Print this Article


නවම් පොහෝ දිනෙක ඇරැඹි ඕවාද ප්‍රාතිමෝක්ෂ

නවම් පොහෝ දිනෙක ඇරැඹි ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාව

" අඩ මසකට වරක් පොහොය සීමාවකට රැස්වන උපසපන් භික්ෂූන් වහන්සේලා පොහොය කිරීම නමින් සිදුකරනුයේ මෙම ආණා ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම යි. බුදුරජාණන් වහන්සේලා භික්ෂූන් සමඟ පොහොය කිරීමේ දී දේශනා කරනුයේ ඕවාද ප්‍රාතිමෝක්ෂය යි. අප ගෞතම බුදුරජාණන් වහන්සේ ද ඒ අනුව බුද්ධත්වයෙන් පසු මුල් විසි වස තුළ එසේ ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කළහ. "

පඨමාභිසම්බෝධි යුගයෙහි හෙවත් බුද්ධත්වයෙන් පසු මුල් විසි වසර තුළ ශ්‍රාවක භික්ෂූන් වහන්සේලා බෙහෙවින් ම විනය ගරුකව හා සමගි සම්පන්න ව විසූහ. බුදුරදුන් බැහැදැකීමට ගිය කොසොල් මහ රජු භික්ෂූන් වහන්සේලාගේ සමගිය පිළිබඳව කළ ප්‍රශංසා සහගත ප්‍රකාශයෙන් ඒ බැව් මනාව පැහැදිලි වෙයි. විවිධ ජනපදවලින්, විවිධ කුලවලට අයත්, විවිධ ඇදහීම් ඇති පිරිස් පැවිදිබිමට පත්ව එකම භික්ෂූ පිරිසක් බවට පත් වූයේ නොයෙක් ගංගාවන් හි ජලය මුහුදට ගලාවිත් එකම සමුද්‍රයේ ජලය බවට පත්වන්නාක් මෙනි.

මෙම මුල් විසි වසර තුළ භික්ෂූන් වහන්සේලා හික්මවීමට කිසිදු විනය නීතියක් පැණවීමක් සිදු නො වුණි. එම යුගය තුළ භික්ෂු සමාජයට ඇතුළත් වූයේ විනය නීති යටතේ අනුශාසනාවක් ලැබීමට තරම් ඉතා සුළු වරදක් හෝ සිදු නො කළ පිරිසකි. නො දැන සුළු සුළු වැරැදි සිදුවුවහොත් එහිලා බුදුරජාණන් වහන්සේ වරද ප්‍රමාණ කොට නීතියක් නො පැණ වූහ. එම වරද සිහිගන්වා ධර්මය යටතේ ම සංග්‍රාහ වන අනුශාසනාවක් ඉදිරිපත් කිරීම පමණක් සිදු කළහ. ඒ අනුව මෙම වරද අත්හළ යුතු ය. මේ මේ ශික්ෂාවන් හි පිහිටිය යුතු යැයි ශික්ෂාපද යටතේ භික්ෂූන් වහන්සේලා පාලනය කිරීමට මෙම යුගය තුළ දී බුදුරජාණන් වහන්සේ උත්සුක නො වූහ. ස්වකීය භික්ෂූ ජීවිතය ගත කිරීමට බුද්ධ දේශිත ධර්මයම ප්‍රධාන කොටගත් භික්ෂූන් වහන්සේලා සීලය යටතේ ඉතා සරලවූ ත්, ලිහිල් වූ ත් ජීවන පැවැත්මක් ඇතිව දිවි ගෙවූහ.

බුදුරජාණන් වහන්සේ මුල් විසි වස පුරාම භික්ෂූන් වහන්සේලාට දේශනා කළේ ඕවාද ප්‍රාතිමෝක්ෂයයි. එය ඇරඹියේ නවම් පොහෝ දිනෙක ය. එම ඕවාද ප්‍රාතිමෝක්ෂය මෙසේ දැක්විය හැකි ය.

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං
ඒතං බුද්ධාන සාසනං

සියලු පව් දුරලීම, කුසල් ඉපදවීම හා වැඩීම, තම සිත පිරිසුදු කරගැනීම යන මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනය යි.

ඛන්තී පරමං තපො තිතික්ඛා
නිබ්බාණං පරමං වදන්ති බුද්ධා
න හි පබ්බජිතො පරූපඝාතී
සමණො හොති පරං විහෙඨයන්තො

ඉවසීම උතුම් තපස යි. බුදුවරයන් වහන්සේලා නිවන උතුම් කොට වදාරති. අනුන් තලන පෙලන පැවිද්දා මහණෙක් නොවේ.

අනූපවාදො අනූපඝාතො
පාතිමොක්ඛෙ ච සංවරො
මත්තඤ්ඤුතා ච භත්තස්මිං
පන්ථං ච සයනාසනං
අධිචිත්තෙ ච ආයොගො
එතං බුද්ධාන සාසනං

අනුන්ට උපවාද නො කිරීම ද, හිංසා නො කිරීම ද, ප්‍රාතිමෝක්ෂ සංවරය ද, ආහාරයෙහි පමණ දන්නා බවද, විවේක සෙනසුන් හි ඇල්ම ද සමවත් වැඩීමේ යෙදීම ද කළ යුතු ය. යන මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනය යි.

මේ අනුව බුද්ධත්වයෙන් මුල් විසි වසර තුළ මෙම ඕවාද ප්‍රාතිමෝක්ෂය යටතේ ම පමණක් භික්ෂූන් වහන්සේලාගේ සීල ප්‍රතිපදාව සකස්ව පැවතුණි. විනය ශික්ෂාපද කිසිවක් පැනවූයේ නැත. පැණවීමට අවශ්‍ය වූයේ ද නැත. සසර දුකින් එතෙරවීමේ අපේක්ෂාවෙන් සසුන්ගත වූ භික්ෂූන් වහන්සේලාගේ මුඛ්‍ය පරමාර්ථය වූයේ නිවන පසක් කිරීම යි. බුදුරදුන් අනුව ම ගිය උන්වහන්සේලා පිළිවෙත් සරුව විසූහ. බුදු සසුන අනුක්‍රමයෙන් ජනපි‍්‍රය වී යාමත් සමග සිසුනට පිවිසෙන පිරිස කෙමෙන් කෙමෙන් බහුල වන්නට විය.

විශාලා මහනුවර කලන්දක නමැති ගමෙහි විසූ සුදින්න නමැති භික්ෂුව විසින් ගිහි කල ස්වකීය බිරිඳගේ ඉල්ලීම මත වරදෙහි බැඳීම නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රථම විනය ශික්ෂා පදය පණවා වදාළහ. එතැන් සිට ප්‍රාතිමෝක්ෂ ශික්ෂාපද පැණවීම සිදු කෙරිණි. භික්ෂූන් වහන්සේලාගේ හික්මීම සඳහා පණවන ලද විනය ශික්ෂාපද මාලාව ප්‍රාතිමෝක්ෂය යි. සියලුම බුදුරජාණන් වහන්සේලා බුදු වූ මුල් අවධියේ දී භික්ෂූන් වහන්සේලා පාලනය කරනුයේ ඉහත දැක් වූ ඕවාද ප්‍රාතිමෝක්ෂයෙනි. විනය ශික්ෂාපද පැණවීම සිදුවන්නේ ඉන්පසුව අවශ්‍යතාව පරිදි ය. එය හඳුන්වන්නේ ‘ආණා ප්‍රාතිමෝක්ෂය’ යන නමිනි.

අඩ මසකට වරක් පොහොය සීමාවකට රැස්වන උපසපන් භික්ෂූන් වහන්සේලා පොහොය කිරීම නමින් සිදුකරනුයේ මෙම ආණා ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම යි. බුදුරජාණන් වහන්සේලා භික්ෂූන් සමඟ පොහොය කිරීමේ දී දේශනා කරනුයේ ඕවාද ප්‍රාතිමෝක්ෂය යි. අප ගෞතම බුදුරජාණන් වහන්සේ ද ඒ අනුව බුද්ධත්වයෙන් පසු මුල් විසි වස තුළ එසේ ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කළහ.

පොහොය සීමාවට රැස්වන භික්ෂූන් වහන්සේලා පළමු කොට ම සිදු කරනුයේ ඇවැත් දෙසා පිරිසුදුවීම යි. එහෙත් බුදුරජාණන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් පොහොය සීමාවට රැස් වූ පිරිස අතර එසේ පිරිසුදු නො වූ දුසිල්වත් භික්ෂුවක් සිටියහ. එහිදී බුදුරජාණන් වහන්සේ ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා නො කොට නිහඬව සිටියහ. හේතුව සොයා බැලූ අගසව් මුගලන් තෙරණුවෝ එම භික්ෂුව පොහොය සීමාවෙන් පිටතට යැවූහ. එදා ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනාව අවසන් වරට සිදු කළ බුදුරජාණන් වහන්සේ නැවත භික්ෂූන් වහන්සේලා සමග ඕවාද ප්‍රාතිමෝක්ෂ දේශනාව සිදු කිරීම නතර කළහ. එයින් පසුව භික්ෂූන් වහන්සේලාට පමණක් රැස් වී ආණා ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීමට අනුදැන වදාළහ.

භික්ෂූන් වහන්සේලාගේ පාලනයට ඕවාද ප්‍රාතිමෝක්ෂය ප්‍රමාණවත් නො වීමටත්, ඒ සඳහා ශික්ෂාපද පැණවීමට සිදුවීමටත් හේතුව සතර ආසවට්ඨානීය ධර්ම පහළවීමයි. ඒවා නම්,

සංඝො රත්තඤ්ඤු මහත්තං පත්තො හොති

(භික්ෂු සමාජය ආරම්භ වී දිගු කලක් ගතවීම)

සංඝො වේපුල්ල මහත්තං පත්තො හොති

(පිරිස අතින් විශාලවීම)

සංඝො ලාභග්ග මහත්තං පත්තො හොති

(බෙහෙවින් ලාභ සත්කාර ලැබීම)

සංඝො බාහුසච්ච මහත්තං පත්තො හොති

(බහුශ්‍රැතයන් හෙවත් බොහෝ ඇසූ පිරූ තැන් ඇති අය වැඩිවීම)

ශාසනික බ්‍රහ්ම චරියාවෙන් පිටස්තර ක්‍රියාවන්ට නැඹුරු වූ අය භික්ෂු සමාජය තුළ දැකගත හැකි වූයේ මෙම කරුණු සතර නිසා ය. එබැවින් මෙම කරුණු සතරම ශික්ෂාපද පැණවීමට හේතු වුණි. මේ අනුව කාලීන අවශ්‍යතා මත පිහිටා විනය නීති පැණවීමට බුදුරජාණන් වහන්සේ පියවර ගත් බව ඉතා පැහැදිලි ය.

මෙම කරුණු සතර භික්ෂු සමාජය තුළ පමණක් නොව අභිනවයෙන් ආරම්භ කෙරෙන ඕනෑම සමාජ සංවිධානයක් කාලයත් සමඟ ඉදිරියට ගමන් කිරීමේ දී මුහුණ දෙන පොදු ලක්ෂණයක් ලෙස පෙන්වාදිය හැකි ය.