[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිම් නැති ගුණ ඇති අම්මා: පැවිදිවූ දා අම්මා ඇඬුවා උපසපන් වූ දා හදවතින් සිනහ වූවා

පැවිදිවූ දා අම්මා ඇඬුවා උපසපන් වූ දා හදවතින් සිනහ වූවා

"අම්මා” මේ ලෝකය මොන තරම් ලස්සන කරන චරිතයක් ද? දරුවන් හදන්නට අම්මාවරු මොන තරම් දුක් කඳුළු සලනවා ද? කැප කිරීම් මොනතරම් ද? මා එය දකින්නේ මගේ මෑණියන් වෙතිනුයි. අම්මා ළඟ වූ ආදරය, සෙනෙහස කුමකට නම් සම කරන්න ද?

මහනුවර දිස්ත්‍රික්කයේ මැද දුම්බර වේඬරුව නීලහරිත කඳුයායකින් වටවුණු, දුටුගැමුණු රාජ යුගයේ සාඩම්බර ඉතිහාසයකට හිමිකම් කියන මනරම් ගම්මානයකි. මල් පලතුරුවලින් අඩුවක් නොවුණු ගම මැද වූයේ වෙල්යාය යි.


වේඬරුවේ ශ්‍රී උපාලි අනු නා හිමි

ගමේ පන්සල, වේඬරුව කිරිවිහාරය පිහිටියේ ඒ වෙල්යායටත් මැද ය. ඇළ දොළෙන් ගලායන සීතල දිය දහර ඉඩෝරයක වුව ගමට සිසිල දෙයි. වේඬරුවේ ගැමි ජීවිතය ඉතාම සරල ය. අල්පේච්ඡ ය. ගැමියෝ උනුන් පි‍්‍රයමනාප ය. උදව් උපකාර ඇත්තෝ ය. අව්‍යාජ ය. රත්නායක මුදියන්සේලාගේ ලොකු බණ්ඩා පියාණන් හා සෙනරත් වාසළ විජයතුංග මුදියන්සේලාගේ අධිකාරම් වලව්වේ කුමාරිහාමි මෑණියන් ගමේ ගෞරවාදරය ලද පින්බර මව්පිය දෙපළක් වූ හ.

දරුවන් අටදෙනකුගෙන් යුතු මේ පවුලේ පින්බර දරුවෙක් සසුනඹරට දායාද කරන්නට තරම් මේ මව්පිය දෙපළ පෙරපින් වැඩුවෝ වූ හ. ඒ සුපින්බර මොහොත උදා වූයේ 1967 අවුරුද්දේ මාර්තු 22 දාය.

අද, සම්බුද්ධ ශාසනයට වෙසෙස් මෙහෙවරක් ඉටු කරමින්, පැවිදි දිවියේ පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීම ම පරම අභිලාෂය කොටගනිමින් ධම්මානු ධම්ම පටිපන්න, සුපේශල ශික්ෂාකාමී දිව් පෙවෙතක් ගත කරන, නිහතමානී ගුණයෙන් අනූන වේඬරුවේ ශ්‍රී උපාලි අනු නා හිමිපාණන් වහන්සේ ඒ පුණ්‍යවන්ත පුත් රුවන ය.

ජීවිතාදර්ශයෙන්, මග දැක්වීමෙන් ආශිර්වාදයෙන් උතුම් පැවිදි ජීවිතය අර්ථවත් කරගන්නට විසල් ශක්තියක් වූයේ තමන් වහන්සේගේ මෑණියන් වහන්සේ ම බව උන්වහන්සේ පවසති.

මා ඉපදුණේ මීට දශක හයකටත් එහා විදුලි ආලෝකයවත් නොවූ ඈත පිටිසර ගමක. පිදුරු සෙවිලි කළ ලස්සන ගෙදරක. දුරුතු පුන් පෝදා සඳ එළියත්, කුම්පි ලාම්පු එළියත් මුසු වූ පරිසරයක මා මෙලොව එළිය දුටු මොහොතේ මගේ අම්මාට, අප්පච්චිට මොන තරම් සතුටක් දැනෙන්නට ඇති ද? එදා 1953 ජනවාරි 22 දා.

මා ඉපදුණු ගමේ හැමෝ ම ජිවත් වුණේ ගොවිතැනින්. මගේ අප්පච්චිත් ගොවිතැන් කළා. ඒ කාලේ හරිම ලස්සනයි. මමත් අප්පච්චි එක්ක හේනේ පැල් රකින්න යනවා. අප්පච්චිත් එක්ක පැල් කවි කියනවා. වල්අලි, වල් ඌරෝ, මුවෝ, ගෝන්නු වගේ සතුන්ගෙන් වගාව බේර ගන්න ගමේ හැම ගැමියෙක් ම මේ විදිහට හේන්වල පැල් රැක්කා මට මතකයි.

අප්පච්චිගේ ගොවිතැන් කටයුතුවලට අම්මා උදව් කළා. ගොයම් සිටුවන කාලෙට, කරල් කපන විට අම්මාත් සහභාගි වෙනවා. කෙතේ ගොයම් කවියට, හේනේ කුරහන් කවියට නායකත්වය දුන්නේ අම්මා. මිහිරි හඬින් අම්මා කියන කවි අහගෙන ඉන්නට හිතෙනවා.

මගේ අම්මා හරිම කඩිසරයි. අසනීපයක් වුණත් කිසිම දවසක දරුවන්ගේ වැඩ අතපසු කළේ නෑ. මවකගේ යුතුකම් අම්මා අකුරට ම ඉටු කළා. කෑමෙන්, බීමෙන් වගේ ම ගුණ ධර්මයන්ගෙන් අප පෝෂණය කළා. ආදර්ශවත් ආගමානුකූල ජීවිතයක් ගත කළා. මගේ අම්මයි, අප්පච්චියි හරිම සමගියි. කවදාවත් රණ්ඩු දබර වෙනවා අප දැක නෑ. ඒ කාලේ අපේ ගමේ කිසි ගෙදරක මහණ මැෂිමක් තිබුණේ නෑ. ගමේ ගැහැනු, පිරිමි හැමෝට ම ඇඳුම් මැහුවේ අම්මා. අම්මගේ ජීවිතේ හරිම කාර්ය බහුලයි. කුඹුක්ගහ ලඟ ළිඳෙන් ගෙදරට වතුර ගෙනාවේ අම්මා. වී කොටලා කෑම වේලට හාල් සරි කළේ අම්මා. ඒ අතරේ ගමේ අයටත් උදව් කළා. උදේ පටන් රෑවෙනතුරුත් ගෙදර වැඩ, හේනේ කුඹුරේ වැඩට උදව් කරන අම්මා රාත්‍රියට අපට ඇහෙන්නට වෙස්සන්තර ජාතකය, සඳකිඳුරු ජාතකය කට පාඩමින් කියනවා. ඒ දේවල් අපේ ජීවිතවලට බොහෝ බලපෑමක් කළා.

ගමේ පන්සලත් එක්ක මගේ අප්පච්චිත්, අම්මාත් බොහොම සම්බන්ධයි. දාන මාන පිරිනමනවා.ආගමික කටයුතුවලට සහභාගි වෙනවා. ගමේ පන්සලේ, මගේ වයසේ පොඩි හාමුදුරුනමක් වැඩ සිටියා. උන්වහන්සේගේ ඇවතුම්, පැවතුම්, පාඩම් කරන ආකාරය දැකලා මටත් පැවිදි වෙන්න හිතුණා. අම්මා නම් කැමැති වුණේ නෑ. ඒ පැවිදි වුණා ම මා, අම්මාගෙන් ඈත් වෙන නිසයි. ඒත් මගේ බලවත් ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න බැරිම තැන අම්මා එකඟ වුණා. මා මහණ වෙන දවසේ අම්මා පුදුම තරමට ඇඬුවා. ඒත් උපසම්පදාව ලබන මොහොතේ අම්මා තරම් හදවතින් ම සිනහ වූ වෙනත් කෙනෙක් නෑ කියලයි මට සිතෙන්නේ.

පැවිදි දිවියේ බොහෝ දුර ගමනක් එන්නට මට ශක්තිය ලැබුණේ මගේ අම්මා නිසයි. අද මා මගේ රටේ වගේ ම විදේශයන්හිත් ධර්ම දේශනා පවත්වනවා. ඒ හැම මොහොතකම මට මගේ මෑණියන් සිහිපත් වෙනවා. බොහෝ ධර්ම දේශනාවන්හි දී අම්මාවරුන්ගේ ගෞරවය, ආදරය මතු කරන්න මා උත්සාහ කරනවා.

“අම්මා” මේ ලෝකය මොන තරම් ලස්සන කරන චරිතයක් ද? දරුවන් හදන්නට අම්මාවරු මොන තරම් දුක් කඳුළු සලනවා ද? කැප කිරීම් මොනතරම් ද? මා එය දකින්නේ මගේ මෑණියන් වෙතිනුයි. අම්මා ළඟ වූ ආදරය, සෙනෙහස කුමකට නම් සම කරන්න ද?

විඳි දුක් සියල්ලට සමනල කන්ද මදී
කඳුළට දහදියට මුළු සාගරය මදී
තිළිණෙට පුදන්නට මුළු ලෝකය ම මදී
අම්මා බුදු වුණත් මට නම් හිතට මදී

මගේ පබැඳුමක් නොවේ. මේ මා පුවත්පතක කියවූ කවියක්. මගේ ධර්ම දේශනාවන්හි දී මගේ මෑණියන් සිහිපත් කරමින් මේ කවිය ද ඉදිරිපත් කරනවා. බොහෝ දෙනාගේ දෑස් කඳුළින් තෙත් වෙනවා මා දැක තිබෙනවා. ඒ අම්මාගේ ආදරය හදවතට දැනෙන දරුවෝ.

අම්මා තාත්තා කියන්න - වැඩිහිටියන් හඳුන ගන්න
කාලය යහතින් ගෙවන්න - ඉගැන්නුවේ අම්මා

පාන්දරින් අවදිවෙලා - කෑමට කිසිවක් පිසලා
පාසලවෙත මා යවන්න - වෙහෙස වුණේ අම්මා

තුන් සරණේ පොත අරගෙන - මාත් ළඟට එක් කරගෙන
කවි කියන්න කියා දුන්න - ගුරුතුමියයි අම්මා

හිස වැසුමෙන් හිස සරසා - පා වැසුමෙන් පා සරසා
නොයන්න පන්සලට කියා - ඉගැන්නුවේ අම්මා

හොඳ නෑ පන්සලට ගොසින් - වාඩිවෙලා ඉන්න උඩින්
ඒ බව මට පුංචි කාලෙ - ඉගැන්නුවේ අම්මා

අම්මා නම් වූ කවි පොතක වූ මේ සටහන අපට අලුත් අත්දැකීමක් නොවෙයි. අප පින්වන්ත වුණේ මේ වගේ අම්මාවරු ලබන්නටයි.

මහා අධ්‍යාපනයක් නොලැබුණත් අපට උගන්වන්නට අම්මා මොනතරම් කැප වුණා ද? පොත පත ගැන පමණක් නොවෙයි. මුළු ජීවිතය ම උගන්වන්නටයි අම්මා මහන්සි වුණේ. අප අම්මාට ණයගැති වන්නේ ඒ නිසයි. හැම මවකට ම ඒ වගකීම ඒ හා සමයි.

මගේ අම්මා හැමදාමත් ‘අම්මා’ කියන චරිතයේ ගෞරවය ආරක්ෂා කළා. දරුවන් හැමෝට ම එක වගෙයි. දරුවන්ගේ අවශ්‍යතාවයකට නගරයට යන්නට වුණේ පා ගමනින්. සැතපුම් හත අටක් පයින් ඇවිදගෙන ගියත් අම්මා මැසිවිලි කීවේ නෑ. අම්මාගේ ඒ කැපවීම අදටත් අපේ ජීවිතයට විශාල වශයෙන් බලපානවා.

අම්මා වැඩිදුර අධ්‍යාපනය නොලැබුවත් සිව්වන ශ්‍රේණිය දක්වා ලැබූ අධ්‍යාපනය තුළ ඉහළ දැනුමක් තිබුණා. ලිපියක් ලිව්වත් ඉස්පිලි, පාපිලි අඩුවක් නැතිව ලියන්න කියවන්න පුළුවන්.

එදා ගෙදර හැම දෙයක් ම ඉටු කෙරුණේ අම්මගේ අතින්. අප නිදාගන්නා පැදුර, හිස තබන කොට්ටය පවා සැකසුවේ අම්මා. ගෙදර කෑම වේලට හාල්ටික සරි කළේ අම්මා. කිතුල් හකුරු, අවුරුදු කාලෙට අවශ්‍ය කැවිලි පෙවිලි හදන්න අම්මා හරිම දක්ෂයි. ඒ කාලේ පොල් තෙල් කෑමට ගන්නේ නෑ. මී ගස්යටට ගිහින් මී ඇට අහුලාගෙන ඇවිත් ශුද්ධ කරලා තෙල් හිඳලයි අම්මා අපට ඒවායින් රසවත් ආහාර පිස දුන්නේ.

මා උපසම්පදාව ලැබුවේ 1974 වසරේ. උපාධිය සමත් වූ පසුව මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ගුරුවරයෙක් ලෙස සේවය කළා. මුතියංගන රජමහා විහාරස්ථානයේ වසර දහයක් ම භාරකාර පදවිය දරමින් හැකිතරම් දියුණුවට පත් කළා. 2000 වසරේ පමණ සිට පොළොන්නරු සොළොස්මස්ථාන නායක හාමුදුරුවෝ ලෙස කටයුතු කරනවා. සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ අනුනායක පදවිය දරනවා. මගේ ජිවිතයේ ඉතා ම වාසනාවන්ත වුණේ උතුම් දළදා වහන්සේගේ තේවා කටයුතුවලට සම්බන්ධ වීමට ලැබීමයි. ඈත පිටිසර ගමක ඉපදිලා දෙස් විදෙස් ධර්ම ප්‍රචාරයෙහි යෙදෙමින් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් උපරිම සේවයක් කරන්නට හැකියාව ලැබුණේ මගේ මෑණියන්ගෙන් ලැබුණු ශක්තිය, ධෛර්යය හා ආශිර්වාදය නිසයි.

මම හැකි පමණින් මගේ අම්මාට උපස්ථාන කළා. ඒත් මට හැම මොහොතකම දැනෙන්නේ තව තවත් අම්මාට උපකාර කරන්නට තිබුණු බවයි. මේ සංසාර ගමන මේ ආත්මයේ කෙළවර වන්නේ නෑ. නැවත උපදින හැම භවයක ම මගේ මෑණියන් මට මගේ ම අම්මා වේවා’යි ප්‍රාර්ථනා කරනවා.

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පොහොය පෙබරවාරි 08 වනදා සෙනසුරාදා අපරභාග 04.10 ට ලබයි. 09 වනදා ඉරිදා අපරභාග 01.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 08 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 15 වනදා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk