Print this Article


බුදු දහමේ පාරිභාෂික පද පරිස්සමෙන් තේරුම් ගනිමු

බුදු දහමේ පාරිභාෂික පද පරිස්සමෙන් තේරුම් ගනිමු

විද්‍යාව, දර්ශනය, සංස්කෘතිය, තර්කශාස්ත්‍රය, ගණිතය, සංගීතය වැනි කවර ශාස්ත්‍රයක වුව ද පාරිභාෂික පද යැයි ශබ්ද විශේෂයක් ඇත.

ගුරුවරයාත්, ශිෂ්‍යයාත් අතර දැනුම හුවමාරු වන්නේ එම පද බහුල වශයෙන් ඔවුනොවුන් අතර සන්නිවේදනය වීම මගිනි. එම විෂය ගැඹුරට නො හදාළ කෙනෙකුට ඒ ඒ පුද්ගලයන් සාකච්ඡා කරන විෂය කුමක් ද යන්න වැටහී යන්නේ ද එම පාරිභාෂික ශබ්ද මගිනි. නිදසුනක් ලෙස තනුව, ශ්‍රතිය, සප්තස්වර, ගායනය යනාදී පද ඇසෙන සැණෙකින් එය සංගීත විෂයට අදාළ බව අපට වැටහේ. එමෙන්ම ධන, ඍණ, ගුණ කිරීම්, සංඛ්‍යානය යනාදී පද ඇසෙත්ම එය ගණිතය හෝ ආර්ථික විද්‍යා විෂය ක්ෂේත්‍රයට අදාළ සාකච්ඡාවක් බව වැටහේ. මෙම පාරිභාෂික පද පිළිබඳ මූලික හා මනා වැටහීමක් නැති කෙනෙකුට එම විෂය පිළිබඳ ගැඹුරු දැනුමක් ලබාගත නො හැකිය. එසේම එම අවබෝධයෙන් තොර පුද්ගලයන් සමඟ නිවැරැදි හා ඵලදායක සාකච්ඡාවක ද නිරත විය නො හැකි ය.

බුදුදහම හැදෑරීමේ දී ද මෙබඳු පාරිභාෂික පද යැයි සුවිශේෂී ශබ්ද විශේෂයක් ඇත. ඇතැම් පාරිභාෂික පද විවිධ ආගම්වලට පොදු වන අතර, ඇතැම් ඒවා බුදුදහමට පමණක් සීමා වූ ඒවා වේ. නිදසුනක් ලෙස පින, පව, පරලොව, කර්මය, ස්වර්ගය යනාදී පද බුදුදහමෙහි මෙන්ම හින්දු, ජෛන, ක්‍රිස්තියානි වැනි වෙනත් ආගම්වල ද භාවිත වේ. නමුත් ත්‍රිලක්ෂණය, චතුරාර්ය සත්‍යය, පටිච්චසමුප්පාදය, සමථ, විපස්සනා, ස්කන්ධ, ධාතු, ආයතන වැනි පද බුදුදහමෙහි පමණක් භාවිත වන පද විශේෂයක් වේ. මේවා බුදුදහමෙහි ගැඹුර දැකිය හැකි, බෞද්ධ දර්ශනය නියෝජනය කරන බෞද්ධ පාරිභාෂික පද ලෙස හැඳීන්වේ.

ශ්‍රී ලංකාවේ අප විසින් බුදුදහම හා බෞද්ධ සංස්කෘතිය පසුබිම් කොටගෙන භාවිත කරන මෙම පද ලෝකයේ වෙනත් බසක් කතා කරන වෙනත් සංස්කෘතික පසුබිමක ජීවත්වන කෙනෙකුට පහසුවෙන් වටහාගත නො හැකි ය. නිදසුනක් ලෙස පිරිකරය හෝ අටපිරිකරය යන වචනය බලන්න. අටපිරිකරය යනු කුමක් දැයි තේරුම් ගැනීමට පිරිකරය යනු කුමක් දැයි තේරුම් ගත යුතු ය. සැබැවින්ම පිරිකරය යනු පූජා භාණ්ඩයක් හැඳීන්වීම සඳහා ශ්‍රී ලාංකික බෞද්ධයන් විසින් භාවිත කරනු ලබන පදයකි. එය පාලි ග්‍රන්ථවල පරික්ඛාර යන පදයෙන් දැක්වේ. එහි සංස්කෘත භාවිතය පරිෂ්කාර යන්නයි. මේ නිසා පිරිකර යන සිංහල පදයට ඓතිහාසික භාෂාමය පසුබිමක් ඇත. අටපිරිකර යන්න ද එසේ ය. අෂ්ටපරිෂ්කාර යන සංස්කෘත පදය අට්ඨපරික්ඛාර යනුවෙන් පාලි භාෂාවට ද, අටපිරිකර යනුවෙන් සිංහල ව්‍යවහාරයට ද පැමිණ ඇත. එම අටපිරිකරයට ඇතුළත් විය යුතු පිරිකර අට කවරේද? යන්න වෙනම ඉගෙන දැනගතයුතු කරුණකි. එබැවින් මෙම පාරිභාෂික පද පිළිබඳ මූලික අවබෝධය බුදුදහම පිළිබඳ කථා කරන කවර පුද්ගලයෙකු තුළ වුවද තිබිය යුතු මූලික කරුණකි. එම අවබෝධයෙන් තොරව කරනු ලබන කතාබහ, දේශනා, සාකච්ඡා, සම්මන්ත්‍රණ ආදී කිසිවක් නිවැරැදි නො වන්නා සේම බුදුදහමට හානිකර වේ.

බුදුදහමෙහි භාවිත වන මෙම පාරිභාෂික පද කෙ තරම් සියුම් හා ගැඹුරු අරුතකින් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට ඇද්ද යන්නත් සංගීතිකාරක මහරහතන් වහන්සේලා විසින් කෙ තරම් අවධානයකින් හා අවබෝධයකින් ඒවා සුරක්ෂිත ලෙස ආරක්ෂා කොට ඇද්ද යන්නත් සූත්‍ර විනය අභිධර්ම යන විෂය පරිපථ තුනට අදාළ පාරිභාෂක පද සුවිශේෂී අරුතකින් යොදා තිබීමෙන් පෙනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනාවල දී ව්‍යවහාර කළ වචනවලට වඩා වෙනස් වචන සමුදායක් විනය පිටකයේ හමුවේ. සූත්‍ර හා විනය යන දෙකට ම යොදා නො ගත් වචන සමුදායක් අභිධර්මයේ හමුවේ.

බුදුදහමේ මෙකී පාරිභාෂික පද ජීව විද්‍යාව, සමාජ විද්‍යාව, වෛද්‍ය විද්‍යාව වැනි කිසියම් විද්‍යාවක් හෝ සිංහල භාෂාව, ඉංග්‍රීසි භාෂාව හෝ එබඳු විෂයක් හදාරා එම විෂයෙහි විශේෂඥයෙකු වූ පමණින් තේරුම්ගත නො හැක්කකි. සරල නිදසුනක් කිවහොත් බුදුදහමෙහි ප්‍රමාද (පමාද) නම් පාරිභාෂික පදයක් ඇත. ප්‍රමාදය යන්නෙන් සාමාන්‍ය ලෝකයේ මිනිසුන් හඳුනාගෙන ඇත්තේ යමක් කිරීමට පමා වීමයි. එහෙත් බුදුදහමෙහි ප්‍රමාදය යන්නෙන් අදහස් වන්නේ පමාවීම නොව සිහි කල්පනාවෙන් තොරව ජීවත්වීමයි. පමා වූවන් මළ සිරුරු වැනි යැයි (යෙ පමත්තා යථා මතා) වදාළේ එම අරුතෙනි. මේවා අට්ඨකථා නම් ග්‍රන්ථවල ලක්දිව විසූ රහතන් වහන්සේලා සහ කුශාග්‍ර බුද්ධිමත් පැරණි සිංහල භික්ෂූන් වහන්සේලා විසින් මැනවින් පහදා දී ඇත. මේ නිසා යමෙක් එකී බුදුවදන මෙකල සාමාන්‍ය ලෝකයේ මිනිසුන් භාවිත කරන අර්ථයෙන් සලකා දේශනා කරයි නම්, අර්ථ කථනය කරයි නම් එය වරදකි. ජනයා නොමඟ යැවීමකි. ඔහු බුදුන් වහන්සේට අපහාස කරන්නෙකි.

ඉහත කී අවදානම බුදුන් වහන්සේ ධරමාන සමයේදී ම දැන සිටියහ. එම නිසා නෙය්‍යාර්ථ දේශනා හා නීතාර්ථ දේශනා යනුවෙන් දේශනා ක්‍රම දෙකකින් තමන් වහන්සේ විසින් ධර්මය දේශනා කොට ඇති බව ශ්‍රාවකයන්ට සිහිපත් කොට දී තිබේ. අංගුත්තර නිකායේ දුක නිපාතයේ නීතත්ථ සූත්‍රයේ ඒ බැව් සඳහන් වේ. විනය දේශනාවන් සම්බන්ධයෙන් ද මෙය අදාළ වේ. විනය යන අකුරු තුනක වචනය විශේෂ නය හෙවත් ක්‍රම යන අරුත දෙයි. ඒ නිසා විනයෙහි ඇතුළත් වන්නේ පුද්ගලයෙකු ශික්ෂණය කරවන, හික්මවන සහ සංයමයට පත් කරවන විශේෂ ක්‍රමයන් ය. ඒ සඳහා පණවන ලද නිතී රීති වත් පිළිවෙත් බුදුරජාණන් වහන්සේ විසින් දක්වා ඇත. එකී ක්‍රම දැන ගැනීමට නම් විනයට අදාළ පාරිභාෂික පද පිළිබඳ අවබෝධයක් තිබිය යුතු ය.

නිදසුනක් ලෙස සංඝාදිසේස, මානත්ත, පරිවාස, අබ්භාන යනාදී පදවල වචනයේ තේරුම පමණක් ශබ්දකෝෂයකින් දැන ගැනීමෙන් ඒවායින් කියැවෙන ශික්ෂණ ක්‍රමය තේරුම් ගත නො හැකි ය. එම එක පදයකින් කියැවෙන්නේ දින සති මාස ගණනකින් කියැවෙන ක්‍රියාවලියකි.

අභිධර්මය සම්බන්ධ සූත්‍ර දේශනාවල ද ඊටම අදාළ පාරිභාෂික පද සමුදායක් ඇත. නිදසුනක් ලෙස කථාවත්ථුප්පකරණය නම් අභිධර්ම ග්‍රන්ථයේ භාවිත වන පද අතරින් සච්චිකට්ඨ හා පරමට්ඨ යනු ප්‍රමුඛ පද දෙකකි. එම පද දෙක අභිධර්මයටම සුවිශේෂී පද දෙකකි. ඒවා සූත්‍ර විනය යන පිටකයන්හි කිසිදු තැනක දක්නට නො ලැබේ. අනෙක් අතින් අභිධර්ම පිටකයේ සත්ත්වයෙක් පුද්ගලයෙක් ගැන කියැවෙන වචන නැත. වෙනත් විදියකින් කිවහොත් අභිධර්ම පිටකයේ යෙදෙන පාරිභාෂික පදවලින් සත්ත්වයෙක් පුද්ගලයෙක් ගැන නො කියැවේ. අභිධර්මයෙහි නිතර යෙදෙන පරමාර්ථ ධර්ම (පරමත්ථධම්ම) යන පාරිභාෂික පදය බලන්න. පරමාර්ථ යන්නෙන් අප හඳුනාගෙන ඇත්තේ මූලික අරමුණ යන්නයි. ඒ අනුව ‘මාගේ පරමාර්ථය’ යන්නෙන් අදහස් වන්නේ මාගේ අරමුණ යන්නයි. එහෙත් අභිධර්මයේ පරමාර්ථ යන්නෙන් අදහස් වන්නේ පරම වූ ද, උතුම් වූ ද, වෙනස් නො වන්නා වූ ද දෙයයි. චිත්ත, චෛතසික, රූප, නිබ්බාණ යනුවෙන් පරමාර්ථ ධර්ම හතරක් එහි ඉගැන්වේ. මතු පිටින් බැලූ බැල්මට මේවායේ වෙනස් වීමක් පෙනේ. එහෙත් යථාර්ථයක් වශයෙන් ඒවායේ ස්වායත්ත ලක්ෂණය හෙවත් ඊටම අදාළ ලක්ෂණය වෙනස් නොවේ. නිදසුනක් පඨවි රූපයේ ස්වායත්ත ලක්ෂණය නම් තද ගතිය යි. පඨවි ආපෝ සමඟ මිශ්‍ර වුවත් එහි තද බව වෙනස් නොවේ. ජලය ආපෝ රූපයකි.

එහෙත් අපට ජලය ඇල්ලීමට හැකි වන්නේ එහි පඨවි හෙවත් තද ගතිය ඇති බැවිනි. මේ නිසා අභිධර්මයට අදාළ පාරිභාෂික පද තේරුම් ගැනීමේ වටිනාකම ඔබට තේරුම් යා යුතු ය. මෙකී පාරිභාෂික පද පිළිබඳ ගැඹුර නො දන්නෝ තම තමන්ට අවශ්‍ය පරිදි ධර්ම අර්ථකථනය කිරීමට ගොස් බුදුදහමට කරනු ලබනුයේ බලවත් හානියක් බව තේරුම් ගත යුතු ය. මෙකල ඇතැම් ගිහි පැවිදි දේශකයන් බුදුදහමෙහි මෙකී පාරිභාෂික පද පිළිබඳ මනා අවබෝධයකින් තොරව අනිත්‍ය, දුක්ඛ, අනත්ත, පටිච්චසමුප්පාද, භව, බුද්ධ යනාදී අනේකවිධ පද පිළිබඳ තම හිතලු දාර්ශනික සංකල්ප මෙන් තම අනුගාමිකයන් මත පටවනු දක්නට ලැබේ.

මෙම අඩුපාඩුව පිළිබඳ තේරුම් ගන්නා සදහම් ලැදි සත්පුරුෂයන් විසින් කළයුතු වන්නේ කුමක් ද යන්න ඉතා පැහැදිලි ය. බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද දහම විමසා බලා තේරුම් ගැනීමත්, වෙනත් අයට පැහැදිලි කර දීමත් වරදක් නොවේ. එහෙත් ධර්මපද විකෘති ලෙස අර්ථ ගැන්වීම වරදකි. ධර්මය සම්බන්ධ ඇතැම් පාරිභාෂික පද තේරුම් ගැනීමට අපට ඇති එක් විශ්වසනීය මූලාශ්‍රයක් වන්නේ පාලි අට්ඨකථාවන් ය. ඒවායේ මෙකී පදවලට නිසි අරුත පැහැදිලි කොට ඇත. මේවා කියවා ගත නොහැක්කෝ අට්ඨකථා පිළිබඳ දුර්මත වපුරුවමින් ඒවා බැහැර කරන බව ද අපි දනිමු. පාරිභාෂික පදවල අර්ථ තේරුම්ගත හැකි තවත් ක්‍රමයක් වන්නේ ව්‍යාකරණානුකූලව පද විශ්ලේෂණය කොට බැලීමයි. එය ද විමසා දැනගත හැකි ප්‍රධාන ආකාර දෙකකි. පළමුවැන්න සාම්ප්‍රදායික ව්‍යාකරණ රීති අනුව විභාග කොට බැලීමයි.

දෙවැන්න ශබ්දවිද්‍යානුකූල පරිණාමය විමසා බැලීමයි. මෙම ක්‍රම දෙකෙන් ම පදයක නිවැරැදි අරුත හෙළි පෙහෙළි කරගත හැකි ය. නිදසුනක් ලෙස සුඤ්ඤාගාරගතො වා යන පදයට එක්තරා දේශකයෙකු විසින් කරන ලද අර්ථ විග්‍රහයක් දක්වමු. “සුඤ්ඤාගාරගතො වා කියන්නේ මේ හිත අපි උපෙක්ඛා සිතක් පවත්වනකොට රාගයෙන් තොර වෙන්න ඕන, ද්වේෂයෙන් තොර වෙන්න ඕන, මෝහයෙන් තොර වෙන්න ඕන. ඒ රාගදෝෂ මෝහයෙන් වෙන් වුනොත් සුඤ්ඤාගාරගතො වා කියනවා.” මෙය සපුරා වැරදි අර්ථකථනයකි. සාම්ප්‍රදායික ව්‍යාකරණය අනුව සුඤ්ඤාගාරගතො යන වචනය පද තුනක එකතුවකින් සෑදුණු සමාස පදයකි. සුඤ්ඤ + අගාර + ගතො යනු ඒ පද තුනයි. සුඤ්ඤ යනු හිස් යන්නයි. අගාර යන්නේ තේරුම ගෙය යන්නයි. (බන්ධනාගාර, ප්‍රසූතිකාගාරය යනාදි පද නිදසුන් ය.) ගතො යනු ගිය තැනැත්තා ය. මේ අනුව භාවනා වැඩීම් සම්බන්ධයෙන් කියැවෙන සූත්‍රවල නිතර හමුවන සුඤ්ඤාගාරගතො යන වචනයෙන් අදහස් වන්නේ හිස් ගෙයකට ගිය තැනැත්තා යන්නයි. මෙය තවදුරටත් නිවැරදි දැයි තහවුරු කර ගැනීමට එහි ශබ්දවිද්‍යාත්මක පරිණාමය විමසා බැලිය හැකි ය. ඒ අනුව ශූන්‍යාගාරගතඞ යන මාතෘභාෂාගත පදය සුඤ්ඤාගාරගතො යනුවෙන් පැමිණ ඇති බව ඉතා පැහැදිලි ය. මේ නිසා බුදුදහමේ එන ඉහත කී පාරිභාෂික පදය එකී දේශකයා අර්ථකථනය කොට ඇත්තේ වැරැදි ලෙස ය. තම හිතලුවකි. එබැවින් තථාගත ධර්මය දේශකයන් කෙරෙහි භක්තියෙන් පිළිගන්නා අය තමා විසින් අසනු ලබන දෙය සිහි බුද්ධියෙන් පිළිගැනීමට බුද්ධිමත් විය යුතු ය.