචස්කන්ධයක් එන්නේ යැයි නො කියමු.

අපි නිවැරදිව භාවනාවෙහි යෙදෙන කල්හි පුද්ගල සිරුර රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ ලෙස දකිමු. එසේ නොමැති නම් දෙතිස් කුණප බෙදා වෙන් කොට මෙනෙහි කරමු. මෙම විනිවිද බව පිළිබඳව ධර්මය මෙසේ ප්‍රකාශ කරයි.

“පඤ්ඤත්ති” – පනවා ගත් දේ යථාර්ථය නො වේ.

“පඤ්ඤාපියත්තා පඤ්ඤත්ති” – පනවා ගත් නිසා ප්‍රඥාප්ති යැයි කියමු. මේසය, පුටුව, හෙප්පුව ආදි වශයෙන් අප සතු භාණ්ඩ සඳහා පනවා ගත් නාමයන් ඇත. එහෙත් සියල්ලෙහි යථාර්ථය එය නො වන බව අප වටහා ගත යුතු වේ. මේ පිළිබඳව සිත යථාර්ථයට ගමන් කරන කල්හි මෙලොව සියල්ලෙහි පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහාභූතියන් පවතින බැව් වැටහේ.

“සංකෙතවචනං සච්චං ලොකසම්මුතිකාරණං
පරමත්ථවචනං සච්චං ධම්මානං භූතකාරණං”

බන්ධ හා ධාතු, යථාර්ය, ලක්ෂණ නිසා සම්මුතිය සකස් වන්නා සේම පරමාර්ථයත් සත්‍ය වේ. නිවන් අරමුණු කොට සැදැහැවත් බෞද්ධයා ගමන් කරන මේ ගමනේ දී අප සම්මුතිය පරමාර්ථ වශයෙන් විනිවිද දැකිය යුතු වේ. විනිවිද දැකීම පිණිස අප ධර්මයෙහි පෙන්වන යථාර්ථය හෙළි කරගත යුතු වේ. ඒ අනුව කරනු ලබන පැහැදිලි කිරීම සික්ඛානුත්තරිය හෙවත් සුවිශේෂී ශික්ෂණය ලෙස හැඳින්වේ.

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පොහොය පෙබරවාරි 08 වනදා සෙනසුරාදා අපරභාග 04.10 ට ලබයි. 09 වනදා ඉරිදා අපරභාග 01.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 08 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 15 වනදා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk