[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 කොළඹ නගරයට අලංකාරය ගෙනෙමින් පුරාතන සංස්කෘතිකාංග අනාගතයට රැකදෙන කොළඹ නවම් මහා පෙරහර

 කොළඹ නගරයට අලංකාරය ගෙනෙමින් පුරාතන සංස්කෘතිකාංග අනාගතයට රැකදෙන

කොළඹ නවම් මහා පෙරහර

"උඩරට, පහතරට, සබරගමු සම්ප්‍රදායන්ට අයත් විවිධ සංස්කෘතිකාංග, විවිධ නර්තන සම්ප්‍රදායන්ට අයත් නර්තන ශිල්පීන් දහස් ගණනකගේ සහභාගීත්වයෙන්, අලි ඇතුන් විශාල පිරිසකගේ ද සහභාගීත්වයෙන් පැවැත්වෙන කොළඹ නවම් මහ පෙරහර රටට ම ආශීර්වාදයකි. "

ගෞතම බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සම්බුදු සිරිතේ සහ සම්බුද්ධ ශාසනයේ ද ඓතිහාසික සිද්ධීන් රැසක් සිහියට නැගෙන පුණ්‍යවන්ත දිනයකි, නවම් පුර පසළොස්වක පොහොය දවස. පින්බර නවම් පුන් පොහෝදා සැරියුත් මහ රහතන් වහන්සේත්, මුගලන් මහ රහතන් වහන්සේත් තථාගත සම්බුදු සුසුනෙහි අග්‍රශ්‍රාවක තනතුරු ලබන ලදහ. ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදුවූයේ ද, සම්බුදුපියාණන් වහන්සේ මහ සඟ රුවන වෙත ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරන ලද්දේ ද අසිරිමත් නවම් පුන් පෝදාක ය.

නවම් මහේ උදාවත් සමඟ අපගේ මතකයට නැගෙන තවත් එක් සුවිශේෂි කරුණක් වේ. එනම් වාර්ෂික කොළඹ නවම් මහ පෙරහර පිළිබඳ විචිත්‍රවත් මතකය යි. කොළඹ ගංගාරාමය දිගු කලකට පෙර එදා දෙවුන්දර වාච්ස්සර නාහිමි යුගයේ දී ඇසළ මහේ පෙරහරක් පවත්වා ඇති බව සනිටුහන් වේ. කොළඹ නවම් පෙරහර මෙම මස 7 සහ 8 දිනවල 41 වන වරටත් මෙවර පවත්වනු ලැබේ. කොළඹ ගංගාරාමාධිපති ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙරට පමණක් නොව විදේශයන්හි ද හඳුන්වන ගෞරවනීය නාමය ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් වහන්සේ ලෙස ය. උන්වහන්සේ මෙරට කීර්තිමත් යතිවරයන් වහන්සේ නමක් ලෙස ගංගාරාමයටත්, ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයට සහ ගංගාරාමස්ථ පිරිවෙනටත්, රටට, සමාජයට සහ සම්බුදු සසුනටත් යුග ගණනාවක් පුරා සිදු කර ඇති මෙහෙවර අත්‍යුදාර ය. සඟ පරපුර දෙක තුනකටවත් ඉටු කළ නොහැකි එම මෙහෙවර යුග ගණනාවක් පුරා පවතිනු ඇත.

කොළඹ ගංගාරාමයේ නම කී පමණින් ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් වහන්සේ ද, එම පොඩි හාමුදුරුවන්ගේ නම කී පමණින් ගංගාරාමය ද පමණක් නොව කොළඹ නවම් මහා පෙරහර ද දෙස් විදෙස් සැදැහැතියන්ගේ සිහියට නිරන්තරයෙන් නැගෙනු ඇත.

ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නාහිමි

ආචාර්ය කිරින්දේ අස්සජි හිමි

ගංගාරාමය සහ එහි සුවිසල් මෙහෙවර කොළොම්පුරයට මහත් අභිමානයක් මෙන්ම අලංකාරයක් ද සපයනු ලැබේ. යුගයේ අවශ්‍යතාවය අනුව නවීකරණය වෙමින් ඓතිහාසික මෙහෙරවක් ඉටු කරන පුණ්‍ය භූමියක් ලෙස ගංගාරාමය සංවර්ධනය වී ඇත.

කොළඹ නවම් මහා පෙරහරේ නිර්මාතෘන් වහන්සේ ගංගාරාමයේ පොඩිහාමුදුරුවෝ හෙවත් ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. ගංගාරාමය ලබා ඇති යම් අභිවෘද්ධියක් වේ නම් ඒ පොඩි හාමුදුරුවන්ගේ මහත් උත්සාහයේ මෙන්ම අධිෂ්ඨානශීලී ව කැපවීමේ ප්‍රතිඵල වේ. කොළඹ නවම් මහා පෙරහර පිළිබඳ සංකල්පය ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ මනසෙහි ඇඳී විචිත්‍ර සිතුවමක් වැනි ය. එම උදාර අදහස මල්පල ගැන්වෙමින් කොළඹ නවම් මහා පෙරහර ආරම්භ විය.

වසරේ පුර පසළොස්වක් පොහොය දිනයක් පාසා මෙරට සෑම විහාරස්ථානයක ම ආගමික වතාවත් සිදු කෙරේ. වසරේ ඓතිහාසික පෙරහර පැවැත්වෙන සුවිශේෂී පසළොස්වක පොහොය දින කීපයක් ද පවතී. නවම් මහ පෙරහර ආරම්භ කිරීම කොළොම් පුරයේ පමණක් නොව සමස්ත රටේත්, විදේශයන්හි සැදැහැවතුන්ගේත් මහත් ගෞරවයට පාත්‍ර වී ඇත.

කොළඹ නවම් මහ පෙරහර තුනුරුවන් උදෙසා පවත්වනු ලබන පූජෝපහාරයක් වේ. මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව වැඩම කරවීමත්, බුදුරජාණන් වහන්සේගේ සුවාසු දහසක් ධර්මස්කන්ධය සිහියට නංවමින් සදහම් පුස්තක වැඩම කරවීමත්, සිය ගණනක් මහ සඟරුවන වැඩම කරවීමත් දක්නට ලැබෙන සුවිශේෂී කරුණු අතර වේ.

විදේශික පිරිස ද නවම් මහ පෙරහර නැරඹීමට පැමිණෙන සුවිශේෂී කාලයකි.

මෙරට අනාගත ජීවනාලිය හැදෙන වැඩෙන දරු පරපුර ය. ඔවුන්ගේ අනාගතය සරු කරනු සඳහා කාර්මික හා තාක්ෂණික ඤාණයෙන්, දැනුමෙන් ඔවුන් පොහොසත් කිරීම උදාර මෙහෙවරකි. දශක ගණනාවක සිට ගංගාරාමයේ ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයේ දැනුමෙන් පෝෂණය වූ සිය දහස් සංඛ්‍යාත සිසු දරුවන් පිරිසක් ලොව විවිධ රටවල මෙන්ම මෙරට ද ආර්ථික සංවර්ධනයෙහි කොටස් කරුවෝ වෙමින් ඔවුන්ගේ සේවය ලබාදෙනු ඇත. ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයේ සිසු දරුවන් නැණ ගුණයෙන් පෝෂණය වන හෙයින් ම වාර්ෂික නවම් මහා පෙරහර සඳහා ඔවුන් ලබාදෙන සුවිශේෂී ශක්තිය අගය කළ යුතු ව ඇත. එම පෙරහරේ දී ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයීය සිසු දරුවන්ගේ සංවිධාන ශක්තිය, උදාර කැපවීම ඔවුන් වෙත ලැබෙන නායකත්ව පුහුණුවක් වැනි ය.

විවිධ ජාතික, විවිධ ආගමික සිසු දරුවන් ශ්‍රී ජිනරතන කාර්මික විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුව ද කිසිදු භේදයකින් තොරව සිය දහස් ගණනින් දරු පිරිස ඒ සඳහා වන වෙහෙස මහන්සිය ආදර්ශවත් ය. එමෙන්ම ත්‍රිවිධ හමුදාව ශ්‍රී ලංකා පොලීසිය , සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය හා පෞද්ගලික ආයතන නවම් පෙරහරට දක්වනුයේ සුවිශේෂී දායකත්වයකි.

පෙරහර නරඹන්නන්ගේ නෙත් සිත් පහන්කරවීම පෙරහරක නිරන්තරයෙන් සිදුවන සිරිතකි. එමෙන්ම පෙරහර පැවැත්වීම දේශීය පෙරහර සංස්කෘතිය, කලාව, සංවර්ධනයට හා පෝෂණයට මහත් උපකාරයක් වේ.

අපගේ අතීත සංස්කෘතික අනන්‍යතාවය මෙය යැයි ලොවට විදහා දැක්වීමට ද

සුවිශේෂී අවස්ථාවකි පෙරහර මංගල්‍යය. උඩරට, පහතරට, සබරගමු සම්ප්‍රදායන්ට අයත් විවිධ සංස්කෘතිකාංග, විවිධ නර්තන සම්ප්‍රදායන්ට අයත් නර්තන ශිල්පීන් දහස් ගණනකගේ සහභාගීත්වයෙන්, අලි ඇතුන් විශාල පිරිසකගේ ද සහභාගීත්වයෙන් පැවැත්වෙන කොළඹ නවම් මහ පෙරහර රටට ම ආශීර්වාදයකි.

ගංගාරාමයේ සුවිසල් මෙහෙවර, ගංගාරාමයේ පොඩිහාමුදුරුවන් වහන්සේ විසින් විවිධ අංශ වෙත ව්‍යාප්ත කර ඇත. ආර්ථික හා කෘෂි කාර්මික අංශයෙන් ද පුළුල් මෙහෙවරක් නිහඬ ව ඉටු කරනු ලැබේ. එමෙන් ම සමාජ මෙහෙවර ද සුවිසල් ය.

කතරගම වන්දනාවේ යන සැදැහැවතුන් සඳහා ගංගාරාමස්ථ කතරගම විශ්‍රාමශාලාව නොමිලයේ නේවාසික පහසුකම් සලසන අතර එමගින් ද මහත් මෙහෙවරක් සිදු කරනු ලැබේ.

නවම් මහා පෙරහරේ ගමන් ගන්නා නර්තන ශිල්පීන්, කලාකරුවන් වෙත වේතන ලබා දීමට අමතර ව ඔවුන්ගේ සංවර්ධනයට අත හිත දෙමින් ගංගාරාමය මගින් මේ වන විට ඔවුන් සඳහා පාපැදි, රූපවාහිනී යන්ත්‍ර, මහණ මැෂින් පමණක් නොව රන් පවුම් පවා ලබාදීමට පියවර ගත්තේ ය. කොළඹ නවම් පෙරහර සඳහා ජාති, ආගම් ආදී කිසිදු භේදයකින් තොරව සියලු දෙනා ඒකරාශී වනු ලැබේ.

පෙරහරකටම පමණක් ආවේණික පෞරාණික සංස්කෘතිකාංග ආරක්ෂා කර ගැනීමටත්, පෙරහරට වෙහෙසෙන ශිල්පීන්ගේ ආරක්ෂාවටත්, දියුණුවටත් ගංගාරාමය අවධානය යොමු කර ඇත.

කොළඹ ගංගාරාමය නැරඹීමට දිනපතා පැමිණෙන දේශීය පමණක් නොව විදෙස් සංචාරකයන්ගෙන් ද අඩුවක් නොවේ. මෙරට මෙන්ම ඇතැම් විදේශයන්හි ද දුර්ලභ කෞතුකවස්තු ඇතුළු විවිධ දෑ එහි තැන්පත් කර ඇති හෙයින් පුරා පැය ගණනක් නැරඹීමෙන් ස්වකීය දැනුම පුළුල් කර ගැනීමට ද එය මහෝපකාරී වේ.

කොළඹ නවම් මහා පෙරහර මංගල්‍ය පිළිබඳ මූලික සාකච්ඡාවක් ඉකුත් 13 වන දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ඇතුළු ගංගාරාමස්ථ මහා සඟරුවනෙහි සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ඇතුළු ගංගාරාමස්ථ මහා සඟරුවන වෙතින් පෙරහර සංවිධානය කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු විදේශ නියෝජිතයන් සහ විශේෂ ආරාධිතයින්ගේ සහභාගීත්වයෙන් කොළඹ නවම් මහ පෙරහර නවම්පුර පසළොස්වක පෝදාට පෙරදා (07) සහ නවම් පුර පසළොස්වක පෝදා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

නවම් පුර පසළොස්වක පෝය

නවම් පුර පසළොස්වක පොහොය පෙබරවාරි 08 වනදා සෙනසුරාදා අපරභාග 04.10 ට ලබයි. 09 වනදා ඉරිදා අපරභාග 01.03 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම පෙබරවාරි 08 වනදා සෙනසුරාදා ය.

මීළඟ පෝය පෙබරවාරි 15 වනදා සෙනසුරාදා ය.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

පෙබරවාරි 08

Second Quarterඅව අටවක

පෙබරවාරි 15

Full Moonඅමාවක

පෙබරවාරි 23

First Quarterපුර අටවක

මාර්තු 02

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]