[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අප්‍රමාදය පැසසුමට

අප්‍රමාදය පැසසුමට

 

අප්පමාදෙත මඝවා දේවානං සෙට්ඨතං ගතො
අප්පමාදං පසංසන්ති පමාදො ගරහිතො සදා
ධම්මපදය – අප්පමාද වග්ගය

(මඝ මානවක තෙමේ අප්‍රමාද හේතුවෙන් දෙවියන්ගේ ශ්‍රේෂ්ඨ භාවයට ගියේ ය. එහෙයින් අප්‍රමාදය පසසත් . පමා බව හැම කල්හි ම ගරහන ලද්දේය)

" වර්තමානයේ ද ගම්වල තරුණ පිරිස් අද මහත් වූ උනන්දුවෙන් ගමේ පොදුවැඩවලට ඉදිරිපත් වී සිටිති. පුරන් වී ගිය කුඹුරු අස්වැද්දීම වැනි කිසිවෙකුත් ප්‍රයෝජන නොගෙන තිබෙන මේ භූමි වෙල් යායවල් සාමූහික ව ශ්‍රමය, කාලය කැප කර නැවත වගා කිරීමේ ක්‍රියාදාමය බෝසත් චර්යාවන් ලෙස දෙවියන් අතර උසස් බවට පත්වීමට හේතුවන කටයුතු බව අගය කළ යුතු ය."

 

අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නවම් පුරපසළොස්වක පොහොය දිනෙක ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වූහ. සසර පෙරුම් දම් මනාව සපුරා තිබූ සාරිපුත්ත, මොග්ගල්ලාන දෙදෙනා වහන්සේ රහත් බව ලබා මෙම ගෞතම බුදු සසුනේ අගසව් තනතුරු ලැබීම ද බුදුරජාණන් වහන්සේ ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම ද මෙම උතුම් පොහෝ දිනයේ ම සිදුවිය.

නවම් පොහොය දිනයෙන් තෙමසක් ඉකුත් වූ විට වෙසක් පොහෝ දින පිරිනිවන් පානා බවට ආයුසංස්කාරය අත් හැරීම ද සිදු වු විශේෂ පොහෝ දිනයක් ලෙස තුණුරුවන් වෙත පූජෝපහාර පැවැත්වීමට ම සංවිධානය වන කොළඹ ගංගාරාම මහා විහාරස්ථානයේ නවම් මහා පෙරහර මංගල්‍යය ද මෙම නවම් පොහෝ දා ම සිදු කරනු ලැබේ.

අප සම්බුදු රජුන් දවස හැම සැපතකින් පිරී තිබූ විශාලා මහා නගරය ලිච්ඡවී රජ දරුවන්ට වාසස්ථාන විය. එක් ලිච්ඡවී රජෙක් මහාලි නමින් ප්‍රසිද්ධ විය. බුදුරජුන් දෙසූ සක්ක පඤ්හ සූත්‍ර දේශනාව අසා එම රජතුමා බුදුරජුන් සක්දෙව් රජු විඳින සැපත ඉතා උසස් ලෙස දේශනා කරති. මේ ප්‍රකාශ දැක වදාරන්නේ ද නොදැක වදාරන්නේ දැයි සිතා අපත් දෙව් රජු ගැන දැන ගනු පිණිස බුදුරජාණන් වහන්සේ වැඳපසෙකට වී හිඳ විමසුවේ ය.

මහාලි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සක් දෙව් රජතුමා දක්නා ලද්දේදැයි විමසූහ.

එහිදී බුදුරජාණන් වහන්සේ මහාලි, අහන්න මම සක්දෙව් රජුන් හඳුනමි. සක්දෙව් රජ වන හැටිත් දනිමියි වදාළහ.

මඝ නමින් මානවකයකු ලෙස ඉපිද බොහෝ පින් කොට දෙව්ලොව උපන් බැවින් මඝවා නම් විය.ඔහු නගරයක් පාසා, ගමක් පාසා දානශාලා කරවා දුන් බැවින් පුරින්දද නම් වේ. දුන්නේ ද යම්තරමට නොවේ. එහෙයින් සක්ක නම් වේ. මිනිසත් බව ලබා සිටියදී ආවාසයක් කරවා පිදූ බැවින් වාසව නම් වේ. සක්දෙව්රජ මොහොතක් තුළදී කරුණු දහසක් වටහා ගැනීමේ පොහොසත් බැවින් සහස්ස සක්ක නම් වේ. තව්තිසා වැසි දෙවියන්ගේ අධිපතියා බැවින් දෙවින්ද නම් වේ.

පෙර සසර සක්දෙව් ලැබීමට හේතුවන පින තිබෙනතුරු මවුපියන් රැක බලා ගැනීම ,කුලදෙටුවන් පිදීම, මොලොක් බස් බිණීම , කේලාම් නොකීම, පහවූ මසුරු මල ඇතිව දීමෙහි ඇලී සිටීම , හැම විටම ඇත්ත කීම, කිසිම කරුණක නොකිපීම යන සප්ත ව්‍රතපද සම්පූර්ණ කළෙන් දෙදෙව් ලොවට අධිපති ශක්‍ර දේව ආත්මය ලබා ගනිමු.

පෙර දවස මගධ රට මචල නම් ගමෙක මඝ නම් තරුණ පුරුෂයෙක් විසුවේ ය. ඔහු සිරිතක් ලෙස විවේක ලත් හැම විටෙක කුණුරොඩු ඉවත් කර බිම පොළව සමතලාකොට තැබීම සිරිතක් ලෙස සිදු කළේ ය. එසේ පිරිසුදු කළ සැණින් බොහෝ දෙනා එහි විවේක ගනු දැක කිපී බැණ වැදී කලබල කරනු වෙනුවට මෙය ඉතා හොඳ ක්‍රියාවක් ලෙස අනේ සාධු සාධු කියමින් සියල්ලෝ ම සුවසේ වෙසෙත්වා මට පින් ලැබේවා යි සතුටු වූහ.

කැති පොරෝ ගෙන මංමාවත් එළි පෙහෙලි කොට පිරිසුදු කිරීමේ සත්කාර්යය නොකඩවා ම සිදු කළහ. මග දෙපස යන්නෝ ද කුමක් කරන්නේ දැයි ප්‍රශ්න කොට මෙම පින්කම්වලට උපකාර කළහ. දෙව්ලොව යාමට මගක් පිළියෙල කරන බව කී විට සියල්ලෝම උපකාර කළහ. මෙසේ එක්වූ යහළු පිරිස තිස් දෙනෙක් වූ හ. ගම්මුලාදෑණි තෙමේ රජතුමාට කේළාම් කියා ඔවුන් මං පහරන්නන් , මිනිසුන් දුසිරිතෙහි පොළඹවන අය බව පවසා කේළාම් බිණූූහ. රජයට විරුද්ධ ව එන මේ සොරුන් අල්වාගෙන ඇතුලවා පාගවා මරන්නට අණ කළෝ ය.

මඝ මානවක තෙමේ තම පිරිසට “ධම්මො හවෙ රක්ඛති ධම්මචාරි” ධර්මය විසින් අපව රකිනු ඇත යැයි පවසා සියලුම දෙනා කෙරෙහි මෛත්‍රීය ම පතුරුවන්නට තම පිරිසට කී හ. මෛත්‍රී අනුහසින් ඒ එක් අයකුටවත් හිංසාවක්, පීඩාවක් කිරීමට අපොහොසත් විය. මඝ මානවක තෙමේ අනතුරුව රජුට සත්‍ය ප්‍රකාශ කොට කීවේ ය. රජතුමා ඔවුන්ට නින්දගම් ලබාදී ගම්මුලාදෑනියා ද ඔවුන්ගේ දාස මෙහෙවර පිණිස පාවා දුන්හ.

මෙසේ රජුගෙන් ප්‍රසාද ලැබු මේ මඝමානවක සහ තිස් දෙනා අප කළ යහපත් වැඩවල ඵලය මෙහිදී ම අපි ලැබීමු යි සතුටුව අපි වඩාත් පින්කම් කළ යුතු යැයි හන්දියක් හන්දියක් පාසා අම්බලම් ඉදි කරවූහ. දන්සැල් කරවූහ. මංමාවත් , ළිං පොකුණුූ ඉදිකළහ. කම්මැලිනොවී ගොවිතැන් බත් කරමින් සමගියෙන් , සමාදානයෙන් ජීවත් වූහ. එහි ප්‍රතිඵල ලෙස දෙවියන් අතර ශ්‍රේෂ්ඨයා වන ශක්‍ර දේව තනතුරට මඝ මානවකයා පත් වූහ. අනෙක් තිස් දෙනා පිරිවර වූහ.

වර්තමානයේ ද ගම්වල තරුණ පිරිස් අද මහත් වූ උනන්දුවෙන් ගමේ පොදුවැඩවලට ඉදිරිපත් වී සිටිති. පුරන් වී ගිය කුඹුරු අස්වැද්දීම වැනි කිසිවෙකුත් ප්‍රයෝජන නොගෙන තිබෙන මේ භූමි වෙල් යායවල් සාමූහික ව ශ්‍රමය, කාලය කැප කර නැවත වගා කිරීමේ ක්‍රියාදාමය බෝසත් චර්යාවන් ලෙස දෙවියන් අතර උසස් බවට පත්වීමට හේතුවන කටයුතු බව අගය කළ යුතු ය. මේවායින් ලබන අස්වැන්න තමාට මෙන් ම නැති බැරි අයටත් ලබා දී ඔවුන් දුසිරිතෙන් වළක්වා යහපත් අය ලෙස යොමු කිරීමෙන් යහපත් සමාජයක් ඇති කළ හැකිවේ.

සියලුම දෙනා ආහාරයෙන් යැපෙති. ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට යොමුවී ඇති පිරිස අද අඩු වී නිකම්ම ලැබෙන දේ ගැන අපේක්ෂා කරති. එය රටක සංවර්ධනය නොවේ. ආර්ථික වශයෙන් අපි උනන්දුවෙන්, උත්සාහයෙන් කටයුතු කොට දියුණු විය යුතු ය. ඒ සඳහා අපේ බුදු දහමෙහි උගන්වන මෙවැනි සත්කාර්යයකට උනන්දුව ඇති කිරීමේ දේශනාවලින් සමාජය දැනුවත් කළ යුතු ය.

අප්‍රමාදය යනු සති “අප්පයුත්තතාති අප්පමාදො” සිහිය විකල් නොකර ගැනීම අප්‍රමාදය යි. එහෙයින් අප සිහි කල්පනාවෙන් කළ යුතු ය. නොකළ යුතු දේ තෝරා බේරාගෙන කටයුතු කළ යුතු ය. බෞද්ධ අපි පඤ්ච දුෂ්චරිතයෙන් වැළකී දස පින් කිරියවත් සිදුකිරීමට උත්සුක විය යුතු ය. බුදු පසේබුදු , මහරහත් උතුමෝ මේ අප්‍රමාදී බව ප්‍රශංසා කරන්නාහ. නොපමා බව හේතු කොටගෙන මෙලොව සතුටින්, සමගි සමාදානයෙන් යුතුව ජීවත්වන්නා සේ ම පරලොව සැප සම්පතින් ආඪ්‍යව යහපත් ජීවිත උදාකරගෙන, තව තවත් ධර්මයට ලැදිව, ධර්මානුකූලව හැසිරීමෙන් සීල, සමාධි , ප්‍රඥා දියුණුූ කොට නිවන් මග පාදා ගැනීමට ද හේතුවන බැවින් බුද්ධාදී උතුමෝ ප්‍රශංසා කරති.

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පොහොය පෙබරවාරි 08 වනදා සෙනසුරාදා අපරභාග 04.10 ට ලබයි. 09 වනදා ඉරිදා අපරභාග 01.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 08 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 15 වනදා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk