[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොඩි හාමුදුරුවෝ

පින්බිම පිරවිය හැක්කේ තමන්ටමය

“ අප්පමාදො අමත පදං - පමාදො මච්ඡුනො පදං
අප්පමත්තා න මීයන්තී-යෙ පමත්තා යථා මතා”

“පමා නොවීම නිවනට මගයි” ආගමික ශාසනික වශයෙන් ප්‍රමාද වීමෙන් කියවෙන්නේ නිවනට යන මඟ තව තවත් ඇහිරී යන බවයි. පන්සල් යන්නට, බණ දහම් අසන්නට වයස් සීමාවක් නැත. බොහෝ දෙනා බණ අසන්නට පන්සලට යන්නට සුදුසු වයස ලෙස හඳුනාගන්නේ නොහැකි කාලය යි.

නොහැක්කේ කුමක් ද? නොහැක්කේ කලින් කළ කී දේය. මීට පෙර ඔබ කළේ කුමක් ද? ගමන් යාම, නෑම, සිතු සිතු දේ කෑම, සිතු සිතු දේ කිරීම වැනි දේ. නමුත්, හොඳින් සිතා බලන්න. වයෝවෘද්ධ වූ පසුව ඔබට ඒ කිසිවක් කළ හැකි ද? මේ තමයි ජීවිතයේ යථා ස්වභාවය. ඊට කිසිවෙකුට අභියෝග කළ නොහැකි ය. වත්මන් සමාජය දෙස බැලීමේ දී පොහෝ දිනවල හෝ වෙනත් පින්කම් දිනවල පන්සලේ බණ මඩුව පිරී ඇත්තේ මහලු හෙවත් වයෝවෘද්ධ අයගෙනි. යොවුන් වියේ ඇතැම් තරුණ තරුණියන්ට පන්සල අකැප වී ඇත්දැයි යන ප්‍රශ්නය පැන නගී. පිටස්තර සමාජයේ සිට බලන්නෙකුට පන්සලේ බණ මඩුව දිස්වන්නේ මහලු නිවාසයක් මෙනි. තරුණ පරම්පරාව මෙලෙස ආගමික කටයුතුවලින් ඈත්වීම තුළ අනාගතයට ඉතිරි වන්නේ හිස් බවකි. මේ තත්ත්වයට වැඩිහිටි පරම්පරාව ද වගකිව යුතු ය. මේ නිසා තරුණ පරම්පරාවේ ජීවිත ධනයෙන්, බලයෙන් කෙසේ වෙතත් ගුණධර්ම වලින් පරිහානිය කරා ළඟා වෙමින් පවතී.

බුදු දහමේ නිර්මල ප්‍රතිඵල ළඟා කරගත හැක්කේ තරුණ වියේ ඇති කරගන්නා අවබෝධය තුළිනි. අප මහා බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ තරුණ වියේ දී ය. වයස අවුරුදු විසි නවයේ දී ගිහි ගෙයින් නික්ම ගිය බෝසතුන් සත්‍ය සොයා ගිය ගමන ළමා වියේ අයකුට හෝ වයෝවෘද්ධ අයෙකුට කළ නො හැකි ය. නමුත් එම අභියෝගය තරුණයන්ට ජයගත හැකි ය.

මහළු, ඇස් නොපෙනෙන, කන් නොඇසෙන, ගතසිත දුබල වූ වියේ සත්‍යය සොයා උන්වහන්සේ ගිහි ගෙයින් නික්මුණේ නම් බුදු බව ලබාගන්නට නොහැකි වනු ඇත. මෙයින් උන්වහන්සේ පෙන්වා දුන්නේ යොවුන් වියම සත්‍ය අවබෝධ කර ගැනීමට වඩාත් සුදුසු කාලය යන්නයි. බුදු පියාණන් වහන්සේගේ අගසවු දෙනම ගිහිකල කෝලිත, උපතිස්ස නම් විය. එක් අවස්ථාවක දී සංදර්ශනයක් නැරඹීමට ගිය විට ඉන් කළකිරී පැවිදි දිවියට පත් විය. යොවුන් වියේ දී පැවිදි දිවියට පත්වූ දෙදෙනා බුදුන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් බවට පත් විය.

“නොපමා බවෙනුයි නිවන් දකින්නේ
පමා වුණොත් මරු වසඟෙට යන්නේ
නොපමා වූ අය නැත මියැදෙන්නේ
පමා වූ අය මළවුන් වැන්නේ “

තරුණ තරුණියන්ගෙන් හිස් වූ පුණ්‍ය භූමිය පිරවිය හැක්කේ ඔවුන් විසින් ම ය. මෙලොව පරලොව සසර සයුරින් එතෙර වන්නට අද මෙවැනි උතුම් පොහෝ දිනයේ දී බෞද්ධ ජනතාවට ශක්තිය ලැබේවා යි මෙත් සිතින් පතමි.


පියුමක් බඳු පැවැත්ම

බුදුරජාණන් වහන්සේ මිනිස් සමාජය තුළ ජීවත් වූ අසමසම උත්තරීතර මනුෂ්‍යයා ය. උන්වහන්සේ සෙසු පුද්ගලයන් අතර සුවිශේෂී වීමට බලපෑ කරුණු බොහෝමය කි. ඒ අතර, බුදු රදුන්ගේ ජීවිතයේ ඇති ඉතා වටිනා පැවැත්මක් වූයේ පද්මාකාර ජීවිතය යි. ඉන් අදහස් වන්නේ විලක පුන් පියුමක බඳු පැවැත්මක් උන්වහන්සේ තුළ පැවති බවයි.

බුදුරදුන්ගේ පද්මාකාර ජීවිතය පිළිබඳව පැහැදිලි කිරීමක් අංගුත්තර නිකායේ ද්‍රෝණ සූත්‍රයේ සඳහන් වේ. එම සූත්‍රයට අනුව වරක් උක්කට්ඨා හා සේතව්‍ය යන නගරාන්තර මාවතෙහි පා ගමනින් වැඩි බුදුරදුන්ගේ පා සටහන් දුටු ලක්ෂණ ශාස්ත්‍රය දත් ද්‍රෝණ නම් බමුණා විශ්මයට පැමිණ බුදුරදුන් හමුවට අවුත්.

“භවත්නි, ඔබ දෙවියෙක් ද? ඔබ බ්‍රහ්මයෙක් ද? ඔබ ගාන්ධර්වයෙක් ද? ඔබ යක්ෂයෙක් ද? ඔබ මනුෂ්‍යයෙක් ද? ඔබ අමනුෂ්‍යයෙක් ද?”

යනුවෙන් ප්‍රශ්න කළේ ය. බුදුරදුන් එහි දී තමන් වහන්සේ ආශ්‍රවයන් ප්‍රහීණ නොකළ ඒ කිසිවෙකුත් නොවන බව වදාළ සේක. එවිට එසේ නම් ඔබ කවරෙක්දැයි, බ්‍රාහ්මණයා පෙරළා ප්‍රශ්න කළේ ය. එවිට උන්වහන්සේට, “යම් ආශ්‍රව කොටසක් ප්‍රහීණ නැති දෙවියෙකු වේ නම් මම එම ආශ්‍රව නැවත නූපදින ලෙස ප්‍රහීණ කළෙමි. එමෙන්ම ගාන්ධර්ව, යක්ෂ, මනුෂ්‍ය, අමනුෂ්‍ය යන සියලු සත්ත්වයන්ට අයත් ආශ්‍රවයන් ප්‍රහීණ කළෙමි. යම් සේ සුදු නෙළුමක් දියෙහි වැඩී, දියෙන් පැන නැගී දියෙහි නොගැටී පවතින්නාක් මෙන් මම මෙම ලොවෙහි ඉපිද ලොවෙහි වැඩී ලෝකය අභිබවා ලෝකයෙහි නොඇලී වාසය කරමි. බමුණ, මා බුදුවරයෙකැයි දැනගන්න”

යනුවෙන් පැහැදිලි කළ හ. ඉන් පැහැදිලි වන්නේ උන්වහන්සේගේ පද්මාකාර ජීවිතය යි. උන්වහන්සේ කෙලෙස් නසා සම්බුද්ධත්වය ලැබීමෙන් පසු කෙලෙස් සහිත ජන සමාජය සමඟ බැඳීම් හෝ ගැටීම් ඇති කර නොගත් හ. එසේ සමාජය සමඟ නො ඇලී නොගැටී කටයුතු කිරීම මානසික සංතෘප්තියට හේතුවන බව බුදුසමය පැහැදිලි කරයි. සාමාන්‍ය මනුෂ්‍යයන්ට වුව වෛරී සිතිවිලිවලින් හා කාම සිතිවිලිවලින් යම් ප්‍රමාණයකට හෝ ඈත්වන්නට හැකිනම් මෙම රුදුරු සමාජයේ වුව සැප සේ ජීවත්විය හැකි ය. ඛුද්දක නිකායේ ධම්මපද පාලියේ සුඛ වග්ගයේ කෙලෙස් සහිත සමාජය තුළ ඒවායේ නොගැටෙමින් කටයුතු කිරීමෙන් ලැබෙන සතුට පිළිබඳව කරුණු දැක්වෙන ගාථාවන් දැකිය හැකි ය.

“සුසුඛං වත ජීවාම - ආතුරේසු අනාතුරා
ආතුරේසු මනුස්සේසු - විහාරාම අනාතුරා”

ඒ අනුව, සාමාන්‍ය මිනිසාට පද්මාකාර ජීවිතයට ඍජුවම අනුගත විය නොහැකි වුවත් කාමයන් හා ද්වේශයන්ගෙන් ගහණ සමාජය තුළ ඒවායෙහි ආතුරයන් නොවී සැනසිල්ලේ ජීවත්විය හැකි බව පැහැදිලි කෙරේ. බුදුරදුන් පියුමක් බඳු ජීවිතයක් ගතකළ බව බුද්ධ චරිතය විමසීමෙන් වඩාත් පැහැදිලි වේ. බුද්ධත්වයෙන් දින කිහිපයක් ගත වූ තැන තණ්හා, රති, රඟා යන මාර දූ වරු තිදෙනා පැමිණ දෙවඟනන් පරයන රූ සපුවෙන් හා ස්ත්‍රී මායමින් බුදු රදුන් පොළඹවා ගැනීමට උත්සාහ කළ ද, උන්වහන්සේ ඔවුන් වෙත බැල්මකුදු නොහෙලූයේත්, රූපශ්‍රීය නිසා මුළු කුරු රටම ප්‍රසිද්ධව සිටි මාගන්ධියා නමැත්තිය බුදුරදුන්ට විවාහ කරදීමට සරසාගෙන ආ මොහොතේ මළමුත්‍රයෙන් පිරි ඇගේ සිරුර පයින්වත් ස්පර්ශ කිරීමට අකැමැති බව ප්‍රකාශ කළේත් උන්වහන්සේ වෙත පැවැති පියුමක බඳු පැවැත්ම නිසා ය. මේ ආදී සිදුවීම් බොහෝමයක් බුදු සිරිත තුළ දක්නට ලැබෙන අතර, ඒ තුළින් උන්වහන්සේ ගේ පද්මාකාර ජීවිතය ප්‍රකට වන බව පෙනේ.

අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ ධම්මික වග්ගයේ නාග සූත්‍රයේ ද තථාගතයන් වහන්සේගේ පද්මාකාර පැවැත්ම පැහැදිලි කර ඇති අතර, එහි ලෝකයේ ජනිත වූ බුදුරදුන් සමාජයේ නොඇලී, නොගැටී පිරිසුදු සුවඳවත් පියුමක් සේ සෝභමාන ව පවතින බව දක්වා තිබේ.

“යථාහි උදකේ ජාතං පුණ්ඩරීකං පවඩ්ඩතී
නූපලිප්පති තෝයේන සුචිගන්ධං මනෝරමං
තථේව ලෝකෙ සුජාතෝ බුද්ධො ලෝකේ විරජ්ජති
නූපලිප්පති ලෝකෙන තෝයේන පදුමං යථා”
(අං.නි.නාග සූත්‍රය)

පියුමක බඳු පැවැත්ම සාමාන්‍ය මිනිස් පෞරුෂයක් තුළ මුළුමනින් ම දැකිය නොහැකි ය. එය බුදුවරයෙකු බඳු පූර්ණ සංවර්ධිත පෞරුෂයකින් පමණක්ම විද්‍යමාන වන්නකි. එහෙත් සාමාන්‍ය පුද්ගලයාට වුව මෙම ගුණාංග තම ජීවිත සාර්ථකත්වය සඳහා හැකි පමණින් සම්බන්ධ කරගත හැකි ය. එසේ සම්බන්ධ කරගත් පිරිස නූතන සමාජයේ වුව ද සමාජය බබළමින් විරාජමාන වන බව පැහැදිලිව පෙනේ.


ආදරණීය පොඩි හාමුදුරුවන් වෙත ලියමි

මම ඊයේ ලියුම් බෙදල ඉවර වෙනකොට හොඳටම හවස් වුණා. ගම කෙළවරට ම බෙදන්න ලියුම් තිබුණා. මා පන්සලට ආපු වෙලාවෙ පොඩි හාමුදුරුවෝ බත් ටිකක් බෙදල දුන්න එක හොඳට ගියා. අපේ උන්දෑ ඉව්වට එච්චර රස නෑ. එක්කෝ ලුණු නෑ. එහෙම නැත්තං ලුණු වැඩියි.

අනේ මන්ද මොනව වෙලාද කියල. පන්සලට දානෙ ගේන කවුරුත් හොඳට සකසුරුවමට, රසට, පි‍්‍රය මනාප විධියට ඒව හදවන්නේ. දවසක් අපේ අක්කලයි ගෙදරින් තමයි දානෙ තිබුණෙ. දානෙ හදන කොට මාත් ඒකට සම්බන්ධ වුණා. අක්කගෙ පොඩි පුතා ‘මධුරංග‘ ඔබ වහන්සේට මතකයි නේ. තාම අවුරුදු 4 ක් 5 ක් ඇති. එයත් කොහේද ඉඳල දානේ හදන තැනට දුවගෙන ආවා. හුස්මක් දෙකක් හොඳට අරගෙන ඉව අල්ලල මහ පණ්ඩිත කතාවක් කිව්වනේ. ම්... සුවඳ. අම්මා අපට උයනකොට ඔච්චර හොඳට උයන්නේ නෑ නේ. බලන්නකො සුවඳ? සාධුලාට උයන කොට තමයි මෙච්චර හොඳට හදන්නෙ. අනිත් එක අපට කන්න උයන කොට වෑංජන එකයි දෙකයි අද එහෙම ද?

මොනවද? මොනවද? මේ ගිරව වගේ දොඩවන්නේ.? කට පියාගෙන ඉන්නව. මං මේ කරන්නේ පින්කමක් බව පුතාට පේන්නේ නැද් ද? නේද? මල්ලි? අක්කා මා දෙසට හැරී කීවා. ඔන්න පොඩි හාමුදුරුවෝ ගෙවල්වල තත්ත්වය. මං දන්නව අපේ අක්ක බොහොම අමාරුවෙන් ඔය එළවළු හතර පහ හොයාගෙන ඇවිල්ල උයන්න ගත්තෙ. එක පැත්තකින් පරලොව ගැන තියෙන බය. අනෙක් පැත්තෙන් සාසනය රකින්න තියෙන ආශාව. ඉතින් දානෙ පන්සලට ගෙනාපුහම ලොකු හාමුදුරුවෝත්, පොඩි හාමුදුරුවරු දෙනමත් බොහෝම කරුණාවෙන් දානෙ භාරගෙන, බුද්ධ පූජාවත් තියල. ලස්සන බණ ටිකකුත් කියල දායකයන්ගේ සිතේ සතුට ඇතිවන විධියට. ප්‍රසාදය ඇතිවන විධියට, ඒ හැම කටයුත්තක්ම කෙරෙන නිසා තමයි, අක්ක මාස තුනකට වරක් ඔය වේල් දානෙ බොහොම අමාරුවෙන් පිරිනමන්නෙ. ඒක කාටවත් දෙනවට කැමතිත් නෑ. අක්කට ලොකුවට යමක් ඇත්තෙත් නෑ. ඒ උනාට උන්දෑ මේක නවත්තන්නෙත් නෑ.

පොඩි හාමුදුරුවන් දෙනම හොඳට ඉගෙන ගෙන. ඒ වගේම, සිල්වත් ව, ගුණවත් ව, ඉන්නකොට තමයි අපට සතුට. කවදා හරි දවසක. ‘මං මේ සාසනේ බබළනව‘ කියල පුංචි කාලෙම හිතා ගත්තොත් වරදින්නෙ නෑ. ලියුම් තිබුණ දවසක ආයිත් ඔය පැත්තෙ එන්නම්.
එතෙක් බුදු සරණයි.

මේ, ලියුම් මාමා


පිරිවෙන් හි අධ්‍යාපනය ලබන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ ගැදි,පැදි නිර්මාණ  මෙම පිටුවෙහි පළකිරීම සඳහා යොමු කරනමෙන් ගෞරවනීය ඇරයුමයි.

කර්තෘ, බුදුසරණ, ලේක්හවුස්, කොළඹ

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පොහොය පෙබරවාරි 08 වනදා සෙනසුරාදා අපරභාග 04.10 ට ලබයි. 09 වනදා ඉරිදා අපරභාග 01.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 08 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 15 වනදා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk