[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

පැන විසඳුම් ජයග්‍රාහිකාව

සුන්දර මව්රට

මා උපන් රට ශ්‍රී ලංකාව යි. ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින් සුප්‍රසිද්ධ ය. සමගි සම්පන්න ජන කොට්ඨාසයක් වෙසෙයි. එහි කඳු, ගංගා, දිය ඇලි, වැසි වනාන්තර ද, නීල හරිත වනබිම්, ශ්‍රී ලංකාවට ම ආවේණික වූ වන සතුන්, පක්ෂීන් ගෙන එන්නේ අපූර්ව සුන්දරත්වයකි. ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොව වෙනත් විදේශීය සංචාරකයින්ගේ ද සිත් පිනවන හා ප්‍රබෝධවත් කරන සුන්දර රටකි. මේ රටේ ස්වභාවික සම්පත් බහුල ය. මිනිසාට එදිනෙදා භාවිත කිරීමට සුදුසු ජලය, කඳු පන්ති, ගල් ගුහා ආදී නොයෙකුත් ස්වභාවික ස්ථාන, ස්වභාවධර්මයේ අපුර්ව නිර්මාණයකි. මෙරට පමණක් නොව විදේශිකයින්ගේ ගෞරවයෙන් පවා පිදුම් ලබන, අලංකාර බවින් ඕනෑම කෙනෙකුගේ සිත් ප්‍රබෝධත්වයට පත් කරවන රටකි මගේ මව්බිම. ලොව අන් රටවල ප්‍රසාදය හා කීර්ති නාමය දිනා ගැනීමට ද සමත් ශ්‍රී ලංකාවේ විවිධ ආගම් හා විවිධ ජාතීන් සමගි ව ජීවත්වීම ද විශේෂයකි.


මව්බිම ශ්‍රී ලංකා

බුදුහිමියන් වැඩි රටයි
හෙළ විරුවන් සිටි බිමයි
ඉන්දු සයුරෙ මුතු ඇටයයි
මගෙ රට ශ්‍රී ලංකාවයි

දළදා හිමිගේ සරණයි
ශ්‍රී මහ බෝ හිමි සිසිලයි
ස්වර්ණමාලී මහ සෑයයි
මගෙ රට හරි පින් සාරයි

දිනෙන් දිනම දියුණු වෙලා
සැම දන සිත් සනසාලා
තිසරණ සරණින් සැමදා
මගෙ රට නිති වැජඹේවා


අසිරිමත් ශ්‍රී පාදස්ථානය

අප ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ වම් සිරිපා සටහන සමන්තකූට මස්තකයෙහි පිහිටා ඇත. එය පිහිටුවන ලද්දේ සබරගමුවට අධිපති සුමන සමන් දෙවිඳුන්ගේ ආරාධනාවෙන් බව සඳහන් වේ. බෞද්ධයන් වන අපි සෑම වසරක ම ඉතා පී‍්‍රතියෙන් සිරිපා කරුණා කිරීමට මහත් කැමැත්තක් දක්වන්නෙමු. හින්දු භක්තිකයන් ශිව දෙවියන්ගේ පා සටහන ලෙස විශ්වාස කරන අතර, ඉස්ලාම් බැතිමතුන් ආදම් එහි පැමිණි බවටත්, ඔහුගේ පා සටහන බවත් විශ්වාස කරයි. ශ්‍රී පාදස්ථානය කරුණා කරනුයේ උඳුවප් පොහොය සිට වෙසක් පොහොය අතර කාලයතුළ ය.


සීගිරිය

සීගිරිය පළමු කාශ්‍යප රජු විසින් කරන ලද කලා නිර්මාණයකි. මේ මහා කලාගාරය පිහිටා ඇත්තේ කොළඹ, ත්‍රිකුණාමලය මාර්ගයේ දඹුල්ලේ සිට සැතපුම් නමයක් පමණ උතුරු දෙසට යනවිට ය. මෙහි කුරුටු ගී විශාල ප්‍රමාණයක් දැකිය හැකි ය. සමකුරු වූ අනුරාධපුර යුගයේ මැද භාගයේ ලිය වී ඇතැයි සැලකේ. සීගිරියේ විශේෂයෙන් දක්නට ලැබෙන පර්වත මුදුණේ ඇති රජ මාලිගාව, ගඩොලින් තැනූ සිංහ රූපය, පර්වතයේ ශිඛරයේ ඇඳ තිබෙන සීගිරි අප්සරාවන්, සීගිරි කැටපත් පවුර යන අංග ප්‍රධාන තැනක් ගනියි. සීගිරිය ලෝක උරුමයක් බවට ද පත් වී ඇත.


දහම් පාසල

මව් පිය පා නමද මී
දහම් පාසලට යමී
හොඳින් ඉගෙන ගන්නෙමී
බොදු දරුවකු වන්නෙමි


මගේ ගුරුතුමියට

මගේ ගුරුතුමිය ට
මම ආදරෙයි හැම විට
ඔබෙන් ලබන දැනුම මට
බොහෝ වටිනව අනාගතයට


සැප සලසයි

කය සංවර වන බලයකි සීලය
වචනයෙ සංවරයත් ඒ සීලය
දිවිය පුරා රැකගත්තොත් සීලය
සැනසුම ඇරඹෙන මඟ වෙයි සීලය

සීලය බින්දොත් සැනසුම නැතිවේ
රැකගත් සීලෙන් සසර ද කෙටිවේ
සොබදම් නියදම හැමවිට මෙය වේ
සීලය ලොවුතුරු සුවයට මගවේ


ජාතික නිදහස් දිනය

බ්‍රිතාන්‍ය පාලනයෙන්මිදී රටේ අභ්‍යන්තර දේශපාලන ස්වාධීනත්වය භුක්ති විඳීමේ අයිතිය ලැබූ 1948 පෙබරවාරි 04 දා අපේ නිදහස් දිනය ලෙස සැලකෙයි.

ඉංගී‍්‍රසි ජාතිකයින් විසින් අපේ රටේ මුහුදු බඩ පෙදෙස් අත්පත් කර ගැනීමෙන් පසු ක්‍රම ක්‍රමයෙන් දේශය පාවා දෙන්නන් පෙරටු කරගෙන අවසානයේ 1815 දී මේ රට මුළුමනින් ම යටත් කර ගැනීමට ඔවුන් සමත් වුණි. එහෙත් අපේ සිංහල වීරවරයෝ අප්‍රතිහත ආත්ම ශක්තියෙන්, ජීවිත පරිත්‍යාගයෙන් මව්රට එකී විදේශිකයන්ගෙන් බේරා ගන්නට උත්සාහ කළහ. වීර පුරන් අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා, කුඩාපොල හාමුදුරුවෝ වැනි අපේ ජාතික විරුවන්ගේ මෙහෙයවීමෙන් පැවති නිදහස් අරගලයන් නිසා සුදු පාලකයෝ දෙදරා ගියහ. දෙවන ලෝක යුද්ධ සමයෙන් පසු ඇති වූ බලපෑම නිසාත්, රටේ ජාතික නායකයින්ගේ අරගල නිසාත් 1948 පෙබරවාරි 04 අපේ මව්බිමට නිදහස ලැබුණි.


පැන විසඳුම්

ජයග්‍රාහී දරුවෙකුට දයාවංශ ජයකොඩි සහ සමාගමෙන්  දහම් පඬුරක් පිරිනැමේ.

 

පහත සදහම් ප්‍රශ්නයට පිළිතුර පැහැදිලි ව ලියා අප වෙත එවන්න.

නැණවත්, ගුණවත් දරු පරපුරක් බිහි කිරීමට වෙර දරන 'මගේ පාසල' ගැන නිර්මාණාත්මක ව කෙටියෙන් ලියා අපවෙත එවන්න.

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පොහොය පෙබරවාරි 08 වනදා සෙනසුරාදා අපරභාග 04.10 ට ලබයි. 09 වනදා ඉරිදා අපරභාග 01.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 08 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 15 වනදා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk