Print this Article


බහුශ්‍රැත ධර්මධර ශ්‍රාවකයා

බහුශ්‍රැත ධර්මධර ශ්‍රාවකයා

ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද ඔබට දේශනා කරන්නේ අංගුත්තර නිකායේ චතුක්ත නිපාතයේ බන්ධගාම වග්ගයේ හය වැනි සූත්‍රය යි. අප්පස්සුත සූත්‍රය. අල්පශ්‍රැත භාවය පිළිබඳ වදාළ දේශනාව මේ ලෝකයේ පුද්ගලයන් හතර දෙනෙක් සිටින බව එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා.

1. ධර්මය ශ්‍රවණය කර ලැබෙන ප්‍රයෝජන ලබා නොගත් අල්පශ්‍රැත පුද්ගලයා.

2. ධර්මය ශ්‍රවණය කර ලැබෙන ප්‍රයෝජන ලබාගත් අල්පශ්‍රැත පුද්ගලයා.

3. ධර්මය ශ්‍රවණය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන ලබා නොගත් බහුශ්‍රැත පුද්ගලයා.

4. ධර්මය ශ්‍රවණය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන ලබාගත් බහුශ්‍රැත පුද්ගලයා.

පළමුවෙනි පුද්ගලයා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ධර්මය ශ්‍රවණය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන ලබා නොගත් අල්පශ්‍රැත පුද්ගලයා යනු කවරෙක් ද? යන්න. යම්කිසි පුද්ගලයෙක් සිටිනවා. ඔහු නවාංග ශාස්තෘ ශාසනය පිළිබඳ ස්වල්ප වශයෙන් අසා තිබෙනවා. නවාංග ශාස්තෘ ශාසනය යනු කුමක් ද? සුත්ත, ගෙයිය, වෙයියාකරන, ගාථා, උදාන, ඉතිවුත්ථක, ජාතක, අද්භූතධම්ම, වේදල්ල මේ කරුණු පිළිබඳ විවරණය කර බලමු.

සුත්ත - සූත්‍ර දේශනා බුදුරජාණන් වහන්සේ දින 16450 ක කාලයක් තුළ සූත්‍ර 17705 ක් පමණ දේශනා කළ බව සඳහන් වෙනවා. අප එය වාචික ව පැවසීමේ දී සූත්‍ර 18,000ක් පමණ දේශනා කළ බව කියනවා.

ගෙයිය - ගාථා සහිත සූත්‍ර අප්පස්සුත සූත්‍රයේත් දේශනාව. අවසාන භාගයේ දී ගාථාවක් තිබෙනවා.

වෙයියාකරන - විස්තර කරන දේශනා ධම්මචක්කපවත්වන සූත්‍රය, සච්චවිභංග සූත්‍රය මහාචත්තාරීසන සූත්‍රය ආදී සූත්‍ර වෙයියාකරන නම් වේ.

ගාථා - ගාථා දේශනා. උදාහරණයක් ලෙස ධම්මපදයේ ගාථා 423 ක් දැක්විය හැකි යි.

උදාන - බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජීවිතයේ යම් යම් අවස්ථාවලදී සතුට පළ කර සිදුකළ ප්‍රකාශ

ඉතිවුත්ථක - මෙය මෙසේ සිදුවිය. ආදී වශයෙන් සඳහන් ව පවතින දේශනා. ඉතිවුත්ථක පාලිය මෙහි දී විශේෂයෙන් දැක්විය හැකි යි.

ජාතක - බෝධිසත්වයන් වහන්සේගේ උප්පත්ති කතා.

අද්භූතධම්ම - බුදුරජාණන් වහන්සේගේ චරිතය සම්බන්ධ ව තිබෙන ඉතාම ආශ්චර්යමත් අද්භූත සිදුවීම් මුල්කරගත් දේශනා. හොඳම උදාහරණය තිබෙන්නේ මජ්ක්‍ධිම නිකායේ තුන්වන කොටසේ තුන්වන වර්ගයේ තුන්වන සූත්‍රය. ඒ ආශ්චර්ය අද්භූත සූත්‍රය. බෝධිසත්වයන් වහන්සේ උපදින වෙලාවේ සිදුවූ අසිරිමත් සිදුවීම් එහි තිබෙනවා.

වේදල්ල - ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් සිදුකරන ලද දේශනා. චූල වේදල්ල සූත්‍රය, මහා වේදල්ල සූත්‍රය ආදිය. මේ ඉහත සඳහන් කරුණු සියල්ලේ අන්තර්ගතය නවාංග ශාස්තෘ ශාසනය ලෙස හැඳින්වෙනවා.

පළමු පුද්ගලයා මේ නවාංග ශාස්තෘ ශාසනය ස්වල්ප වශයෙන් අසා තිබෙනවා. නමුත් ඒවායේ කරුණු හරිහැටි වටහාගෙන නැහැ. ධර්මය වටහා නොගත් ඒ පුද්ගලයා ධර්මානුකූල ජීවිතයකට අවතීර්ණ වෙලා නැහැ. අන්න ඒ පුද්ගලයාට තමයි කියන්නේ සවන්දීමෙන් ලැබෙන ප්‍රයෝජන ලබාගත්තේ නැති අල්පශ්‍රැත පුද්ගලයා කියලා. වර්තමාන සමාජයේ මෙවැනි බොහෝ පිරිස් අපට දකින්නට ලැබෙනවා. මේ අය සිතාගෙන සිටින්නේ අපිත් ධර්මය දන්නවා කියලා. නමුත් දන්න දෙයක් නැහැ. තමන් දැනගත් දෙයන් කරපු දෙයකුත් නැහැ.

ඊළඟට දෙවැනි කණ්ඩායම නවාංග ශාස්තෘ ශාසනය අල්ප වශයෙන් අහල තිබෙනවා. ඒ ඇසූ ධර්මය ඔහු අල්ප වශයෙන් අවබෝධ කරගෙන තියෙනවා. ඒ ධර්මය වටහාගෙන තියෙනවා. ඒ අනුව ධර්මානුකූල ජීවිතයකට අවතීර්ණ ව සිටිනවා. අප දන්නවා මංගල සූත්‍රයේ තිබෙනවා මාතා පිතූ උපට්ඨානං මවට, පියාට උපස්ථාන කරන්නට ඕනෑ. මේ දෙවැනි කණ්ඩායමේ පුද්ගලයාට ලොකු ධර්මාවබෝධයක් නැති වුණත්, මේ දහම් කරුණු ඉගෙනගෙන අම්මට තාත්තට සලකනවා. තවත් අය වෙත දන් දෙන්න ඕනේ කියල ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා ඔවුන් හැකි පමණින් දන් දෙනවා. මේ තමයි සවන්දීමෙන් ලැබෙන ප්‍රයෝජන ලබාගත් අල්පශ්‍රැත පුද්ගලයා මේ කණ්ඩායමත් බොහෝ විට දකින්නට ලැබෙනවා.

ඊළඟට තුන්වැනි කණ්ඩායම ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සවන්දීමෙන් ලැබෙන ප්‍රයෝජන ලබා නොගත් බහුශ්‍රැත පුද්ගලයා මොහු සුත්ත, ගෙයිය, වෙයියාකරන, ගාථා, උදාන, ඉතිවුත්ථක, ජාතක, අද්භූතධම්ම, වේදල්ල යන නවාංග ශාස්තෘ ශාසනය හොඳින් ශ්‍රවණය කර තිබෙනවා. නමුත් අවබෝධ කරගෙන නැහැ. ඒ නිසා ධර්මානුකූල ජීවිතයකට අවතීර්ණ වෙලා නැහැ. තුනුරුවන් සරණට පත්වෙලා නැහැ. පිනට දහම ට මුල්තැන දෙන්නේ නැහැ. ඡ්‍යොතිෂය, නැකැත්, නිමිති ආදී දේ පසුපස ගොස් ජීවිතය හැඩගස්වා ගැනීමට උත්සාහ කරනවා. එවැනි කණ්ඩායම් අද සමාජයේ ඉන්නවා.