[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුරජාණන් වහන්සේ වදාළ මානසික නිදහස

බුදුරජාණන් වහන්සේ වදාළ මානසික නිදහස

" අකුසල ධර්ම රැස්කර ගනිමින් ජීවත් වන්නන් වර්තමාන සමාජයේ බහුල ය.දීර්ඝ කාලයක් ප්‍රඥාසම්පන්න පුද්ගලයකු ලෙස තමා කටයුතු කරමින්, අදාළ පුද්ගලයා ඇසුරු කිරීමෙන් ම සත්‍ය සහ අසත්‍ය වෙන් කරගත හැකි බවත්, ඔවුන් මැනවින් හඳුනාගත හැකි බවත්, ධර්මයේ සඳහන් වේ. "

එක්දහස් නවසිය හතළිස් අටේ පෙබරවාරි හතර වෙනි දින ශ්‍රී ලංකාව ලැබූ නිදහසෙහි හැත්තෑ දෙවන වසර අප අභිමානවත් ව සැමරුවෙමු. බුදුදහම තුළ ද, නිදහස පිළිබඳව බොහෝ කාරණා සඳහන් වෙයි.

බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනු ලැබුවේ පුද්ගලයාගේ මානසික නිදහස පිළිබඳව යි. පුද්ගලයා ලබන මානසික නිදහස තුළින්, කායික නිදහස ද ලැබෙන බව අවධාරණය වෙයි. කායික නිදහස කෙතරම් තිබුණද, මානසික නිදහසක් නොමැති නම්, නිදහසේ අසිරිමත් බව පුද්ගලයාට නො දැනෙයි.

බුදුරජාණන් වහන්සේ වදාළ නිදහස හුදු මිනිස් වර්ගයාට පමණක් සීමා වී පවතින දෙයක් නොවන අතර ම, එය සියලු ම සත්ත්වයා කෙරෙහි ම පැතිරී යන්නකි. සෑම සත්ත්වයකු ම පමණක් නොව, ගහ කොළ පවා සාමූහික නිදහස පි‍්‍රය කරන බව ජාතක කතාවලින් හෙළි වෙයි. සන්ථාගාර ශාලාවක නිදහසේ හැසිරුණු ලිච්ඡවීන්ට එරෙහිව භික්ෂූන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලි කළ අවස්ථාවේ දී කැට කිරිල්ලියට පවා සිය කූඩුවේ නිදහස පවතින බවට අමිබට්ඨ සූත්‍රය තුළින් පැහැදිලි කර දුන් සේක. තමා නිදහස පි‍්‍රය කළත්, අන්‍යයාට එම නිදහස ලැබෙන විට නුරුස්නා ගතියක් දුර්ජන මිනිස් සිත්වල පහළ වෙයි. එයට හේතුව කුමක්ද? යන්න පිළිබඳ ව තමාගෙන් ම විමසා දැනගත යුත්තේ තමාම ය.

අංගුත්තර නිකායේ තික නිපාතයේ සඳහන් ආකාරයට පංච නීවරණ ධර්මයන්ගෙන් වෙන්වී සිටීම උතුම්ම නිදහස වශයෙන් බුදුදහම සලකා තිබේ.

සාමාන්‍යයෙන් වර්තමාන සමාජයෙහි එබඳු මිනිසුන් දකින්නට නැති තරම් ය. අනුන්ට හිංසා කිරීම ද තමාගේ නිදහස ලෙස තමාට වාසි වන අයුරින් අර්ථ ගන්වන්නෝ බොහෝ ය. තම නිදහස් ජීවිතය යැයි, සිතමින් අකුසල ධර්ම රැස් කරගන්නා පස්දෙනෙකු පිළිබඳ ව දහමෙහි අන්තර්ගත වේ. කුහනා, ලපනා, නේමිත්තිකතා, නිප්පෙසිකතා සහ ලාභෙත ලාභං නිජිගිංසනතා යනු එම පස් දෙනා වන අතර, මේ ලක්ෂණ පහම එක පුද්ගලයකුª තුළ ද තිබිය හැකි ය.

කුහනා

කුහනා යනුවෙන් හඳුන්වා ඇත්තේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බලාපොරොත්තුවෙන් තමා තුළ නැති ගුණ දැක්වීම සඳහා කරන ක්‍රියාවන් ය. එය ධර්මයේ කොටස් තුනකට වර්ග කර ඇත. එනම්, පචිචය පටිසේධන කුහනාව - යම් දෙයක් තමාට ලබාදෙන විට ඒවා ගැනීමට රුචිකත්වයක් තිබියදීත්, අවශ්‍ය නැති බවට ප්‍රකාශ කරමින්, ඒ මඟින් බොහෝ දෙය වැඩිපුර ලබාගැනීමට ක්‍රියාකිරීම ය. ලබාදෙන පුද්ගලයාට පිනක් කර ගැනීමට අවශ්‍ය නිසා එය ලබාගන්නා බවට දැක්වීම.

සාමාන්ත ජප්පන කුහනාව - කතාවෙන් තමන් උතුම් මිනිස් ගතිගුණ පිරුණු පුද්ගලයකු බව හැඟවීම.

ඉරියාපථ සන්නිස්සිත කුහනාව

තමා ආර්ය මාර්ගයට පිළිපන් උතුම් මාර්ගඵල ලැබූවෙකු ආකාරයෙන් ම ඇඟවෙන ලෙස ඉරියව් පැවැත්වීම.

ලපනා

ලපනා යනුවෙන් හඳුන්වනු ලබන්නේ චාටු බසින් පුද්ගලයා මුළා කිරීම. තමා ප්‍රභූන්ගෙන් සැලකිළි ලබන රාජ පූජිතයකු බව නොකියා ඇඟවීම, තමා ධර්මානුකූල ප්‍රතිපත්ති රකින උතුමෙකු බව ඇඟවෙන ලෙස කතා කිරීම ආදිය යි. හැකි ගරු නම්බු දී කතා කිරීම. කතාවෙන් බැඳ ගැනීම, ඔබගේ පරම්පරාව ම බලවතුන් යැයි ප්‍රකාශ කිරීම පුද්ගලයන් අදාළ දෙයට පොළඹවා ගැනීම, ඇත්ත නැත්ත නොබලා පි‍්‍රය වචනයෙන් ම කතා කිරීම. අන්‍යයාට බැගෑපත්වීම ඇත්ත නැත්ත මිශ්‍රකොට කතා කිරීම.

නේමිත්තිකතා

සිව්පසය ලබාගැනීමේ අරමුණ ඇතිව අන්‍යයා පෙළඹවීම,අන්‍යයාගෙන් ඉල්ලීම, ආහාරයක් ගෙන යන්නකුගෙන් ඒ බව දැන කුමක් ද? කෑමට ද? යනා දී වශයෙන් ඇසීම, වෙනත් කතාවකින් තොරව ආහාර ගැනීම. පිළිබඳ ව කතා කිරීම, වසු පැටවුන් පිළිබඳ ව කතා කිරීම, වසු පැටවුන් ගෙන යන පුද්ගලයන්ගෙන් මොවුන් කිරි බොන අයදැයි අසා එසේ නම්, අපටත් කිරි ටිකක් ලැබුණොත් නරක දැයි ඇහීම. කුමන ආකාරයෙන් හෝ තමනට අවශ්‍යවන ආහාරපාන දීමට සිදුවන ආකාරයට පරිසරය සකස්කිරීම, යමක් ලැබෙන තුරුම ඒ පිළිබඳ ව කතා කිරීම.

නිප්පෙසිකතා

තමාට වුවමනා දෙය නො ලැබුණු විට බැණ වදිමින් ආක්‍රෝෂ කිරීම, දොස් කියමින් තර්ජනය කිරිම, ගුණ ඉවත් කරමින් නුගුණ කීම ආදිය යි.

ලාභෙනලාභං නිජිගිංසනතා

යනුවෙන් හඳුන්වා ඇත්තේ එක් ස්ථානයකින් ලැබුණු සුළු දෙයක් තමා ලෝභ නැති බවට අඟවමින් අන්‍යයාට ලබා දී ඔහුගෙන් ඊට වඩා වැඩි යමක් බලාපොරොත්තු වීම හෝ ගැනීම, සුළු දෙයකින් මහත් ලාභයක් ලැබීම, අයහපත් චේතනාව පැවතිය ද, එය සඟවා මිත්‍රශීලී ව ලාභ ලැබීම

මෙබඳු ආකාරයෙන් අකුසල ධර්ම රැස්කර ගනිමින් ජීවත් වන්නන් වර්තමාන සමාජයේ බහුල ය.දීර්ඝ කාලයක් ප්‍රඥාසම්පන්න පුද්ගලයකු ලෙස තමා කටයුතු කරමින්, අදාළ පුද්ගලයා ඇසුරු කිරීමෙන් ම සත්‍ය සහ අසත්‍ය වෙන් කරගත හැකි බවත්, ඔවුන් මැනවින් හඳුනාගත හැකි බවත්, ධර්මයේ සඳහන් වේ.

තමා බුද්ධිමත්වීම හා තමා විසින් ම නිවැරැදිව සිතා බලා තීරණ ගැනීම කළ යුතු බවට බුදුදහම අවධාරණය කරනු ලබන්නේ එම නිසා ය. චින්තනය පිළිබඳව පූර්ණ නිදහස මිනිසාට ලබාදුන්නේ බුදු දහමයි. එනිසා ම බුදුදහ ම සියලු ආගම් හා දර්ශනවලට වඩා ඉදිරියෙන් සිටී.

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පොහොය පෙබරවාරි 08 වනදා සෙනසුරාදා අපරභාග 04.10 ට ලබයි. 09 වනදා ඉරිදා අපරභාග 01.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 08 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 15 වනදා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk