[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හදවතින්ම පිනට දහමට යොමු වන්න

හදවතින්ම පිනට දහමට යොමු වන්න

රජගහනුවර ‘සුමන’ නම් මල්කරුවෙක් සිටියේ ය. මොහු දිනපතා ම බිම්බිසාර රජුට මල් ඇටනැලියක් සපයයි. මෙය මොහු විසින් දිනපතාම කළ යුතු රාජකාරියකි.

මේ මල් අටනැළියට රජුගෙන් මොහුට කහවනු අටක් ලැබෙයි. සුමන මල්කරු සුපුරුදු පරිදි එක් දිනෙක මල් අට නැළියක් ගෙන රජුට දීම සඳහා රජමාලිගාව බලා පිටත්විණි. බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය පිරිවරා, මුළු වීදියම කහපාටින් ඒකාලෝක කරමින් ශාන්ත දාන්ත ගමනින් වඩින ආකාරය දැක මේ මල්වලින් බුදුරදුන් පිදුවහොත් ඉතා හොඳ යැයි සිතන්නට විය. "මේ මල් රජතුමාට ගෙන යන ඒවා ය. මේ මල් රජතුමාට නුදුන්නොත් සමහර විට රාජකාරිය පැහැර හැරියා ය යන චෝදනාව මත මා සිරගෙයි දමන්නට ද පුළුවන. එසේ නොමැති නම් මා රටින් පිටුවහල් කරන්නට හෝ මා මරණයට පත්කරන්නට හෝ පුළුවන. මා මැරුවත් , සිරගෙයි දැම්මත් කමක් නැහැ. රජතුමා මට දෙන්නේ මෙලොව ජීවත්වීමට පමණක් ප්‍රමාණවත් වන මුදලක් ය. මේ මල් බුදුරජාණන් වහන්සේට පූජා කළොත් එහි විපාකය කල්ප ගණනක් මගේ හිත සුව පිණිස පවතිනු ඇත. "

මේ අයුරින් සිතා මේ මල් බුදුරදුන්ට පූජා කරමියි අධිෂ්ඨාන කරගෙන මල් මිටි දෙකක් ගෙන බුදුරදුන් ඉදිරිපිට අහසට දැමීය. ඒ මල් බුදුරදුන් මත්තෙහි වියනක් මෙන් සකස් විණි.

නැවතත් තවත් මල් මිටි දෙකක් දැමීය. ඒවා බුදුරදුන්ගේ දකුණු පසින් තිරයක් සේ සැකසිණි. තවත් මල් මිටි දෙකක් දැමීය. ඒවා වම් පසින් තිරයක් මෙන් සැකසිණි. අවසානයට දැමූ මල් මිටි දෙක බුදුරදුන්ට පිටුපසින් තිරයක් සේ සැකසිණි. බුදුරදුන්ගේ ඉදිරිපස පමණක් විවෘත ව තිබිණි. සතර පැත්තෙන්ම බබළන මල් තිරවලින් අලංකෘතව බුදුරදුහු මහ මග වැඩම කළහ. පුදුම සහගත මේ ආශ්චර්යවත් අවස්ථාව දුටු මහජනතාව මහ හඬින් සාධුකාර දෙන්නට පටන් ගත්හ. බුදුරජුන් මේ මල් වියන් තිර සහිතවම රජ වීදිය කරා වඩින විට බිම්බිසාර රජතුමා රැස්වූ මහජනතාව අතරෙන් ගොස් බුදුරදුන්ට පසඟ පිහිටුවා වැන්දේ ය. රජුගේ ආරාධනයෙන් බුදුරදුහු රජමැදුරට ද වැඩම කළහ. රජවාසළ මිදුලෙහි සකසා තිබූ මණ්ඩපයෙහි බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩ සිටියහ. රජු බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පිළිගැන්වීය.

එදින සවස බිම්බිසාර රජු සුමන මල්කරු ගෙන්වා තොරතුරු විමසී ය. ඔහු විසින් කරන ලද මේ උතුම් පුණ්‍ය ක්‍රියාවට පැහැදී ඔහුට මහත් ධනයක් පරිත්‍යාග කළේ ය. සුමන මල්කරු ජීවිතය පූජා කරමින් කළ මේ මල් පූජාවේ ආනිසංසයෙන් මෙලොව බොහෝ සම්පත් ලබන බවත් , පරලොව දෙව් මිනිස් සැප සම්පත් ලබා අනාගතයෙහි‘ සුමන’ නමින් පසේ බුදුවන බවත් බුදුරදහු ආනන්ද හිමියන්ට පෙන්වා දුන්හ.

යම් කර්මයක් (ක්‍රියාවක්) කර පසුව ඒ ගැන තැවෙන්නේ නැත්නම් ඒ කර්මය ( ක්‍රියාව) සිහිපත්වන සෑම විට ම සතුටක් , සොම්නසක් භුක්තිවිඳිය හැකිනම් අප කළ යුත්තේ එබඳු පුණ්‍යකර්මයන් බව පහත දැක්වෙන ගාථාව දේශනා කරමින් බුදුරදුහු පෙන්වා දුන්හ.

තංච කම්මං කතං සාධු
යංකත්වා නානු තප්පතී
යස්ස පතීතෝ සුමනෝ
විපාකං පටිසේවතී

අප යමක් කරන්නට කලින්ඒ ගැන නිවැරැදිව සිතා මතා එම කාර්ය කළ යුතුව ඇත. පසුව පසුතැවිලි වන්නට සිදුවන දෙයින් අප වැළකිය යුතු ය. ධර්මයට අනුව යමක් කරන්නට පෙර එය තමාට අහිතකර ද, අනුන්ටත්, අහිතකර ද යනුවෙන් දෙපැත්තටම අහිතකර නම්, දෙපාර්ශ්වයටම නුසුදුසු එම කාර්යයෙන් අප වැළකිය යුතුයි. තම ජීවිතයට ප්‍රශ්න ඇතිකරවන, තමාට දුක් විපාක ලබාදෙන එම වැරැදි ක්‍රියාවලින් අප වැළකිය යුතුයි. කිසිම කෙනෙකුට දෝෂාරෝපණය කළ නොහැකි අයුරින් අපගේ හැසිරීම් රටාව සකස් කරගත යුතුයි. පොලීසියට, උසාවියට , හිරගෙදරට යන්නට සිදු නොවන අයුරින් අපගේ ඇවතුම් පැවැතුම් නිවැරැදි කරගත යුතුයි. අවසන් හුස්ම හෙලන අවස්ථාවේ දී ගත කළ ජීවිතය දෙස ආපසු හැරී බලන විට මානසික වශයෙන් තැවුලකට පත්නොවන ආකාරයටත්, මරණින් පසු අපායගාමී නොවන ආකාරයටත් චරිතය සකස් කරගැනීම තම තමන් සතු වගකීමකි.

පසුතැවිල්ලට ලක්නොවන අයුරින් කටයුතු කර ඇත්නම් අතීතය සිහිපත් කරන ඒ සෑම අවස්ථාවක් තුළින්ම අප සතුටට හා සැනසිල්ලට පත්වනු ඇත. ජීවිතයක පරමාර්ථය සතුටෙන් සිටීමයි. දියුණූුවේ දොරටුව විවෘත කර ගැනීමට වැදගත්ම සාධකය වන්නේ තම මනස සතුටෙන් පවත්වා ගැනීමයි. තෘප්තිමත්, සැහැල්ලු මනස පැහැදිලි ය. විවෘත ය. ඒ තුළින් ගැඹුර දැකිය හැකි ය. අප සැම දෙනාටම දීප්තිමත්, ප්‍රභාස්වර සිතක් ඇත. ඒ ප්‍රභාස්වර සිතට ආවේණික වූ බලගතු ශක්තියක් ඇත. අවටින් එන නරක සිතිවිලි නමැති දූවිලි කොටස්වලින් එම ප්‍රභාස්වර ගතිය වැසී යනු ඇත. ඒ තුළින් සිතේ ඇති දීප්තිය නැති වෙයි. සමහරුන්ගේ සිත නරක් කරන මේ දූවිලි ප්‍රමාණය වැඩි ය. සමහරුන්ට එම දුවිලි ප්‍රමාණය අඩු ය . සිත නරක් කරන පාපී සිතිවිලි අඩුවන තරමට එනම් දූවිලි ප්‍රමාණය අඩුවන තරමට සිතේ ප්‍රභාෂ්වර ගතිය එනම් සිතේ දීප්තිය වැඩිවනු ඇත. මේ අනුව අකුසල් සිතිවිලි ප්‍රමාණය වැඩිවන විට සිත තුළ පවතින දීප්තිය, එනම් ප්‍රභාෂ්වර ගතිය අඩුවනු ඇත. වැරැදි ක්‍රියාවන් කරන ලද සිතට සැනසීමක් නැත. ඒ වැරැද්ද සිහිපත් වන මොහොතක් පාසාම සිත තැවීමට පත්වනු ඇත. මෙබඳු අසහනකාරී සිතක් ඇත්තාට කිසිදු කටයුත්තක් පිළිවෙළකට , නිවැරැදිව කළ නොහැකි ය. ඔහු ගත කරන්නේ අසාර්ථක ජීවිතයකි. ඔහු මෙලොවදී තම ක්‍රියාකාරකම් දෙස බලා තැවෙන අතර මරණින් පසුව ද තැවෙන පැවැත්මකට පත් කරනු ඇත. පසුතැවිල්ලට ලක්වන අකුසල්, ක්‍රියාවන්ගෙන් වැළකී සිතේ පිවිතුරු බව , බැබළීම,සිදුවන, සතුටින් ප්‍රමුදිත ව ජීවත්විය හැකි පින් සිතිවිලි වලින් සිත ලස්සන කර ගැනීමට අප නිතර අධිෂ්ඨාන කර ගත යුතුව ඇත.

නිතරම තමන්ටත්, අනුන්ටත් හිතකර දේ කරන්න. ඒ තුළින් සතුටුවන්න. එවිට ඔබේ සිත පින් උල්පතක් බවට පත්වනු ඇත. මනාව සෙවිලි කළ ගෙයකට වැසිවතුර වැටෙන්නට නොදී ආරක්ෂා කර ගන්නාක් මෙන් සිතට ද අහිතකර සිතිවිළි ඇතුළු වන්නට නොදී ආරක්ෂක වැටවල් යොදාගන්න බලන්න. ආරක්ෂක වැට යනු සතියෙන් එනම් සිහිකල්පනාවෙන් අවධානයෙන් සිටීමයි.

මොනවා කළත්, මොනවා තිබුණත් අපේ සිතට කිසිම සතුටක් නැහැ. හරියට කරදර, හරිම කළකිරීමකින් ඉන්නේ, මෙවැනි වචන පිට කරන අය අද සමාජය තුළ බොහෝවිට අපට දැකගන්න පුළුවන්. අද සමාජයේ බොහෝ දෙනා බලාපොරොත්තු හා ඉලක්ක කරගහගෙන ජීවත්වෙනවා.ඒවා ඉටුකරගන්න බැරි වූ විට ඔවුන් අසහනයට හා වේදනාවට පත් වෙනවා. ඒ තුළින් සතුට පලායනවා. අප සතුටින් සිටිනවා ද? අසතුටින් සිටිනවා ද? යන්න තීරණය කළ යුත්තේ ඔබම යි. ශ්‍රේෂ්ඨ ජනනායකයෙකු වූ ඒබ්‍රහම් ලින්කන් ගෙන් එක්තරා මාධ්‍යවේදියෙකු, මැතිතුමනි ඔබ නිතරම සතුටින් සිටිනවා, මොකක්ද මේ සතුටේ රහස අපට කියන්න යැයි ඇසු විට ඒබ්‍රහම් ලින්කන් කීවේ “නැහැ මහ ලොකු රහසක් නැහැ. ඔයාගෙ මුහුණේ ඇති නාසය වගෙ එය සාමාන්‍ය දෙයක්. මම උදේ නැගිටින විට මට තෝරාගැනීමට අවශ්‍ය කාරණා දෙකක් තිබෙනවා. ඒ තමයි අද දවස සතුටින් සිටිනවා ද? නැතිනම් අසතුටින් සිටිනවා ද? යන්න. ඉතින් මම සතුටින් සිටිනවා කියන කරුණු තෝරා ගන්නවා. එච්චරයි. ඒ අනුව කටයුතු කරනවා.’ සැහැල්ලුවෙන් ගත කරපු මේ ජීවිතය තුළ තිබූ සතුට බලන්න. අපගේ මනස සතුටුදායක ව පවත්වාගත හැකිනම්, මතුවන ප්‍රශ්න ගැටලු අභියෝග හමුවේ අකම්පිත ව මුහුණ දිය හැකිනම් අපගේ ජීවිත සතුටුදායක ය. පිටකරන වචන ද සැනසිලිදායක ය. කෙනෙකුට පහසුවෙන් අත්පත් කරගත හැක්කේ සතුට නොව දුක ය. එය දුක් කන්දරාවක් බවට ඉතා ඉක්මනින් පත්කර ගත හැකිවේ. ඒ දුක් ගින්නෙන් වෙන්වීමේ හැකියාව ඇත්තේ ඔබතුළ ය.

සියල්ල අතහැර යන මේ ලෝකයේ ස්වභාවය තේරුම් ගත් තැනැත්තා දහමින් ජීවත් වෙයි. සසර ස්වභාවය තේරුම් ගත් තැනැත්තා කිසිවෙකුට හිංසා නො කරයි. කිසිවෙකුට ඊර්ෂ්‍යා නොකරයි. කිසිවෙකු සමඟ තරහක්, වෛරයක් ඇතිකර නොගනී. මෙත් සිතින් සියල්ලන්ගේ සුවය ප්‍රාර්ථනා කරයි. අසීරුවෙන් ලද මිනිසත් බව අකුසලයෙන් , වැරැදි වැඩවලින් කිළිටිකර නොගනී. තමාගේ සුවපහසුව තකා අධාර්මික දෑ නොකරයි.

තමා කරන, කියන දේ පමණක් නොව තමා සිතන දේ කෙරෙහි ද වගකීමක් ඇතිබවත්, එහි විපාකය විඳින්නට සිදුවන බවත් දනියි. මේ නිසා නිතර හොඳ දේ කරයි. හොඳ දේ කියයි. යහපත් දේ සිතයි. තමාට හැකි සෑම අවස්ථාවකම අන්‍යයන්ට පිහිට වෙයි. බොරුව,කේළම් වැනි වැරැදි වචන තුළින් සමාජය තුළ ද ඇති නොකරයි . සමගිය අගයයි. ස්වභාව ධර්මයට, පරිසරයට ආදරය කරයි. තමන්ගෙන් ලොවට සිදුවිය යුතු මෙහෙය කුමක් දැයි නිතර සිතයි. අල්පේච්ඡ ජීවිතයක් ගත කරන මොහු හැමදාව සතුටින් ජීවත්වෙයි. බුද්ධ චරිතයේ සැරියුත් මාහිමි වැනි උදාර චරිතත් සතුටින් ජීවත්වීමේ මග අපට පෙන්නුම් කර දී ඇත.

සුමන මල්කරු, රජු මට මොන දඬුවම දුන්නත් කමක් නැහැ. මගේ සසර ගමන පුණ්‍යවන්ත සැනසිලි දායක ගමන කරගන්නයි මට අවශ්‍ය යනුවෙන් සිතා සතුටු සිතින් බුදුරදුන් මලින් පුදා , මල්තිරවලින් අලංකෘත ව වඩින බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝරත්නය දැක මහත් පී‍්‍රතියට හා සොම්නසට පත්වූ වා සේ ඔබගේ සියලු ඉන්ද්‍රියන් පිනට දහමට යොදන්න කටයුතු කරන්න. එය ඔබගේ සදා සතුට වනු ඒකාන්ත යි.

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පොහොය පෙබරවාරි 08 වනදා සෙනසුරාදා අපරභාග 04.10 ට ලබයි. 09 වනදා ඉරිදා අපරභාග 01.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 08 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 15 වනදා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]