බොරුවට වැඩි ආයුෂ නෑ
මහනුවර හන්තාන
සිරි ධම්මරතන
ත්‍රිපිටක ධර්මායතනාධිපති
රාජකීය පණ්ඩිත
පූලියද්දේ
සුධම්ම හිමි
පින්වත් දරුවනේ, අද නවම් පුර පසළොස්වක පොහෝ දිනය. අද අපි ‘බොරු කීම’ ගැන කතා කරමු.
ගිහි ජීවිත, සමාජ ජීවිත ගත කරන බොහෝ දෙනකුට බොරුව බොහොම සමීපයි. ජීවිතේට ම බොරුවක්
කියන්නේ නෑ කියන සමහර පිරිස් ජීවත් වන්නේ ම බොරුවෙන්. බාල, තරුණ, මහලු භේදයෙන්
තොරව, තරාතිරම නො බලා අඩු වැඩි වශයෙන් බොරු කියන්න, බොරු කරන්න බොහෝ අය පුරුදු වී
සිටිනවා.
ඇතැම් දරුවන් යාන්තමින් ඉහ නිකට පැසීගෙන එන විටම අම්මාට, තාතත්තට බොරු කරනවා. කඩපළේ
දී බොහෝ වෙළෙන්දන් පාරිභෝගිකයන් බොරුවෙන් රවටනවා. උසාවියේ දී ඇතැම්විට සත්‍ය යට
ගිහින් බොරුව ජයග්‍රහණය කරනවා.
මේ සංසාර ගමනේ දී අප විසින් අපට ම බොරු කරගනු ලබන ආකාරය දරුවන්ට තේරෙනවා නේද? ඒත්
බුදු බණ අහන, කියවන කිසිම දරුවෙක් කවදාවත් බොරු කරන්නේ නෑ.
දරුවනේ, බොරුව කියන්නේ කුමක්ද? ගෙදර අවුල් ඇති කරන, පාසලේ අවුල් ඇති කරන, යහළුවන්
අතර තරහ ඇති කරන ප්‍රධානත ම කරුණක්. ආගමික අර්ථයෙන් බැලුවොත්, එහෙම නැතිනම් බුදු
දහමට අනුව බැලුවොත් බොරුව කියන්නේ මහා අකුසලයක්. දරුවනේ, සියයට සියයක් ම බොරු කීමේ
පාප ක්‍රියාව සිදුවීමට නම් කරුණු සතරක් සම්පූර්ණ වෙන්නට ඕනෑ.
සිදුනොවූ දෙයක් සිදුවුණා සේ පෙන්වීම, තමන් කියන්නේ බොරුවක් බවට තමන්ට අවබෝධයක්
තිබීම, අනුන් රැවටීමේ චේතනාවක් පහළවීම, බොරුව නිසා තව කෙනෙක් රැවටීම යන කරුණු
සම්පූර්ණ වුණොත් එය අකුසලයක් බවට පත්වෙනවා.
සමහර අය ආරවුලක් වැළැක්වීමට, පිරිසක් සමගි කරවීමට, පුංචි දරුවෙක් නළවා ගන්නට
බොරුවක් කියන්නට පුළුවන්. බොරුව පවුලේ සමගියට හේතුවෙනවා නම්, එය බොරුවක් ලෙස
සලකන්නේ නෑ. එය උපක්‍රමයක් ලෙසයි භාවිත වන්නේ. එවැනි යහපත් උපක්‍රමයන්ට දහමෙන් අවසර
ලැබෙනවා. ඒත් ගෙදර අවුල් ඇති කරන ලෙස, සමගියට හානිවන ලෙස බොරු කියනවා නම් එය හරිම
භයානකයි. නරක චේතනාවෙන් බොරු කීම හොඳ නෑ. පටු ලාභ ප්‍රයෝජනයන්ට, තවත් කෙනෙක් මුළා
කරනවා නම් ඊට දහමෙන් අවසර නෑ. චේතනාව පිරිසුදු වීම ඉතාම වැදගත්. ඇතැම් අය ක්ෂණිකව
බොරු කියනවා. තවත් අය වංචනික ලෙස දීර්ඝ කාලීනව සැලසුම් සහගතව බොරු නිර්මාණය කරනවා.
මෙයින් වඩාත්ම භයානක ප්‍රතිඵල ඇති කරන්නේ සැලසුම් සහගත බොරුව. එය දිගුකාලයක්
පවත්වාගෙන යන්න පුළුවන් නිසයි. ඒත් දරුවනේ මොන විදිහට බොරු කීවත් කවදා හෝ දවසක
බොරුව හෙළිවන බව දැන ගන්න ඕනෑ.
කෙනෙක් සිතන්නට පුළුවන් බොරුව කියන්නේ වචනයෙන් පමණක් සිදුවන අකුසලයක් ලෙස. දරුවනේ
බොරු කියනවා වගේම බොරු කරන අයත් අප අතර ඉන්නවා. ඒ හැමෝම පවුලට, ගමට, රටට පිළිලයක්.
මේ නිසා අන් අය කරන කියන දේ ගැන සිහි බුද්ධියෙන් විමසා බලන්නට ඕනෑ. ‘බොරුවක් සාර්ථක
වීමට නම් බොරුව කියන කෙනාගේ හැකියාව වගේ ම බොරුවට ඇහුම්කන්දෙන පුද්ගලයාගේ
දුර්වලතාවයත් එක වගේම බලපානවා. බොරුවට අත්තටු ලැබෙන්නේ ඊට දක්වන ප්‍රතිචාරය අනුවයි.
ඒ නිසා කිසිම විටෙක බොරුවට අනුබල නො දීමට අප හැමෝම උත්සාහ ගන්නට ඕනෑ. නො රැවටී
සිටීමට නම් කෙනෙක් සමඟ කටයුතු කිරීමේ දී අප මුලින්ම මෙය ඇත්තක් ද බොරුවක් ද, හරි ද
වැරැදි ද යනුවෙන් තමන්ගෙන් ම විමසා බලන්නට පුංචි කාලයේ සිටම පුරුදු විය යුතු යි.
දරුවනේ බොරුව අපගේ පෞරුෂය බින්දුවට ම ඇද දමන ක්‍රියාවක්. බොරු කියනකෙනාට සමාජයෙන්
ලැබෙන ප්‍රතිචාරය මොනවගේද කියලා දන්නවා නේද? ‘මහා බොරුකාරයෙක්’ කියලා නම් පට
බඳිනවා.
පින්වත් දරුවනේ, කෙනෙක් , තවත් කෙනෙක් විසින් විශ්වාස කරනු ලබන්නේ ඒ තැනැත්තා
බොරුවෙන් දුරස් වූ විටයි. වංචාවෙන් දුරු වූ විටයි. අප ජීවත්වන ගෙදර පරිසරයට, පාසල,
පන්සලට, රැකියා ආයතනයට ආදී වශයෙන් මේ සංකල්පය සෑම සමාජ තරාතිරමකට ම අදාළයි.
දරුවනේ, බොදු දරුවන් ලෙස අපගේ ජීවිතවලින් බොරුව ඉවත් කර ගන්නට උත්සාහ කරන්නට ම ඕනෑ.
එවිට මේ සමාජයේ ඕනෑම තැනක, ඕනෑම අවස්ථාවකට නිර්භය ව නැඟී සිටින්නට පුළුවන්. ඕනෑම
කෙනෙකු ඉදිරියේ නො බියව මුහුණ දෙන්නට පුළුවන්.
බෞද්ධ දරුවන් ලෙස අප නිතිපතා පන්සිල් සමාදන් වෙනවා නේද? ‘මුසාවාදා වේරමණී සික්ඛාපදං
සමාධියාමි’ කියන්නේ බොරුවෙන් වැළකී ජීවත්වෙනවා කියලා සමාදන් වීම. මේ පෝය දවසේ මේ
පින්වත් දරුවෝ එය හොඳින් හිතට ගෙන, බොරුව, කපටිකම්, වංචාව, රැවටීම නැති සමාජයක්
බිහි කරන්නට ඇප කැපවෙන ලෙස බෝසත් දරුවන්ට මේ ලිපි පෙළෙන් අප ආරාධනා කරනවා.
- රමණී සුබසිංහ |